අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන තීරණය රජය ආපසු හැරවූවා ද? ඇත්තට ම රජයේ තීරණය කුමක් ද?

    • Author, බීබීසී සිංහල

රජය විසින් හඳුන්වා දෙනු ලැබූ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අදාළව 6 ශ්‍රේණියේ විෂය මලා වෙනස් කිරීම වසරකින් කල් දැමීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය තීරණය කළ බව කැබිනට් ප්‍රකාශක නලින්ද ජයතිස්ස පවසයි.

කෙසේ වෙතත්, සෙසු ප්‍රතිසංස්කරණ එලෙස ම ඉදිරියට ක්‍රියාත්මක කරන බව ඔහු පැවසීය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, අඟහරුවාදා (ජන. 13) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ය.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය යටතේ දරුවන් වෙත බෙදා දීමට සැලසුම් කර තිබුණු 6 ශ්‍රේණිය ඉංග්‍රීසි මොඩියුලයේ නුසුදුසු වෙබ් අඩවියක නමක් සඳහන් කර තිබීම හරහා පැන නැගුණු විවාදාත්මක තත්ත්වය සමාජය තුළ දැඩි ආන්දෝලනයක් ඇති කිරීමට හේතු වුණු අතර රජයේ මෙම තීරණය පැමිණෙන්නේ ඉන් සති කිහිපයකට පසුව ය.

'පැහැදිලි ජනවරමක්'

රජය බලයට පැමිණීමට පෙර සිට ම මැතිවරණ වේදිකාවලදී පවා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව සඳහන් කළ බව අමාත්‍ය නලින්ද ජයතිස්ස කැබිනට් මාධ්‍ය හමුවේදී පැවසීය.

ඔහු සඳහන් කළේ, ඒ අනුව ජනතාව, පැවති මැතිවරණ ද්විත්වයේදී ම මෙම ප්‍රතිසංස්කරණ සිදු කිරීම වෙනුවෙන් තම ආණ්ඩුව වෙත "පැහැදිලි ජනවරමක්" ලබා දී ඇති බව ය.

"ඒ නිසා ආණ්ඩුවට ලැබී තිබෙන ජනවරමත් සමාජයේ අවශ්‍යතාවත් අනුව සිදුකළ යුතු අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉතාමත් දූරදර්ශීව සහ නිර්භීතව සිදු කිරීම වෙනුවෙන් ආණ්ඩුව කටයුතු කරනවා," ඔහු පැවසීය

'සමහර අය මේක දේශපාලන අරමුණු වෙනුවෙන් පාවිච්චි කරනවා'

ප්‍රධාන කුළුණු 5ක් ඔස්සේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කිරීමට නියමිතව පැවති බව කැබිනට් ප්‍රකාශ නලින්ද ජයතිස්ස කැබිනට් මාධ්‍ය හමුවේදී සඳහන් කළේ ය.

ඔහු පැවසුවේ, එහි විෂය මාලා සංවර්ධනය කුළුණ යටතේ 2026 වසරේ පළවෙනි ශ්‍රේණියේ සහ 6 වන ශ්‍රේණියේ විෂය මාලා වෙනස් කිරීමට කටයුතු ආරම්භ කළ බව ය.

"මේ වන විට 6 වන ශ්‍රේණියේ විශේෂයෙන් ඉංග්‍රීසි මොඩියුලයේ තියෙන සමහර දේවල් සම්බන්ධයෙන් සහ තවත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සමාජයේ යම් ව්‍යාකූලත්වයක් පැන නැගිලා තියෙන බව අපි දන්නවා. ඒ ව්‍යාකූලත්වයට විවිධාකාරයේ හේතු බලපාලා තියෙනවා."

ඇතැම් පිරිස් මෙම අර්බුදකාරී තත්ත්වය දේශපාලන අරමුණු සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් භාවිත කරන බව ද ඔහු එහිදී පැවසීය.

"සමහර කෙනෙක් මේක දේශපාලන අරමුණු වෙනුවෙන් පාවිච්චි කරනවා. සමහර කෙනෙක් මේක නඩුවලින් බේරෙන්න පාවිච්චි කරනවා. සමහර කෙනෙක් තමන්ට අහිමි වුණු බලය ලබා ගැනීමේ මාවතක් ලෙසට මේ ව්‍යාකූලත්වය භාවිත කරන්න අර අදින බව පෙනෙනවා," අමාත්‍යවරයා සඳහන් කළේ ය.

කැබිනට් තීරණය කුමක් ද?

අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, එසේ වුව ද, "අවම අවිශ්වාසයක් හෝ තබාගෙන මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙන යාමට නොහැකි බව රජය පැහැදිලිව විශ්වාස කරන" බව ත් ඊට අදාළ වෙනස්කම් කළ යුතුයි යන්න රජය පිළිගන්නා බව ත් ය.

"ඒ අනුව, මේ 6 වන ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලය සම්බන්ධයෙන් පැන නැගිලා තිබුණු තත්ත්වය පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙන ම පරීක්ෂණයක් කළා. ඒ වගේ ම අධ්‍යාපන අමාත්‍යංශය වෙන ම පරීක්ෂණයක් කළා.

"මේ අපරාධ පරීක්ෂණ දෙපර්තෙමෙන්තුවේ විමර්ශන වාර්තාවත්, අධ්‍යාපන අමාත්‍යංශයේ මූලික විමර්ශන වාර්තාවත් පදනම් කරගෙන, ඒ වගේ ම පසුගිය දිනවල ජනාධිපතිතුමා මේ අධ්‍යාපන විෂයට අදාළව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, අධ්‍යාපනඥයින් ඇතුළු කණ්ඩායම් ගණනාවක් එක්ක සාකච්ඡා කළා," ඔහු පැවසීය.

මේවා සැලකිල්ලට ගනිමින් දැනට ආරම්භ කර ඇති කුළුණු 5කින් යුත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අදාළ පළවෙනි ශ්‍රේණියේ ප්‍රතිසංස්කරණ වෙනස් කිරීමකින් තොරව ඉදිරියට ගෙන යාමටත් 6 ශ්‍රේණියේ විෂය මාලා ප්‍රතිසංස්කරණය 2027 වසරේදී ආරම්භ කිරීමටත් කැබිනට් මණ්ඩලය තීරණය කළ බව අමාත්‍යවරයා සඳහන් කළේ ය.

ඊට අමතරව, 6 වන ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලය යළි සමාලෝචනයට ලක් කිරීම සඳහා කාලය ලබා ගන්නා බව ද ඔහු පැවසීය.

"ඒ වගේ ම මේ මානව සම්පත් සංවර්ධනය, යටිතල පහසුකම් සංවර්ධනය සහ පරිපාලන ප්‍රතිසංස්කරණ, තක්සේරුව සහ ඇගයීම, මහජන දැනුවත්භාවය සහ ප්‍රවර්ධනය කියන කටයුතු එලෙස ම ක්‍රියාත්මක කරනවා," අමාත්‍යවරයා සඳහන් කළේ ය.

'වගකිව යුතු නිලධාරීන්ට විනය ක්‍රියාමාර්ග ගන්නවා'

මේ අතර, ප්‍රශ්නගත 6 වන ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයට අදාළව සිදු කරන ලද පරීක්ෂණ අනුව, හෙළිදරව් වූ කරුණු පදනම් කර ගනිමින් ජාතික අධ්‍යාපන ආයතනයේ පාලන සභාව විසින් ඒ සඳහා වගකිවයුතු නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගනු ලබන බව කැබිනට් ප්‍රකාශක නලින්ද ජයතිස්ස මෙහිදී පැවසීය.

"එය කඩිනමින් සිදු කරනවා. ඊට අවශ්‍ය දැඩි ක්‍රියාමාර්ග ගන්න රජය සූදානම්," ඔහු අවධාරණය කළේ ය.

පසුබිම

රජයේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ 6 ශ්‍රේණිය සඳහා සකසන ලද මොඩියුලයේ සමලිංගික සහකරුවන් සොයා ගන්නා වෙබ් අඩවියක නමක් සඳහන් කර තිබීම හේතුවෙන් විවිධ පාර්ශව නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් සැක සංකා මතු කිරීමට පටන් ගත්හ.

ඒ අනුව මේ සම්බන්ධයෙන් පසුගිය දෙසැම්බර් 31 වන දා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කළුවැව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළේ ය. එමෙන් ම, අධ්‍යාපන අමාත්‍යංශ මට්ටමින් මේ පිළිබඳව අභ්‍යන්තර විමර්ශනයක් ඇරඹීය.

English Language First Term Module Grade 6 පොතෙහි මෙම දෝෂය අනාවරණය කළ පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් පවසන්නේ, විෂය මොඩියුලවල තවත් දෝෂ සිය ගණනක් තිබූ බව ය.

කෙටි කාලයක් ඇතුළත මෙය සමාජ මාධ්‍යවල ද ප්‍රධාන මාතෘකාව බවට පත් වූ අතර බොහෝ පාර්ශව වෙතින් රජය ඇතුළු අධ්‍යාපන බලධාරීන් වෙත චෝදනා එල්ල වන්නට විය.

ඇතැම් පාර්ශව චෝදනා කළේ, ආණ්ඩුව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට "ඉක්මන් වූවා වැඩි" බවට ය.

කෙසේ වෙතත්, එම චෝදනා අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙන් ම නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න ද ප්‍රතික්ෂේප කළහ.

එවැනි පසුබිමක මොඩියුලය සකස් කළ ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය මංජුලා විදානපතිරණ මීට පෙර බීබීසී සිංහල මේ පිළිබඳව සම්පාදනය කළ ලිපියක් සඳහා අදහස් දක්වමින් ප්‍රකාශ කළේ, වෙබ් අඩවියේ නම ඇතුළත් කිරීමේදී එය පරීක්ෂා නොකිරීමේ වගකීම තමන් භාර ගත යුතු බව ය.

පසුව ඇය එම ධූරයෙන් තාවකාලිකව ඉවත් වූවා ය.

මේ අතර, නව විෂය මාලා සංශෝධනය සමග පාසල් කාලය පැය භාගයකින් දීර්ඝ කිරීමට ගත් තීරණයට එරෙහිව විරෝධයක් මතු වූ අතර, කෙසේ වෙතත් ආණ්ඩුව සිය තීරණය දිට්වා සුළි කුණාටුවෙන් පසු තාවකාලිකව අත්හිටුවන බවට නිවේදනය කළේ ය.