ඇමෙරිකාවට මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන රටවල් අතර වෙනිසියුලාව ප්‍රධාන තැනක් ගන්නා බවට ට්‍රම්ප් කළ ප්‍රකාශය නිවැරදි ද?

    • Author, යෝසේ කාලෝස් කෙටෝ
    • Role, කොලොම්බියාවේ බීබීසී මුන්ඩෝ වාර්තාකරු

ග්‍රහණයට ගන්නා ලද වෙනිසියුලානු නායක නිකොලස් මදුරෝ එක්සත් ජනපදයට රැගෙන ඒමටත් පෙර, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු ඇඟවූයේ මෙක්සිකෝව සහ කොලොම්බියාව ඔහුගේ මත්ද්‍රව්‍ය විරෝධී සටනේ ඊළඟ ඉලක්ක විය හැකි බව ය.

"ඔහු ප්‍රවේශම් වෙන එක හොඳයි," කොකේන් නිෂ්පාදනය කර එක්සත් ජනපදයට ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් ට්‍රම්ප්ගේ චෝදනාවට ලක්ව සිටින කොලොම්බියානු ජනාධිපති ගුස්ටාවෝ පෙට්‍රෝට ඔහු තර්ජනය කළේ ය. අනතුරුව ඔහු මෙලෙස පැවසුවේය: එක්සත් ජනපදය කිලෝමීටර් 3,145ක් දිගු වෙරළ සීමාවක් බෙදා ගන්නා "මෙක්සිකෝව ගැන යමක් කරන්න සිදු වෙනවා."

මෙම අනතුරු ඇඟවීම් සුළුපටු ඒවා නොවෙයි. මත්ද්‍රව්‍ය ත්‍රස්තවාදය සහ කොලොම්බියානු ගරිල්ලන් සහ මෙක්සිකානු අපරාධ ජාල සමග සම්බන්ධතා පැවැත්වීම ඇතුළු අනෙකුත් වැරදි සම්බන්ධයෙන් එක්සත් ජනපදයේ චෝදනාවට ලක්ව සිටින මදුරෝ අත්අඩංගුවට ගැනීමෙන් පෙනී යන්නේ ඔහුගේ පරිපාලනය තර්ජන සිදු කර පමණක් නොනවතින බව ය.

2025 අගෝස්තු මාසයේදී එක්සත් ජනපදය කැරිබියන් කලාපය සහ වෙනිසියුලාව වටා මහා පරිමාණයෙන් හමුදා මෙහෙයුමක් ක්‍රියාත්මක කළේ ය. වොෂින්ටනය පැවසුවේ, මෙය වෙනිසියුලානු සන්නද්ධ හමුදාවන් සමග සම්බන්ධතා පවත්වන සහ මදුරෝ විසින් මෙහෙයවනු ලබන "මත්ද්‍රව්‍ය-ත්‍රස්තවාදී සංවිධානයක්" යැයි පැවසෙන Cartel de los Soles (කාටෙල් ඔෆ් ද සන්ස් සඳහා වන සපාඤ්ඤ යෙදුම) සඳහා කඳවුරක් බවට ඔවුන්ගේ චෝදනාවට ලක් වන දකුණු ඇමෙරිකානු රටෙන් සිදු කරන මත්ද්‍රව්‍ය ජාවාරම නැවැත්වීම සඳහා සිදු කළ බවයි.

මෙක්සිකෝව සහ කොලොම්බියාව මෙම ගෝලීය ජාලයේ ප්‍රධාන පාර්ශවයන් වේ. සන්නද්ධ කණ්ඩායම් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ඔවුන්ගේ රටවලට සහ කලාපයේ ඕනෑ ම එක්සත් ජනපද අරමුණකට තර්ජනයක් එල්ල කරයි. නමුත් මත්ද්‍රව්‍ය ජාවාරමේ ඔවුන්ගේ භූමිකාව වෙනිසියුලාවට සාපේක්ෂව සිදු කෙරෙන්නේ කෙසේ ද? ට්‍රම්ප්ට මදුරෝට එරෙහිව දියත් කළ මෙහෙයුමට සමාන මෙහෙයුමක් සංවිධානය කළ හැකිවේ ද? මෙය මත්ද්‍රව්‍යවලින් ඔබ්බට යනවා ද? ලතින් ඇමෙරිකාව තුළ පෙර නොවූ විරූ මොහොතකදී මෙම ප්‍රශ්න ගොඩගැසී තිබේ.

බීබීසී මුන්ඩෝ විසින් සම්බන්ධ කර ගන්නා ලද විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ, සියල්ලට ම ඉහළින් වෙනිසියුලාව, ප්‍රධාන වශයෙන් කොලොම්බියාවේ නිපදවන කොකේන් සඳහා සැපයුම් මධ්‍යස්ථානයක් ලෙස කටයුතු කරන බවට වන අදහසට එකඟ වෙයි. එහි කොකේන් රසායනාගාර රාශියක් ඇති නමුත් කොකේන් වගා බිම් අඩු බව කොලොම්බියා ජාතික විශ්වවිද්‍යාලයේ ඩැනියෙල් රිකෝ පෙන්වා දෙයි.

"වෙනිසියුලාව දකුණු ඇමෙරිකාවේ සිට ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම් මාර්ග පුළුල් කරන්න ප්‍රයෝජනවත් වෙලා තියෙනවා. විශේෂයෙන් ම කොලොම්බියාවේ සිට වෙනිසියුලාවේ කැරිබියන් වෙරළ තීරය හරහා සැපයුම් මාර්ග වැඩි දියුණු කිරීමෙන්," කොලොම්බියාවේ සාමය සහ සංහිඳියා පදනමේ ෆ්‍රැන්සිස්කෝ ඩාසා පවසයි.

මේවා ප්‍රධාන වශයෙන් යුරෝපීය සහ උතුරු ඇමෙරිකානු වෙළෙඳපොළවල් ඉල්ලක් කර ගනිමින් බෙදා හැරේ.

සිය දේශපාලන, ආයතනික සහ මිලිටරි ව්‍යුහය මෙන් ම කොලොම්බියානු ගරිල්ලන්ගේ පැවැත්මේ සහය ඇතිව "වෙනිසියුලාව කියන්නේ නිෂ්පාදකයෙක් නෙවෙයි. නමුත් එයාලා මත්ද්‍රව්‍ය සඳහා පසුගිය වසර 20 තුළ හොඳට ස්ථාපනය වෙලා තියෙන විවෘත අහසක් සහ වරායක් වගේ දෙයක්," යනුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ චිකාගෝහි ඉලිනොයිස් විශ්වවිද්‍යාලයේ ආචාර්ය ජෝර්ජ් මැන්ටිලා පැහැදිලි කරයි.

1960 ගණන්වල මතු වූ කොලොම්බියානු ජාතික විමුක්ති හමුදාව (ELN), දැන් විවිධ වෙනිසියුලානු ප්‍රාන්තවල බොලිවේරියානු ජාතික සන්නද්ධ හමුදාවන්හි දූෂිත සාමාජිකයින් සමග සන්ධානගත වී ඇති බව ඩැසා සහ මැන්ටිලා පවසයි. ඔවුන් මේ වන විට මේ රටවල් අතර දේශ සීමා ඔස්සේ විශාල ප්‍රදේශවල ක්‍රියාත්මක ප්‍රධාන සන්නද්ධ හමුදාව වන අතර, මත්ද්‍රව්‍ය සහ නීති විරෝධී පතල් කැණීම් වැනි වෙනත් නීති විරෝධී ක්‍රියාකාරකම් සඳහා උපායමාර්ගික කොරිඩෝවක් පාලනය ලබා ගැනීම වෙනුවෙන් කොලොම්බියාවේ විප්ලවවාදී සන්නද්ධ හමුදා විරුද්ධවාදීන් සහ කොලොම්බියාවේ විශාලතම අපරාධ සංවිධානය වන 'ක්ලෑන් ඩෙල් ගොල්ෆෝ' සමග තරගයක නිරත වී සිටියි.

කොකේන් සියල්ල ම පාහේ නිෂ්පාදනය කරනු ලබන්නේ කොලොම්බියාව, පේරු හෝ බොලිවියාව තුළ වන නමුත් වැඩි ම නිෂ්පාදනය සිදු කරන්නේ කොලොම්බියාව තුළ ය. එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලය පවසන පරිදි, 2023 වසරේදී එහි නිෂ්පාදනය 53%කින් ඉහළ ගොස් වාර්තාගත ලෙස ටොන් 2,600 කට ළඟා විය. එය ඉතා ඵලදායී කෝකා කොළ සහ විශාල දුරක්, රහසිගතව සහ මිනිසුන් නොමැතිව ස්වයංක්‍රීයව පවා ගමන් කළ හැකි මත්ද්‍රව්‍ය රැගෙන ධාවනය කරන යාත්‍රාවල මතුවීම ඇතුළුව නිෂ්පාදනයේ සහ බෙදා හැරීමේ නිරන්තර වැඩිදියුණු වීම් මත ගොඩනගා ඇති වාර්තාවකි.

"කෝකා කොළ ප්‍රධාන වශයෙන් මෙම රටවල් තුනේ රසායනාගාරවල සැකසෙන්නේ ඒවා පාරිභෝගික නිෂ්පාදනයක් (ප්‍රධාන වශයෙන් කොකේන් හයිඩ්‍රොක්ලෝරයිඩ්) බවට හෝ ඇතැම් විට අතරමැදි නිෂ්පාදනයක් බවට පරිවර්තනය කිරීම සඳහා. මොකද ක්‍රියාවලියේ ඇතැම් කොටස් සැපයුම් දාමයේ පසුකාලීන අවධියේදී ද සිද්ධ වෙන්න පුළුවන් නිසා," එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලයේ දත්ත, විශ්ලේෂණ සහ සංඛ්‍යාලේඛන අංශයේ ප්‍රධානී ඇන්ටෝන් විලා පැහැදිලි කරයි.

එය පළමුව ඉක්වදෝරය හෝ වෙනිසියුලාව වැනි අසල්වැසි රටවලට ඇතුළු වී, පසුව වේගවත් බෝට්ටු, ධීවර බෝට්ටු හෝ අර්ධ වශයෙන් ජලයේ ගිලී ගමන් කළ හැකි සබ්මර්සිබල් මගින් මධ්‍යම ඇමරිකාවේ වෙරළට හෝ ඍජුව මෙක්සිකෝවට ප්‍රවාහනය කර ගොඩබිම හරහා උතුරු දෙසට ගෙන යා හැකිය.

කොලොම්බියාවේ මුළු කොකේන් නිෂ්පාදනයෙන් අඩක් පමණ පැමිණෙන්නේ නිශ්චිත ප්‍රදේශ තුනකින් පමණි. නමුත් එම ප්‍රදේශ නියෝජනය කරන්නේ කොලොම්බියාවේ කෝකා වගා කරන මුළු භූමියෙන් 15%ක් පමණ පමණි. ඉන් එකක් ඊසානදිග කොලොම්බියාවේ වෙනිසියුලා දේශ සීමා මායිමේ පිහිටි කැටටුම්බෝ වන අතර අනෙක් ඒවා දකුණේ පිහිටි පුදුමයෝ, කෝකා සහ නරීඤෝ ය. 2020දී එක්සත් ජනපද අන්තරායකර ඖෂධ පාලක ආයතනයේ නවතම ඇස්තමේන්තුවලට අනුව, ඇමෙරිකා එක්සත් ජනපදයට ප්‍රවාහනය කරන කොකේන්වලින් 74%ක් දකුණු පැසිෆික් කලාපය හරහා ගමන් කරන අතර, බටහිර කැරිබියන් කලාපය හරහා ගමන් කරන්නේ 16%ක් පමණි.

මේවා මෙක්සිකෝවට ළඟා වූ පසු, දශක ගණනාවක් පුරාවට එහි ක්‍රියාකාරීව සිටින සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් බොහෝ විට එක්සත් ජනපදයට ඇතුළු වීමට පවතින නිල පිවිසුම් වරායන් හරහා නවීන ප්‍රවාහන හා බෙදාහැරීමේ විධික්‍රම හරහා ඒවා රට තුළට ගෙන යනු ලබයි. නමුත් මෙක්සිකෝව සම්බන්ධයෙන් වොෂින්ටනයට පවතින විශාලතම කණස්සල්ල වන්නේ එක්සත් ජනපදයේ "මත්ද්‍රව්‍ය වසංගතයකට" සම්බන්ධ මෙතම්ෆෙටමින් සහ ඔපියොයිඩ් මෙන් ම ෆෙන්ටනයිල් ඇතුළු කෘත්‍රිම මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සහ බෙදා හැරීමයි.

ගිනිඅවි භාවිතය හෝ මෝටර් රථ අනතුරුවලට වඩා වැඩි පිරිසක් මත්ද්‍රව්‍ය භාවිතය නිසා මිය යන එක්සත් ජනපදයේ, අධිමාත්‍රවක් ලබා ගැනීමෙන් සිදුවන මරණවලට ප්‍රධාන හේතුව වන්නේ ෆෙන්ටනයිල් භාවිතයයි. හෙරොයින්වලට වඩා පනස් ගුණයකින් ශක්තිමත්, පැන්සල් තුඩක් තරම් ප්‍රමාණයෙන් විශාල මිලිග්‍රෑම් දෙකක ප්‍රමාණයකින් පුද්ගලයෙකු මරා දැමිය හැකි ය. මරණ සංඛ්‍යාව පහත වැටීමට පටන් ගෙන ඇති අතර, එයට හේතුව නලොක්සෝන් නම් විෂනාශක ඖෂධයේ සුලභ වීමයි.

නමුත් නවතම සංඛ්‍යා තවමත් කම්පනයට පත් කරවනසුලු වන අතර 2023 ඔක්තෝබර් සිට 2024 සැප්තැම්බර් දක්වා කාලය තුළ මත්ද්‍රව්‍ය විෂවීමෙන් [අධික මාත්‍රාවක් ලබා ගැනීමෙන්] හේතුවෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 87,000ක් (බොහෝ විට ඔපියොයිඩ්වලින්) වන අතර එය පෙර වසරේ වාර්තා වූ මරණ 114,000ට වඩා අඩු අගයකි. එස්කසත් ජනපද අන්තරායකර ඖෂධ පාලක ආයතනය, එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුව සහ කොංග්‍රස් පර්යේෂණ සේවයට අනුව, චීනය ඇතුළු ආසියානු රටවලින් ආනයනය කරන ලද රසායනික ද්‍රව්‍ය භාවිත කරමින් නීතිවිරෝධී ෆෙන්ටනයිල් බොහෝ දුරට සම්පූර්ණයෙන් ම පාහේ මෙක්සිකෝව තුළ නිෂ්පාදනය කරනු ලබයි.

InSight Crime බුද්ධි මණ්ඩපයට අනුව ආර්ජන්ටිනාවේ සිට කැනඩාව සහ යුරෝපය දක්වා විහිදෙන ඇති ජාල පවතින බටහිර අර්ධගෝලයේ විශාලතම, වඩාත් ම නවීන හා ප්‍රචණ්ඩකාරී මෙක්සිකානු අපරාධ සංවිධාන ද මත්ද්‍රව්‍ය නිපදවීමේ "මෙක්සිකානු ක්‍රමය" පැතිරවීම සඳහා වගකිව යුතු බව යුරෝපීය සංගමයේ ඖෂධ ඒජන්සියේ ලෝරන්ට් ලැනියෙල් බීබීසී මුන්ඩෝ වෙත පවසයි. කොලොම්බියානු කෝකා කොළ ප්‍රභේද වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන් මෙක්සිකානු "කෘෂි විද්‍යාඥයින්" ගෞරවයට පාත්‍ර වී ඇත. යුරෝපීය ජාල දැන් රඳාපවතින්නේ Sinaloa Cartel වැනි සංවිධානත්මක අපරාධ කණ්ඩායම්වලින් ලැබෙන සැපයුම් සහය සහ පුහුණුව මත ය.

මෙක්සිකෝව හෝ කොලොම්බියාවට වඩා මත්ද්‍රව්‍ය නිෂ්පාදනය හා බෙදා හැරීම අතින් කුඩා භූමිකාවක් සිදු කරන වෙනිසියුලාව, ට්‍රම්ප්ගේ මත්ද්‍රව්‍ය විරෝධී සටනේදී මුලින් ම අවධානයට පාත්‍ර වී ඇත්තේ, ඊට එරෙහිව සටහන් කිරීමට නොව රටේ දේශපාලන වෙනසක් ඇති කිරීමට බවට මතයක් නිර්මාණය වීමට හේතු වී තිබේ. අන්තර්වාර කාලසීමාවේදී රට "පාලනය කිරීම" පිළිබඳ ඔහුගේ ප්‍රකාශ සහ තෙල් පිළිබඳ ඔහු දැඩි අවධානයක් යොමු වීම, තව ම සම්පූර්ණයෙන් හෙළි නොකළත්, අරමුණ විශාල බවට ඉඟි කරයි.

ඉරිදා, එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ ඇමෙරිකාවේ NBC පුවත් සේවය වෙත පැවසුවේ: "ඔබට වෙනිසියුලාව ඉරානයට , රුසියාවට, හිස්බුල්ලා සංවිධානයට, චීනයට සහ එම රට පාලනය කරන කියුබානු බුද්ධි නියෝජිතයන් සඳහා මෙහෙයුම් මධ්‍යස්ථානයක් බවට පත් කරන්න බැහැ. ලොව පුරා සිටින අපගේ විරුද්ධවාදීන් අප්‍රිකාවෙන් සහ අනෙකුත් සෑම රටකින් ම සම්පත් සූරාකෑම සහ උදුරා ගන්න හැටි අපි දැකලා තියෙනවා. ඔවුන් බටහිර අර්ධගෝලයේ එහෙම කරන්න යන්නේ නැහැ."

අනතුරුව රූබියෝ නැවත තහවුරු කළේ, එක්සත් ජනපද රජය මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව යුද්ධයක නිරත වී සිටින බවයි. එදින ම, ට්‍රම්ප් යෝජනා කර සිටියේ "රෝගී මිනිසෙකු" ලෙස ඔහු විසින් හඳුන්වන ලද පෙට්‍රෝට ද ලබා දී ඇති කාලය ගතවී යන බවයි.

දශක ගණනාවකට පසු ඔහුගේ ජනාධිපති ධූරය යටතේ කොකේන් නිෂ්පාදනය ඉහළ ම මට්ටමක් කරා පැමිණ ඇති බව පවසමින් ඔක්තෝබර් අගදී වොෂින්ටනය මත්ද්‍රව්‍ය ජාවාරම් සඳහා සම්බන්ධතා ඇති බවට චෝදනා කරමින් පෙට්‍රෝට සම්බාධක පැනවීය. නමුත් ඇතැම් කොලොම්බියානු දේශපාලනඥයන් තවදුරටත් සම්බාධක සහ ඔවුන්ගේ වෙරළ තීරය වටා එක්සත් ජනපද සමුද්‍ර ක්‍රියාකාරකම් වැඩි වීම ගැන කණස්සල්ලට පත්ව සිටින අතර මැයි මාසයේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට පෙර මදුරෝට මෙන් ඔහුටත් එම ඉරණමට ම මුහුණ දීමට සිදුවනු ඇතැයි සැක පළ කරයි.

වොෂින්ටනය සමග සහයෝගයෙන්, නමුත් ඍජු ඇමෙරිකානු මැදිහත්වීමකින් තොරව සංවිධානාත්මක අපරාධ කණ්ඩායම්වලට පහර දීමට ඉදිරිපත් වී සිටින මෙක්සිකානු ජනාධිපති ක්ලෝඩියා ෂයින්බෝම් සමග ට්‍රම්ප්ට ඇත්තේ වඩාත් සුහදශීලී සම්බන්ධයකි.

එසේ වුව ද, වෙනිසියුලාවෙන් ආරම්භ වූ දෙය මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහි යුද්ධයකට වඩා විශාල විය හැකි බවට වර්ධනය වෙමින් පවතින කණස්සල්ලකට හේතු වෙමින් මෙක්සිකෝව, කොලොම්බියාව සහ කියුබාවට පවා ට්‍රම්ප්ගේ තර්ජන එල්ල වෙමින් පවතින බැවින් සමස්ථ කලාපය ම ඔහුගේ මීළඟ පියවර කුමක් ද යන්න මහත් ඕනෑකමින් බලා සිටියි.

අතිරේක වාර්තාකරණය ලොස් ඇන්ජලීස්හි බීබීසී පුවත් මුන්ඩෝ වාර්තාකරු ලියර් වැන්ටස් සහ ලන්ඩනයේ සිට ඇලෙහන්ඩ්‍රෝ මියන් විසිනි