ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
JP ඩුමිනි: ක්‍රීඩකයින් තෙහෙට්ටු වීම නිසා පන්දු රැකීමට පැමිණ ජනාදරය දිනූ පුහුණුකරු
මීට වසර 05කට ඉහතදී ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලින් විශ්‍රාම ගිය දකුණු අප්‍රිකානු ක්‍රීඩක JP ඩුමිනි ගැන දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ විශාල කතාබහක් නිර්මාණය කිරීමට සමත්ව තිබේ.
ඩුමිනි මේ වන විට දකුණු අප්‍රිකානු එක්දින ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස කටයුතු කරනු ලබයි.
දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වූ ඩුමිනි, මාධ්‍ය තුළ නැවත වරක් පුවත් මවන චරිතයක් බවට පත්වීමට හේතුව කුමක්ද යන්න ගැන ප්‍රේක්ෂකයින් තුළ විශාල උනන්දුවක් ඇතිව තිබේ.
ක්‍රීඩකයින් වෙනුවෙන් පිටියට පැමිණි පුහුණුකරු
දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ අයර්ලන්ත කණ්ඩායම අතර පැවති තරග 03කින් සමන්විත එක්දින තරගාවලියේ අවසන් තරගය (ඔක්: 07) වැනිදා අබුඩාබි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්විණි.
එම තරගයේදී පළමුවෙන් පන්දු රකිමින් සිටි දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ක්‍රීඩකයින් කිහිපදෙනෙකුම අධික උණුසුම සහ තෙහෙට්ටුව නිසා පීඩාවට පත් විය.
මේ හේතුවෙන් අයර්ලන්ත කණ්ඩයමේ අවසන් පන්දු වාරයේදී, පන්දු රැකීමේ අතිරේක ක්‍රීඩකයෙකු ලෙස දකුණු අප්‍රිකානු කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු වූ JP ඩුමිනි පන්දු රැකීම සඳහා පිටියට පිවිසියේ ය.
ඔහු පන්දු රැකීම සඳහා පිටියට පිවිසීමත් සමග තරගය නැරඹීමට පැමිණි ප්‍රේක්ෂකයින්ගෙන් හිමිවුයේ උණුසුම් ප්‍රතිචාරයකි.
කවුද මේ JP ඩුමිනි කියන්නේ ?
1984 වසරේ අප්‍රේල් මස 14 වැනිදා දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් හිදී උපත ලබන ජීන් පොල් ඩුමිනිව හඳුන්වන කෙටි නාමය වන්නේ JP ඩුමිනි ය.
තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන ඩුමිනි, වමතින් පිතිකරණයේ නියැලෙන අතර දකුණතින් පන්දු යැවීමට දස්කම් දැක්වූ අයෙකු ලෙස ප්‍රසිද්ධියට පත්ව සිටියි.
ශ්‍රී ලංකාවට එරෙහිව 2004 වසරේදී එක්දින වරම් හිමිකර ගන්නා ඩුමිනි, තමන් ක්‍රීඩා කළ පළමු එක්දින තරග 05දී ලකුණු නොලබා අවස්ථා දෙකකදී දැවී යාම කාලයක් යන තෙක් ඔහුව කණ්ඩායමෙන් ඉවත් කර තැබීමට හේතුවිය.
කෙසේ වුවත් වසර දෙකකට පසුව එනම් 2006 වසරේදී, නැවත දකුණු අප්‍රිකාවේ ජාතික කණ්ඩායමේ ස්ථානයක් හිමිකර ගැනීමට ඩුමිනි සමත් විය. එහිදී ඔහු සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවති එක්දින තරගයේදී ලකුණු 60ක් රැස් කිරීමට සමත් විය.
2017 වසරේදී එක්දින පිටියෙන් සමුගන්නා විට ඩුමිනි, තරග 199 කදී ශතක 04ක් සහ අර්ධ ශතක 27ක් සමගින් ලකුණු 5,117ක් රැස් කිරීමට සමත් විය. පන්දු යැවීමේදී ඔහු විසින් ඉනිම් 135කදී කඩුලු 69ක් දවා ගන්නා ලදී.
ටෙස්ට් පිටියේ දැක්වූ දක්ෂතා
2008 වසරේදී දකුණු අප්‍රිකානු කණ්ඩායම වෙනුවෙන් ටෙස්ට් වරම් හිමිකර ගැනීමට JP ඩුමිනිට අවස්ථාව උදාවන්නේ ඔහුගේ කණ්ඩායමේ සහෝදර ක්‍රීඩකයෙකු වන ඈෂ්වෙල් ප්‍රින්ස් ආබාධයකට ලක්වීම හේතුවෙනි.
ඕස්ට්‍රේලියාවට එරෙහිව ටෙස්ට් වරම් හිමිකර ගන්නා ඩුමිනි තමන් ක්‍රීඩා කළ පළමු තරගයේ දෙවැනි ඉනිමේදී අර්ධ ශතකයක් වාර්තා කිරීමට සමත් වූ අතර ඒ. බී ඩිවිලියර්ස් සමග එක්ව සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට සමත් විය.
මෙල්බර්න් හිදී ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවති දෙවන ටෙස්ට් තරගයේදී JP ඩුමිනි පළමු ඉනිමේදී ලකුණු 166ක් රැස් කිරීමට සමත් විය. එම තරගය ද ඇතුළුව ඕස්ට්‍රේලියාවට එරෙහි පැවති ටෙස්ට් තරගාවලිය 2-1ක් ලෙස ජයග්‍රහණය කිරීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් විය.
පළමු ටෙස්ට් සංචාරයේදීම ඩුමිනි දැක්වූ දක්ෂතා හේතුවෙන් ඔහු ක්‍රිකට් ප්‍රේක්ෂකයින් අතර ජනප්‍රිය චරිතයක් බවට පත්විය.
2017 වසරේදී ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමුගන්නා විට ඩුමිනි, ටෙස්ට් තරග 46 කදී ශතක 06ක් සහ අර්ධ ශතක 08ක් සමගින් ලකුණු 2,103ක් රැස් කිරීමට සමත්විය. පන්දු යැවීමේදී කඩුලු 42ක් දවා ගැනීමට ද ඔහු සමත්ව ඇත.
විස්සයි 20 තරග 81කට ක්‍රීඩා කර ඇති JP ඩුමිනි පිතිකරුවෙකු ලෙස ලකුණු 1934ක් රැස් කිරිමට සමත්ව ඇති අතර, පන්දු යැවීමේදී කඩුලු 21ක් දවා ගෙන තිබේ.
දක්ෂ පන්දු රකින්නෙකු ද වන ඩුමිනි එක්දින, ටෙස්ට් සහ විස්සයි 20 තරග වලදී ලබා ගෙන ඇති උඩ පන්දු සංඛ්‍යාව 155ක් ලෙස සටහන්ව තිබේ.