සන්රයිසර්ස් හයිද්‍රාබාද් කණ්ඩායම අලුතින් ලියූ IPL වාර්තා මොනවා ද?

2024 ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලියේ මුම්බායි ඉන්ඩියන්ස් සහ සන්රයිසර්ස් හයිද්‍රාබාද් කණ්ඩායම් අතර තරගයෙන් සන්රයිසර්ස් හයිද්‍රාබාද් කණ්ඩායමට ලකුණු 31ක ජයක් හිමි විය.

මාර්තු 27 වැනිදා හයිද්‍රාබාද්හි රජිව් ගාන්ධි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ, පැවැති මෙම සුවිශේෂී තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් සන්රයිසර්ස් හයිද්‍රාබාද් කණ්ඩායම පන්දු වාර 20 තුළදී කඩුලු 3ක් පමණක් දැවී වාර්තාගත ලකුණු 277ක් රැස් කළේ ය.

එය IPL ඉතිහාසයේ කාණ්ඩායමක් රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙස වාර්තා අතරට එක්විය.

මෙම දැවැන්ත ලකුණු සංඛ්‍යාව රැස් කිරීමේදී හයිද්‍රාබාද් කණ්ඩායමේ කිසිදු පිතිකරුවෙකු ශතකයක් වාර්තා නොකිරීම ද කැපී පෙනිණි.

හෙන්රික් කාල්සන් පන්දු 34කදී ලකුණු 80ක් රැස් කළ අතර, අභිෂේක් ෂර්මා පන්දු 23කදී ලකුණු 63ක් සහ ට්‍රැවිස් හෙඩ් පන්දු 24කදී ලකුණු 62ක් රැස් කළහ.

ඉනිමේ මන්දගාමී ම අර්ධ ශතකය රැස් කරනු ලැබුවේ හෙන්රික් කාල්සන්ය. ඔහු අර්ධ ශතකය ලබා ගනු ලැබුවේ පන්දු 23කින්ය. ට්‍රැවිස් හෙඩ් පන්දු 18කින් අර්ධ ශතකය රැසක් කළ අතර ඉන් මොහොතකට පසු අභිෂේක් ෂර්මා විසින් අර්ධ ශතකය රැසක් කරනු ලැබුවේ පන්දු 16කට මුහුණ දෙමිනි.

එය සන්රයිසර්ස් හයිද්‍රාබාද් ක්‍රීඩකයෙකු රැස් කළ වේගවත්ම අර්ධ ශතකයයි.

පිළිතුරු වශයෙන් මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම කඩුලු 5කට ලකුණු 246ක් රැස් කළේ ය. තරගයේ ජයග්‍රහණය හඹා යාමට මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම දැඩි උත්සහයක නිතර වුව ද එය ව්‍යර්ථ විය.

තිලක් වර්මා පන්දු 34කදී ලකුණු 64ක් රැස් කළ අතර ටිම් ඩේවිඩ් පන්දු 22කදී ලකුණු 42ක් රැස් කළේ ය.

පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ මුම්බයි ඉන්ඩියන්ස් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් පන්දුවාර 3කදී වේගවත් ලකුණු 50ක් රැස් කරමින් සාර්ථක ආරම්භයක් ලබා ගනු ලැබුවද, ඉෂාන් කිෂාන් පන්දු 13කින් ලකුණු 34ක් රැස් කර ගෙන සිටියදී දැවී යාමත් සමග ලකුණු ලබා ගැනීමේ වේගය බිඳ වැටුණි.

මෙම තරගය පිතිකරුවන්ගේ තරගයක් බවට පත්වූ අතර ප්‍රේක්ෂකයින් අමන්දානන්දයට පත් කරමින් තරගය පුරා 6 පහර 38ක් එල්ල කෙරිණි.

මෙහිදී කණ්ඩායම් දෙක ම රැස් කළ ලකුණු එකතුව 523ක් වූ අතර, එය ඕනෑ ම පන්දු වාර 20 තරගයකදී කණ්ඩායම් දෙක ම රැස් කළ වැඩි ම ලකුණු සංඛ්‍යාව ලෙස නව වාර්තාවක් බවට පත්විය.

මීට පෙර එම වාර්තාවට හිමිකම් කීවේ, දකුණු අප්‍රිකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම යි. පසුගිය වසරේදී පැවති එම තරගයේදී කණ්ඩායම් දෙක ම ලකුණු 517ක් රැස් කර තිබිණි.

තරගය අතරතුර අලුත් වූ වාර්තා මොනවා ද?

මෙම තරගයේදී ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලි ඉතිහාසය අලුතින් ලියැවුණේ, නව වාර්තා කිහිපයක් සමගිනි.

එහිදී පිහිටවූ වාර්තා කිහිපයක් මෙසේ ය.

1. IPL ඉතිහාසයේ කණ්ඩායමක් රැස් කළ වැඩි ම ලකුණු සංඛ්‍යාව - 277/3

මෙහිදී සන්රයිසර්ස් හයිද්‍රාබාද් කණ්ඩායම බිඳ හෙළුවේ මීට වසර 11කට පෙර එනම්, 2013 වසරේදී පූනේ වොරියර්ස් කණ්ඩායමට එරෙහි රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම කඩුලු 5කට රැස් කර තිබූ ලකුණු 263ක වාර්තාව ය.

2. IPL තරග ඉතිහාසයේ එක් තරගයක කණ්ඩායම් දෙකේ ම ලකුණුවල එකතුව 500 ඉක්මවා යාම (277+246 = 523).

3.සන්රයිසර්ස් හයිද්‍රාබාද් කණ්ඩායමේ වේගවත් ම IPL අර්ධ ශතක වාර්තාව එක ම ඉනිමකදී දෙවරක් බිඳ වැටීම.

ට්‍රැවිස් හෙඩ් පන්දු 18කදී ලකුණු 50ක් රැස් කරමින් පෙර පැවති වාර්තාව බිඳ හෙළූ අතර, ඉන් පන්දුවාර කිහිපයකට පසු අභිෂේක් ෂර්මා පන්දු 16කදී ලකුණු 50ක් රැස් කරමින් එම වාර්තාව අලුත් කිරීමට සමත් විය.

IPL තරග ඉතිහාසයේ වේගවත් ම අර්ධ ශතකය රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම නියෝජනය කළ යසස්වි ජයිස්වාල් රැස් කළේ පන්දු 13කදී ය. ඒ, 2023 වසරේදී යි.

4. IPL තරගයකදී එක් ඉනිමක පිතිකරුවන් දෙදෙනෙකු (ට්‍රැවිස් හෙඩ් සහ අභිෂේක් ෂර්මා) පන්දු 20කට අඩු ගණනකදී අර්ධ ශතක වාර්තා කිරීම.

5. IPL තරගයකදී පළමු පන්දු වාර 10 තුළදී කණ්ඩායමක් රැස් කළ වැඩි ම ලකුණු සංඛ්‍යාව (148)

6. IPL තරගයක පන්දු වාර 4කදී වැඩි ම ලකුණු ලබා දුන් තුන් වන පන්දු යවන්නා බවට 17 හැවිරිදි දකුණු අප්‍රිකානු ක්‍රීඩක ක්වෙනා මෆාකා පත්වීම (ලකුණු 66)

7. IPL තරගයකදී එල්ල කළ වැඩි ම 6 පහර සංඛ්‍යාව

කණ්ඩායම් දෙක ම 6 පහර 38ක් එල්ල කළ අතර, ඉන් 18ක් එල්ල කළේ සන්රයිසර්ස් හයිද්‍රාබාද් කණ්ඩායමේ ක්‍රීඩකයින් ය. 6 පහර 20ක් මුම්බායි පිතිකරුවෝ එල්ල කළහ.

8. ඕනෑ ම පිරිමි පන්දු වාර 20 තරගයකදී කණ්ඩායමක් රැස් කළ තුන් වන වැඩි ම ලකුණු සංඛ්‍යාව

මෙහි වාර්තාවට හිමිකම් කියන්නේ, පසුගිය වසරේ මොංගෝලියාවට එරෙහිව කඩුලු 3කට ලකුණු 314ක් රැස් කළ නේපාලය වන අතර, දෙවන ස්ථානයේ රැදී සිටින්නේ, 2019 වසරේදී අයර්ලන්තයට එරෙහිව කඩුලු 3කට ලකුණු 278ක් රැස් කළ ඇෆ්ගනිස්ථානයයි.

IPL ඉතිහාසයේ වැඩි ම ලකුණු වාර්තා

IPL ඉතිහාසයේ වැඩි ම ලකුණු වාර්තා

  • සන්රයිසර්ස් හයිද්‍රාබාද් 277/3 - මුම්බායි ඉන්ඩියන්ස්ට එරෙහිව (2024)
  • රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් 263/5 පූනේ වොරියර්ස්ට එරෙහිව (2013)
  • ලක්නව් සුපර් ජයන්ට්ස් 256/5 - පන්ජාබ් කිංග්ස්ට එරෙහිව (2023)
  • රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් 248/3 - ගුජරාට් ලයන්ස්ට එරෙහිව (2016)
  • චෙන්නායි සුපර් කිංග්ස් 246/5 - රාජස්ථාන් රෝයල්ස්ට එරෙහිව (2010)

මේ අතර, මෙම තරගය මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමේ රෝහිත් ෂර්මා සහභාගි වූ 200 වන IPL තරගය වූ අතර, මුම්බායි කණ්ඩායම වෙනුවෙන් IPL තරග 200ක් ක්‍රීඩා කළ පළමු ක්‍රීඩකයා ඔහු බවට පත්විය.

IPL තරග ඉතිහාසයේ තරග 200කට ක්‍රීඩා කළ තුන් වන ක්‍රීඩකයා වන්නේ රෝහිත් ෂර්මා ය.

ඔහුට පෙර මහේන්ද්‍ර සිං දෝනි සහ විරාට් කෝලි තරග 200 සීමාව ඉක්මවා තිබිණි.