ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
'අර්ජුණට භාවිත කළ Captain cool නාමයේ' අයිතිය ලබා ගැනීමට මහේන්ද්‍ර සිං දෝනි සැරසෙයි
- Author, බීබීසී සිංහල
'කැප්ටන් කූල්' යන නම කියූ සැනින් මෙරට ක්‍රිකට් ලෝලීන්ගේ මතකයට එන්නේ 1996 වසරේ ක්‍රිකට් ලෝක කුසලානය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක අර්ජුණ රණතුංග ය.
ප්‍රවීණ ක්‍රිකට් විස්තර විචාරකයෙකු වන ටෝනි ග්‍රේග් විසින් අර්ජුණ රණතුංග 'කැප්ටන් කූල්' යන අන්වර්ථ නාමයෙන් පළමුව ආමන්ත්‍රණය කළේ, 1990 දශකයේදී ය.
අර්ජුණ රණතුංගගෙන් පසුව ඇතැම් ක්‍රිකට් විස්තර විචාරකයින් සහ ප්‍රේක්ෂකයින් 'කැප්ටන් කූල්' යන අන්වර්ථ නාමය ඉන්දීයාවේ හිටපු නායක මහේන්ද්‍ර සිං දෝනිට ද භාවිත කරනු දක්නට ලැබිණි.
නැවතත් කරලියට පැමිණි 'කැප්ටන් කූල්'
'කැප්ටන් කූල්' නාමය නැවතත් කතාබහට ලක්වන්නේ, එම වාක්‍ය ඛණ්ඩය වෙළෙඳ සන්නාමයක් ලෙස යොදා ගැනීමට හිටපු ක්‍රිකට් නායක මහේන්ද්‍ර සිං දෝනි විසින් ඉන්දියාවේ පේටන්ට් බලපත්‍ර, නිර්මාණ සහ වෙළෙඳ ලකුණු පාලක ජනරාල් කාර්යාලය වෙත ඉල්ලුම් පත්‍රයක් ඉදිරිපත් කරනු ලැබීම හේතුවෙනි.
2025 වසරේ ජූනි 16 වන දා ඉන්දියාවේ වාණිජ හා කර්මාන්ත අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද 'ට්‍රේඩ්මාර්ක් ජර්නල්'හි මහේන්ද්‍ර සිං දෝනි විසින් 'කැප්ටන් කූල්' යන වාක්‍ය ඛණ්ඩය වෙළෙඳ නාමයක් කිරීම සඳහා කළ ඉල්ලීම ඇතුළත් කර තිබේ.
ක්‍රීඩා පුහුණුවීම්, ක්‍රීඩා පුහුණු පහසුකම් සැපයීම සහ ක්‍රීඩා පුහුණුකාර සේවා සැපයීම් සඳහා 'කැප්ටන් කූල්' යන වාක්‍ය ඛණ්ඩය වෙළෙඳ නාමයක් ලෙස යොදා ගැනීම සඳහා මහේන්ද්‍ර සිං දෝනි ඉල්ලීමක් කර ඇති බව එහි දැක්වේ.
2025 ජූනි 16 වන දින එම ඉල්ලීම පිළිගැනීමේ දිනය සිට දින 120ක් ඇතුළත තෙවන පාර්ශවයක් විසින් කිසිදු විරෝධයක් මතු නොකළහොත් දෝනිට එම වෙළෙඳ ලකුණේ අයිතිය හිමි වන බව එහි දැක්වේ.
'අර්ජුණට මුළින්ම කැප්ටන් කූල් කිව්වේ ටෝනි ග්‍රෙග් නෙමෙයි'
'කැප්ටන් කූල්' යන අන්වර්ථ නාමය මුලින් ම ක්‍රිකට් විචාරකයින් භාවිත කළේ, අර්ජුණ රණතුංග වෙනුවෙනි.
එය, රූපවාහිනී මාධ්‍ය ඔස්සේ ටෝනි ග්‍රේග් භාවිත කළ ද, 'කැප්ටන් කූල්' යන අන්වර්ථ නාමයෙන් මුලින් ම අර්ජුණ රණතුංග හැඳින්වූයේ, හිටපු ජාත්‍යන්තර ක්‍රිකට් විස්තර විචාරකයෙකු වන ටෝනි ග්‍රෙග් නොවන බව බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් ප්‍රවීණ ක්‍රිකට් විස්තර විචාරකයෙකු වන රොෂාන් අබේසිංහ පැවසුවේ ය.
''ඉස්සර ලේක්හවුස් එකේ ඩේලි නිව්ස් පත්තරේ ක්‍රීඩා මාධ්‍යවේදියෙක් වගේ ම පස්සේ කර්තෘ කෙනෙක් විදිහට වැඩ කරපු එල්මෝ රොද්‍රිගෝ පුල්ලේ තමයි මුලින් ම ඔය කැප්ටන් කූල් කියන නම ලියන්නේ පත්තරේට අර්ජුණ ගැන ලියද්දි.''
''එයා ලිව්වට පස්සේ තමයි ටෝනි ග්‍රේග් ඔය වචනේ අල්ල ගත්තේ. ටෝනි ග්‍රේග් ලංකාවට ආව ම එයා පත්තර කියවනවා. ඊට පස්සේ තමයි ටෝනි ග්‍රේග් අර්ජුණ රණතුංගට කැප්ටන් කූල් කියලා කියන්න පටන් ගත්තේ. ටෝනි රූපවාහිනී මාධ්‍යයේ හිටපු නිසා පත්තරේට වඩා ඒක බලවත් නිසා ඒක එහෙම ම ඉදිරියට ගියා. ඒක තමයි මම දන්න ඉතිහාසය," ඔහු පැවසුවේ ය.
'ඒක අර්ජුණට අයිති දෙයක්'
මේ අතර හිටපු නායක මහේන්ද්‍ර සිං දෝනි 'කැප්ටන් කූල්' යන අන්වර්ථ නාමය, වෙළෙඳ නාමයක් ලෙස තමන්ගේ නම යටතේ ලියාපදිංචි කිරීම සඳහා ඉල්ලීමක් කර තිබීම කිසිසේත් පිළිගත නොහැකි කරුණක් බව ප්‍රවීණ ක්‍රිකට් විස්තර විචාරක රොෂාන් අබේසිංහ බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් පැවසුවේ ය.
''ඒක වැරදි යි. එහෙම දෝනිට ගන්න බැහැ මේක. මම කියන්නේ අර්ජුණට අයිති දෙයක් ඒක. දෙවනුවට තමයි දෝනිට ඔය නම ගියේ. නමුත් ඒක අයිතිකර ගන්න පුළුවන් ද කියලා මම හිතන්නේ නැහැ. ඒ කියන්නේ ඉස්සරහට තව කාටවත් කැප්ටන් කූල් කියන්න බැහැ. ඒක වැරදියි නේ. ඒක ඇවිල්ලා සාමාන්‍ය වචනයක්. මාස්ටර් බ්ලාස්ටර් කියලා කියන්න පුළුවන්. ඒකත් සාමාන්‍ය වචනයක්. ඒවා කාටවත් අයිති කර ගන්න බැහැ,'' ඔහු පැහැදිළි කළේ ය.
සමාජ මධ්‍යවල පළවූ අදහස්
මේ අතර, මහේන්ද්‍ර සිං දෝනි 'කැප්ටන් කූල්' නාමය තමන්ගේ වෙළෙඳ සන්නාමයක් ලෙස ලියාපදිංචි කිරීමට ඉල්ලුම් කිරීම සම්බන්ධයෙන් සාමාජ මාධ්‍ය භාවිත කරන්නන් විවිධ අදහස් දක්වා තිබිණි.
ඇතැම් පුද්ගලයින් ඔහුට සුබ පැතුම් එක් කර ඇති ආකාරය දකින්නට ලැබුණ ද, ඇතැම් සමාජ මාධ්‍ය පරිශීලකයින් ඔහුගෙන් විමසා තිබුණේ, අර්ජුණ රණතුංගට පළමුව ලබා දී තිබුණ ද ඔහු එම අන්වර්ථ නාමය සඳහා අයිතිවාසිකම් කීමට ඉදිරිපත් නොවූ බව ය.
තවත් සමාජ මාධ්‍ය පරිශීලකයෙකු ලියා තිබුණේ, 'අන් අයගේ අන්වර්ථ නාමය සොරකම් නොකරන' ලෙස යි.
දෝනිගේ පෙත්සම ගැන හෙළිවූ කරුණු
2023 ජූනි මාසයේදී මහේන්ද්‍ර සිං දෝනි වෙළෙඳ ලකුණු අයැදුම්පත ගොනු කරන අවස්ථාවේදී, ප්‍රභා ස්කිල් ස්පෝර්ට්ස් (OPC) පෞද්ගලික සමාගම ඊට පෙර 'කැප්ටන් කූල්' යන වෙළෙඳ නාමය ලියාපදිංචි කර ඇති බවට මහේන්ද්‍ර සිං දෝනිට දැනුම් දී තිබූ බව Cricinfo වෙබ් අඩවිය වාර්තා කර ඇත.
ඊට ප්‍රතිචාර වශයෙන්, මහේන්ද්‍ර සිං දෝනි එම සමාගමේ ලියාපදිංචිය අවලංගු කරන ලෙස ඉල්ලමින් පෙත්සමක් ගොනු කළ අතර, අදාළ සමාගම තම නම සහ කීර්තිය ලාභ ලැබීම සඳහා අනිසි ලෙස භාවිත කිරීමට උත්සහ කරන බවට පෙත්සම ඔස්සේ කරුණු දක්වා තිබිණි.
අවම වශයෙන් අදාළ පෙත්සම සම්බන්ධයෙන් සිදුකළ විභාග හතරකින් පසුව මහේන්ද්‍ර සිං දෝනිගේ වෙළෙඳ ලකුණ ලියාපදිංචි කිරීමට කටයුතු කර තිබෙන බව Cricinfo වෙබ් අඩවියේ සඳහන් කර තිබේ.
එළඹෙන ජුලි 07 වන දාට 44 හැවිරිදි වියට පා තබන හිටපු ඉන්දීය ක්‍රිකට් නායක මහේන්ද්‍ර සිං දෝනිට ඉකුත් ජූනි මාසයේදී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සියලය විසින් 'හෝල් ඔෆ් ෆේම්ස්' ගෞරව නාමය පුදකරන ලදී.