ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ආණ්ඩුවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ: ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) ප්‍රතිපාදන වෙනුවෙන් ඉක්මන් කළා ද?
- Author, කුමුදු ජයවර්ධන
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය යටතේ සිදු කෙරෙන විෂය මාලා ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් මේ වන විට දැඩි ආන්දෝලනාත්මක තත්ත්වයක් උද්ගත වී තිබේ.
6 ශ්‍රේණිය ඉංග්‍රීසි මොඩියුලයේ නුසුදුසු වෙබ් අඩවියක් සඳහන් කර තිබීම හරහා පැන නැගුණු මෙම තත්ත්වය තවත් උග්‍ර වුණු ස්වභාවයක් දක්නට ඇත.
ඉංග්‍රීසි මොඩියුලයේ දෝෂය අනාවරණය කළ පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් පවසන්නේ, විෂය මොඩියුලවල තවත් දෝෂ සිය ගණනක් ඇති බව ය.
මේ සියලු කාරණා සැලකිල්ලට ගනිමින් බොහෝ දෙනෙකු චෝදනා කරන්නේ, ආණ්ඩුව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට 'ඉක්මන් වූවා වැඩි' බවට ය.
කෙසේ වෙතත්, එම චෝදනා අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙන් ම නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න ද ප්‍රතික්ෂේප කරති.
ආණ්ඩුව මෙම ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට ඉක්මන් වූවා ද?
මෙම චෝදනාව එල්ල කරන ප්‍රධාන පාර්ශවයක් වන්නේ, ලංකා ගුරු සංගමය යි.
එම සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් පවසන්නේ, අදාළ පාර්ශව සමග නිසි ලෙස සාකච්ඡා පැවැත්වීමකින් තොරව විෂය මාලා ප්‍රතිසංස්කරණය කඩිනමින් ආරම්භ කිරීමට ආණ්ඩුව ක්‍රියා කර ඇති බව ය.
"මේ ආණ්ඩුව විෂය මාලා සංශෝධනය ගැන මුලින් ම කතා කළේ ටියුෂන් ගුරුවරු එක්ක. ඊට පස්සේ සමාජයෙන් විරෝධයක් එල්ල වුණාට පස්සෙ තමයි, ගුරුවරු විදිහට අපිත් එක්ක සාකච්ඡාවක් පැවැත්වීමට පියවර ගත්තෙ. ඒ හමුවේදි අපි මේකෙ තියෙන ගැටලු ගැන කළ ප්‍රශ්න කිරීම් හමුවේ ජාතික අධ්‍යාපන ආයතනයේ කට්ටියට කට උත්තර නැති වුණා. ඊට පස්සෙ අපි එතනින් නැගිටල ආවා, සාකච්ඡා කරල ඵලක් නැති නිසා. ඊට පස්සෙ කිසි සොයා බැලීමක් නොකර මේක ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා. පුදුම හදිසියක් තිබුණෙ ආණ්ඩුවට."
'ආණ්ඩුව හදන්නෙ ADB එකේ සල්ලි ටික ගන්න යි'
ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් පවසන්නේ, ආසියානු සංවර්ධන බැංකුව (ADB) ලබා දෙන මූල්‍ය ආධාර ලබා ගැනීම සඳහා හදිසියේ මෙම ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට රජය ක්‍රියා කරන බව ය.
"2024 අගෝස්තු මාසයේ ජාතික අධ්‍යාපන ආයතනය පොතක් නිකුත් කළා. ඒකෙ පැහැදිලිව ම IMF, ADB, World Bank එකට ස්තුති කරල තිබෙනවා. ඇමෙරිකානු ඩොලර් මිලියන 400ක් තමයි දීල තියෙන්නෙ මේකට."
මේ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ද මාධ්‍ය හමුවකදී පැවසුවේ, මේ සඳහා රජයට මුදල් ප්‍රතිපාදන ලැබෙන බව ය.
ADB ප්‍රතිපාදන
ආසියානු සංවර්ධන බැංකුව මෙම ප්‍රදානය ලබා දී ඇත්තේ, ද්විතීක අධ්‍යාපන අංශයේ ප්‍රතිසංස්කරණ ඇතුළත් Secondary Education Sector Improvement Program (SESIP) වැඩසටහන වෙනුවෙනි.
2020 වසරේදී අත්සන් තැබුණු මෙම ගිවිසුමට අදාළව විෂය මාලා ප්‍රතිසංස්කරණය වෙනුවෙන් ආසියානු සංවර්ධන බැංකුව ඇමෙරිකානු ඩොලර් මිලියන 400ක් ලබා දී තිබේ.
මෙම ව්‍යාපෘතියට අදාළව ආසියානු සංවර්ධන බැංකුවේ අගය එකතු කිරීම් එම බැංකුව සිය වාර්තාවේ මෙසේ දක්වා ඇත.
(i) හොඳ ම භාවිතයන් බෙදා ගන්නා කීර්තිමත් ජාත්‍යන්තර ආයතන සමග හවුල්කාරිත්වයෙන් නව්‍ය සහ විමර්ශන පාදක මිශ්‍ර ඉගැන්වීම්-ඉගෙනුම් ප්‍රවේශයන් සඳහා අතිනවීන විශේෂඥතා දැනුම ගෙන ඒම;
(ii) උප අංශ තුනෙහි ම ADB සහය ඇතිව ද්විතීයික අධ්‍යාපනය, තාක්ෂණික සහ වෘත්තීය අධ්‍යාපනය, පුහුණුව, උසස් අධ්‍යාපනය හරහා සහයෝගීතාවක් ඇති කිරීම;
(iii) වඩා හොඳ ගුරුවරුන් යෙදවීමේ උපාය මාර්ග ක්‍රියාත්මක කිරීමට හැකියාව ලබා දීම;
(iv) ප්‍රතිසංස්කරණවලට සහය වන දේශීය ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමට පාසල් සහ ප්‍රජාවන් බල ගැන්වීම;
(v) අධ්‍යාපනයේ COVID-19හි බලපෑම අවම කිරීම;
(vi) අංශ කළමනාකරණය ශක්තිමත් කිරීම මගින් ප්‍රතිසංස්කරණ වේගවත් කිරීම. ඉහළ ද්විතීයික අධ්‍යාපනය කෙරෙහි වැඩසටහනේ අවධානය (10-13 ශ්‍රේණි)
ආසියානු සංවර්ධන බැංකුව ලබා දෙන ඩොලර් මිලියන 400 වෙන් කර ඇති ක්ෂේත්‍ර මෙසේ ය. (මූලාශ්‍රය: ආසියානු සංවර්ධන බැංකුව)
- ඉගෙනීම සහ 21 වන සියවසේ කුසලතා වැඩි දියුණු කිරීම සඳහා ශිෂ්‍ය තක්සේරු පද්ධතියක් (ගැටලු විසඳීම, නිර්මාණාත්මක චින්තනය, සන්නිවේදනය සහ කණ්ඩායම් වැඩ) ස්ථාපනය කිරීම. (ඇ.ඩො. මිලියන 80)
- විමර්ශන පාදක 'සාමාන්‍ය පෙළ' සහ 'උසස් පෙළ', වැඩසටහන් ඉලක්ක කර ගත් විෂයයන් තුළ ඉගෙනුම් විෂය මාලා මිශ්‍ර කර සංවර්ධනය කර ක්‍රියාත්මක කරන ලද අතර, ස්ත්‍රී පුරුෂ භාවය ප්‍රධාන ධාරාවට ගෙන ඒම. (ඇ.ඩො. මිලියන 76)
- සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ වැඩසටහන් ඉලක්ක කර ගත් විෂයයන්හි 10-12 ශ්‍රේණිවල ගුරුවරුන්ගෙන් අවම වශයෙන් 65%ක් මාර්ගගත සහ දූරස්ථ ඉගෙනීම සහ මුහුණට මුහුණ පන්ති කාමර උපදෙස් (කාන්තා/පිරිමි) හරහා විමර්ශන පාදක සහ අන්තර්ක්‍රියාකාරී ඉගැන්වීමේ පිළිවෙත් ක්‍රියාත්මක කිරීම. (ඇ.ඩො. මිලියන 76)
- (ජාතික/පළාත් පාසල් අනුව) ගුරු කාර්ය මණ්ඩලය තීරණය කිරීම පිළිබඳ අධ්‍යාපන අමාත්‍යාංශයේ චක්‍රලේඛයට අනුකූලව, 'සාමාන්‍ය' සහ 'උසස් පෙළ' වැඩසටහන් ඉලක්ක කර ගත් විෂයයන්/විෂය ධාරාවන් සඳහා ගුරුවරුන්ගෙන් අවම වශයෙන් 70%ක් පාසල්වලට යොදවා තිබේ. (ඇ.ඩො. මිලියන 60)
- ද්විතීයික අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා සහය වීම සඳහා අධ්‍යාපනික නායකත්වය ශක්තිමත් කිරීම:(i) වැඩසටහන ක්‍රියාත්මක වන පාසල්වල විදුහල්පතිවරුන්, සහකාර සහ නියෝජ්‍ය විදුහල්පතිවරුන්ගෙන් අවම වශයෙන් 75%ක් (ඔවුන්ගෙන් අවම වශයෙන් 40%ක් කාන්තාවන්), සහ වැඩසටහන් ක්ෂේත්‍රවල පළාත්/ප්‍රාදේශීය/කලාපීය අධ්‍යාපන නිලධාරීන්ගෙන් 75%ක් (ඔවුන්ගෙන් අවම වශයෙන් 60%ක් කාන්තාවන්) උපදේශන නායකත්වය පිළිබඳ පුහුණුව ලත් (ජාතික/පළාත් පාසල්, පිරිමි/කාන්තා අභ්‍යාසලාභීන්). (ඇ.ඩො. මිලියන 28) (ii) වැඩසටහන ක්‍රියාත්මක වන පාසල්වලින් අවම වශයෙන් 70%ක් (අ) STMC විෂයයන්හි ඉගෙනුම් ප්‍රතිඵල වැඩිදියුණු කිරීම, (ආ) STMC විෂයයන්ට ගැහැනු ළමයින් යොමු කිරීම සහ සහභාගිත්වය වැඩි කිරීම සහ (ඇ) පිරිමි ළමයින් අතර අධ්‍යාපනය හැර යාම අඩු කිරීම (ජාතික/පළාත් වැඩසටහන් පාසල් මගින්) සඳහා උපාය මාර්ග ක්‍රියාත්මක කිරීම. (ඇ.ඩො. මිලියන 40)
- අධ්‍යාපන අමාත්‍යාංශය සහ පළාත් අධ්‍යාපන අධිකාරිය අතර කාර්ය සාධනය පදනම් කර ගත් සියලු හවුල්කාරිත්ව ගිවිසුම් සෑම වසරක ම ප්‍රමුඛතා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රයට අනුකූලව ක්‍රියාත්මක කිරීම. (ඇ.ඩො. මිලියන 20)
- MOE, NIE සහ DOE වෙතින් ස්ත්‍රී පුරුෂභාවය පිළිබඳ-විසංයෝජන දත්ත ඇතුළුව සියලු ම ප්‍රධාන අංශ දර්ශක MOE වෙබ් අඩවියේ ප්‍රසිද්ධියේ ලබා ගත හැකි අතර වාර්ෂික අංශ කාර්ය සාධන වාර්තා ලෙස ප්‍රකාශයට පත් කිරීම. (ඇ.ඩො. මිලියන 20)
මෙම ව්‍යාපෘතිය 2020 සිට 2025 දක්වා වසර 5ක කාලය තුළ අවසන් කිරීමට නියමිතව තිබිණි.
මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති වාර්තාවේදී ආසියානු සංවර්ධන බැංකුව ලබා දෙන මූල්‍ය ආධාරය පිළිබඳව සඳහන් කර තිබේ.
'මුදල් ලබා ගැනීමේ අරමුණින් මේ ක්‍රියාවලිය ඉක්මන් කරල නෑ' - අධ්‍යාපන නියෝජ්‍ය ඇමති
මේ අතර, ආසියානු සංවර්ධන බැංකුවේ මුදල් ලබා ගැනීම සඳහා විෂය මාලා ප්‍රතිසංස්කරණය ඉක්මන් කර ඇති බවට එල්ල වන චෝදනා වැරදිසහගත බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න පවසයි.
බීබීසී සිංහල සේවයට ඔහු ප්‍රකාශ කළේ, විෂය මාලා ප්‍රතිසංස්කරණය යනු සමස්ත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ එක් කොටසක් පමණක් බව ය.
ඔහු පැවසූ පරිදි මෙම ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය කොටස් 5ක් ඔස්සේ ක්‍රියාත්මක වෙයි.
ඒ, යටිතල පහසුකම් සංවර්ධනය, මානව සම්පත් සංවර්ධනය, විභාග ක්‍රම වැඩි දියුණු කිරීම, ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ජනගත කිරීම සහ විෂය මාලා ප්‍රතිසංස්කරණය යන අංශ 5 ඔස්සේ ය.
"ඕක හරි ම වැරදිසහගත අදහසක් මොක ද ඔය කියන විදිහේ මුදලක් මේ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ යම් යම් අවස්ථාවලදී ADB හෝ වෙනත් ආයතනවලින් ප්‍රතිපාදන ලැබෙනවා වෙන්න පුළුවන්. හැබැයි කිසි ම කාරණයක් සඳහා මුදල් ලබා ගැනීමේ අරමුණින් මේ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ඉක්මන් කිරීමක් මෙතන සිද්ධ වෙන්නෙ නෑ."
"අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් අපේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් කරල තියෙනවා. ඒ කරුණුවලට අදාළව තමයි, ප්‍රතිසංස්කරණ කටයුතු මේ අවුරුද්දෙ පටන් ගත්තේ."
කෙසේ වෙතත්, 6 ශ්‍රේණිය විෂයයන් කිහිපයක මොඩියුලවල විවිධ දෝෂ සම්බන්ධයෙන් අනාවරණයන් කර ඇති අතර, ඒවා නිවැරදි කර වඩාත් සාර්ථකව මෙම ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කිරීම ආණ්ඩුව හමුවේ ඇති දැවැන්ත අභියෝගයක් වනු ඇත.
මේ අතර, නව විෂය මාලා සංශෝධනය සමග පාසල් කාලය පැය භාගයකින් දීර්ඝ කිරීමට ගත් තීරණයට එරෙහිව විරෝධයක් මතු වූ අතර, කෙසේ වෙතත් ආණ්ඩුව සිය තීරණය දිට්වා සුළි කුණාටුවෙන් පසු තාවකාලිකව අත්හිටුවන බවට නිවේනදය කළේය.