ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ආසියානු කුසලාන T20 ක්‍රිකට් ශූරතාව: නවකයින් රැසක් සමගින් ඉන්දීය සංචිතය නම් කරයි
ශ්‍රී ලංකාව, ඉන්දියාව, පකිස්ථානය, ඇෆ්ඝනිස්ථානය ඇතුළු රටවල් 8ක් ක්‍රීඩා කරන 2025 පන්දුවාර 20 ආසියානු ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගි වන ඉන්දීය සංචිතය නම් කර තිබේ.
ඩුබායිහි පැවැත්වෙන මෙම තරගාවලිය ආරම්භ වන්නේ, සැප්තැම්බර් 09 වන දා ය.
තරග 19කින් සමන්විත මෙම තරගාවලියේ ප්‍රථම තරගය ඇෆ්ඝනිස්ථානය සහ හොංකොං අතර පැවැත්වෙන අතර ශ්‍රී ලංකාවේ පළමු තරගය බංග්ලාදේශය සමග සැප්තැම්බර් 13 වන දා පැවැත්වේ.
ඉන්දීය සංචිතය
ආසියානු කුසලාන පන්දු වාර 20 තරගාවලිය සඳහා නම් කර ඇති ඉන්දීය කණ්ඩායමේ නායකත්වය පවරා ඇත්තේ, සූර්යකුමාර් යාදෙව්ට ය.
උපනායකත්වය ශුබ්මන් ගිල්ට පැවරී ඇති අතර, විරාට් කෝලි, රෝහිත් ශර්මා වැනි පන්දු වාර 20 තරගවලින් සමුගත් ජ්‍යෙෂ්ඨයින් කිහිප දෙනෙකු සංචිතයට ඇතුළත් කර නොමැත.
කෙසේ වෙතත්, වරින් වර ආබාධවලට ලක්ව සිටි වේගපන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රිට් බුම්රා සංචිතයට ඇතුළත් කර තිබේ.
ඒ අනුව ඉන්දීය සංචිතය මෙසේ ය.
සූර්යකුමාර් යාදෙව් (නායක), ශුබ්මන් ගිල් (උපනායක), අභිෂේක් ශර්මා, තිලක් වර්මා, හර්දික් පණ්ඩ්‍යා, ශිවම් ඩුබේ, ජිතේෂ් ෂර්මා, අක්ෂාර් පටෙල්, ජස්ප්‍රිට් බුම්රා, වරුන් චක්‍රවර්ති, අර්ෂ්දීප් සිං, කුල්දීප් යාදෙව්, සංජු සැම්සන්, හර්ෂිට් රනා, රිංකු සිං
අතිරේක ක්‍රීඩකයින් ලෙස ප්‍රසිද් ක්‍රිෂ්ණා, වොෂිංටන් සුන්දර්, රියන් පරාග්, ධෲ ජුරෙල්, යසස්වි ජයිෂ්වාල් නම් කර තිබේ.
පසුගිය ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දක්ෂතා දැක්වූ ප්‍රසිද් ක්‍රිෂ්ණා, යසස්වි ජයිෂ්වාල්, රියන් පරාග් වැනි ක්‍රීඩකයින් අතිරේක ක්‍රීඩකයින් ලෙස නම් කර තිබීම විශේෂත්වයකි.
ඊට අමතරව, දක්ෂ පිතිකරුවෙකු ලෙස සැලකෙන ශ්‍රෙයාස් අයියර් ද මෙවර තරගාවලියට ක්‍රීඩා නොකර යි.
2024 පන්දු වාර 20 ලෝක කුසලාන ශූරතාව හිමි කර ගත්තේ ද, ඉන්දියාව යි.
ශ්‍රී ලංකාවේ සංචිතය තවමත් නම් කර නැහැ
සිම්බාබ්වේ තරගාවලිය සඳහා මේ වන විට සූදානම් වන ශ්‍රී ලංකා කණ්ඩායම මෙතෙක් ආසියානු කුසලානය සඳහා සංචිතයක් නම් කර නැතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.
එහි ප්‍රකාශකයෙකු පැවසුවේ, සිම්බාබ්වේ සංචාරයෙන් පසු එම කණ්ඩායම නම් කරන බව ය.
ආසියානු කුසලාන තරගාවලිය
මෙවර ආසියානු කුසලාන පන්දු වාර 20 ක්‍රිකට් තරගාවලිය සඳහා කණ්ඩායම් 8ක් තරග කරයි.
A සහ B කාණ්ඩ යටතේ මූලික වටයේ තරග පැවැත්වෙන අතර, A කාණ්ඩයට අයත් රටවල් වන්නේ, ඉන්දියාව, ඕමානය, පකිස්ථානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය යි.
ඇෆ්ඝනිස්ථානය, බංග්ලාදේශය, හොංකොං සහ ශ්‍රී ලංකාව B කාණ්ඩයට අයත් වේ.