වෙනිසියුලාවෙන් පසු ට්‍රම්ප්ගේ ඇස් යොමුවිය හැකි රටවල් මොනවා ද?

    • Author, ටොම් බෙනට්

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දෙවන ධූර කාලය ඔහුගේ විදේශ ප්‍රතිපත්ති අභිලාෂයන් මගින් හැඩගැසී ඇත.

වෙනිසියුලාවට එල්ල කල තර්ජන වලින් පසු, ඔහු නාට්‍යාකාර රාත්‍රී මෙහෙයුමකදී වෙනිසියුලා ජනාධිපතිවරයා සහ ඔහුගේ බිරිඳ දැඩි ආරක්ෂාව යොදවා තිබූ බලකොටුවකින් අල්ලා ගත්තේ ය.

මෙහෙයුම පිළිබඳ විස්තර කරන විට, ට්‍රම්ප් එක්සත් ජනපදය බටහිර අර්ධගෝලයේ බලය දැරිය යුතු බවට වන 1823 ගෙන ආ මොන්රෝ න්‍යාය සහ එහි පොරොන්දු ආවර්ජණය කළ අතර එය "ඩොන්රෝ මූලධර්මය" ලෙස නැවත නම් කළේය.

වොෂින්ටනය සමග ගනුදෙනු කරන අනෙකුත් රටවලට එරෙහිව මෑත දිනවලදී ඔහු සිදු කළ අනතුරු ඇඟවීම් කිහිපයක් මෙහි දැක්වේ.

ග්‍රීන්ලන්තය

ඇමෙරිකා එක්සත් ජනපදයට දැනටමත් ග්‍රීන්ලන්තයේ හමුදා කඳවුරක් පවතී, එය පිටියුෆික් අභ්‍යවකාශ කඳවුර වන අතර ට්‍රම්ප්ට සමස්ථ දිවයිනම අවශ්‍ය වී තිබේ.

"ජාතික ආරක්ෂාව පිළිබඳ දෘෂ්ටි කෝණයෙන් බලනවිට අපට ග්‍රීන්ලන්තය අවශ්‍යයි", යනුවෙන් ඔහු මාධ්‍යවේදීන්ට පැවසුවේ කලාපය "සෑම ස්ථානයක්ම රුසියානු සහ චීන නැව් වලින් වැසී ඇතැයි" පවසමින් ය.

මෙම විශාල ආක්ටික් දූපත ඩෙන්මාර්ක රාජධානියේ කොටසක් වන අතර එක්සත් ජනපදයේ ඊසාන දෙසින් සැතපුම් 2,000 ක් (කිලෝමීටර් 3,200) පමණ දුරින් පිහිටා ඇත.

එය ස්මාර්ට් ජංගම දුරකථන, විදුලි වාහන සහ යුධෝපකරණ නිෂ්පාදනය සඳහා තීරණාත්මක වන පෘථිවියේ පවතින දුර්ලභ ඛනිජ වර්ගවලින් පොහොසත් ය. වර්තමානයේදී, චීනය දුර්ලභ ඛණිජ මත සිදු කරන නිෂ්පාදනය එක්සත් ජනපදයට සාපේක්ෂව ඉහළ මට්ටමක පවතී.

ග්‍රීන්ලන්තය උතුරු අත්ලාන්තික් සාගරයේ ප්‍රධාන උපායමාර්ගික ස්ථානයකට ද හිමිකම් කියන අතර එමඟින් වඩාත් වැදගත් වන ආක්ටික් කවයට ප්‍රවේශය ලබා දෙයි. ඉදිරි වසරවලදී ධ්‍රැවීය අයිස් තට්ටු දියවන විට, නව නැව් මාර්ග විවෘත වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

දූපතේ පාලනය සම්බන්ධයෙන් එක්සත් ජනපදයේ සංකල්පය "මනඃකල්පිතයක්" බව සඳහන් කරමින් ග්‍රීන්ලන්තයේ අග්‍රාමාත්‍ය ජෙන්ස් ෆ්‍රෙඩ්රික් නීල්සන් ට්‍රම්ප්ට ප්‍රතිචාර දැක්වීය.

"තවත් පීඩන එපා. තවත් නරක යෝජනා එපා. ඈඳා ගැනීම පිළිබඳ මනඃකල්පිත තවත් එපා. අපි සංවාදයට විවෘතයි. අපි සාකච්ඡා සඳහා විවෘතයි. නමුත් මෙය සිදුවිය යුතු වන්නේ නිසි මාර්ග හරහා සහ ජාත්‍යන්තර නීතියට ගරු කරමින් පමණයි" ඔහු පැවසුවේය.

කොලොම්බියාව

වෙනිසියුලාව තුළ මෙහෙයුමෙන් පැය කිහිපයකින් අනතුරුව, ට්‍රම්ප් කොලොම්බියානු ජනාධිපති ගුස්ටාවෝ පෙට්‍රෝට "පරිස්සම් වෙලා ඉන්න" යනුවෙන් අනතුරු ඇඟවීය

වෙනිසියුලාවේ බටහිර කලාපයේ අසල්වැසියා වන කොලොම්බියාව සැලකිය යුතු තෙල් සංචිතවලට නිවහන වන අතර ප්‍රධාන පෙළේ රන්, රිදී, මරකත, ප්ලැටිනම් සහ ගල් අඟුරු නිෂ්පාදකයෙකි.

එය කලාපයේ මත්ද්‍රව්‍ය වෙළඳාම සඳහා ප්‍රමුඛ කේන්ද්‍රස්ථානයක් ද වේ - විශේෂයෙන් කොකේන් සඳහා ප්‍රකටය.

සැප්තැම්බර් මාසයේදී ඇමෙරිකා එක්සත් ජනපදය කැරිබියන් සහ නැගෙනහිර පැසිෆික් කලාපයේ යාත්‍රා කෙරෙන බෝට්ටුවලට පහර දීම ආරම්භ කළ දා සිට ඔවුන් මත්ද්‍රව්‍ය රැගෙන යන බවට සාක්ෂි නොමැතිවම චෝදනා කරමින් ට්‍රම්ප් එරට වාමාංශික ජනාධිපතිවරයා සමඟ වර්ධනය වෙමින් පවතින ආරවුලක පැටලී සිටියි.

ඔහු කාටල්වරුන්ට "සමෘද්ධිමත් වීමට" ඉඩ සලසන බව පවසමින් එක්සත් ජනපදය ඔක්තෝම්බර් මාසයේදී පෙට්‍රෝ මත සම්බාධක පැනවීය.

ඉරිදා එයාර් ෆෝස් වන් ගුවන් යානයේ සිට අදහස් දක්වමින් ට්‍රම්ප් පැවසුවේ "කොකේන් හදන්න කැමති සහ ඒවා එක්සත් ජනපදයට විකුණන රෝගී මිනිසෙක් තමා කොලොම්බියාව පාලනය කරන්නේ" යනුවෙනි.

"ඔහු එය වැඩි කාලයක් කරන්නේ නැහැ", ඔහු පැවසීය. එක්සත් ජනපදය කොලොම්බියාව ඉලක්ක කර ගනිමින් මෙහෙයුමක් සිදු කරන්නේ ද යන්න ජනමාධ්‍යවේදීන් විමසූ විට, ට්‍රම්ප් පිළිතුරු දුන්නේ, "එය මට හොඳ යෝජනාවක්" යනුවෙනි.

අතීතයේ සිට කොලොම්බියාව වොෂින්ටනයේ මත්ද්‍රව්‍යවලට එරෙහි යුද්ධයේ සමීප මිතුරෙකු වී ඇති අතර, කාටල් කණ්ඩායම්වලට එරෙහිව සටන් කිරීම සඳහා වාර්ෂිකව ඩොලර් මිලියන සිය ගණනක මිලිටරි ආධාර ලබා ගනිමින් සිටියි.

ඉරානය

ඉරානය දැනට රජයට එරෙහි මහා පරිමාණ ජනතා විරෝධතාවලට මුහුණ දෙමින් සිටින අතර ට්‍රම්ප් අනතුරු ඇඟවූයේ තවත් විරෝධතාකරුවන් මිය ගියහොත් එහි බලධාරීන්ට "දැඩි ලෙස පහර දෙන" බවට‍යි.

"අපි තත්ත්වය සමීපව නිරීක්ෂණය කරමින් ඉන්නේ. ඔවුන් අතීතයේ දී මෙන් මිනිසුන් මරා දැමීමට පටන් ගන්නවා නම්, ඔවුන් එක්සත් ජනපදයෙන් දැඩි ලෙස පහරදීමකට ලක් වනු ඇතැයි මම සිතනවා" ඔහු එයාර් ෆෝස් වන් හිදී වාර්තාකරුවන්ට පැවසීය.

ඉරානය න්‍යායාත්මකව "ඩොන්රෝ මූලධර්මය" හි අර්ථ දක්වා ඇති ක්ෂේත්‍රවලට පිටතින් සිටින නමුත් පසුගිය වසරේ එහි න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට පහර දීමෙන් පසු තවදුරටත් ක්‍රියාමාර්ග ගන්නා බවට ට්‍රම්ප් ඉරාන පාලන තන්ත්‍රයට තර්ජනය කර ඇත.

එම ප්‍රහාර එල්ල වූයේ දින 12 ක ඊශ්‍රායල-ඉරාන ගැටුමෙන් අවසන් වූ ඉරානයේ න්‍යෂ්ටික අවියක් සංවර්ධනය කිරීමේ හැකියාව මුලින් උපුටා දැමීමේ අරමුණින් ඊශ්‍රායලය මහා පරිමාණ මෙහෙයුමක් දියත් කිරීමෙන් පසුවය.

පසුගිය සතියේ ට්‍රම්ප් සහ ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු අතර Mar-a-Lago හිදී පැවති රැස්වීමකදී ඉරානය පිළිබඳ කතිකාව න්‍යාය පත්‍රයේ ඉහළින්ම තිබූ බව කියනු ලැබේ. 2026 දී ඉරානයට එරෙහිව නව ප්‍රහාර එල්ල කිරීමේ හැකියාව පිළිබඳ එහිදී නෙතන්යාහු විසින් මතු කළ බව ද එක්සත් ජනපද මාධ්‍ය වාර්තා කළේය.

මෙක්සිකෝව

2016 දී ට්‍රම්ප් බලයට පත්වීම අර්ථ ගන්වනු ලැබුවේ මෙක්සිකෝවේ දකුණු දේශසීමාව දිගේ "තාප්පය ඉදිකිරීම" යන ඔහුගේ ප්‍රකාශ මගිනි.

2025 වසරේ දී ඔහු නැවත බලයට පත් වූ පළමු දිනයේදී, මෙක්සිකෝ බොක්ක "ඇමෙරිකානු බොක්ක" ලෙස නම් කිරීම සඳහා විධායක නියෝගයකට අත්සන් තැබුවේය.

ඔහු තර්යේ පවසා සිටියේ මෙක්සිකෝ බලධාරීන් මත්ද්‍රව්‍ය හෝ නීතිවිරෝධී සංක්‍රමණිකයන් එක්සත් ජනපදයට ගලා ඒම නැවැත්වීමට ප්‍රමාණවත් දෙයක් සිදු නොකරන බවටයි.

ඉරිදා අදහස් දක්වමින් ඔහු පැවසුවේ මෙක්සිකෝව හරහා මත්ද්‍රව්‍ය "ගලා එන" බව සහ "අපට යමක් කිරීමට සිදුවන" බවයි. එහි කාටෙල් "ඉතා ශක්තිමත්" බවද ඔහු පැවසුවේය.

මෙක්සිකෝවේ ජනාධිපති ක්ලවුඩියා ෂෙයින්බෝම් මෙක්සිකානු භූමිය මත සිදු කෙරෙන ඕනෑම ඇමෙරිකානු හමුදා ක්‍රියාමාර්ගයක් ප්‍රසිද්ධියේ ප්‍රතික්ෂේප කළාය.

කියුබාව

ෆ්ලොරිඩාවට සැතපුම් 90ක් (කිලෝමීටර් 145ක්) දකුණින් පිහිටි මෙම දූපත් රාජ්‍යය 1960 ගණන්වල මුල් භාගයේ සිට එක්සත් ජනපද සම්බාධක යටතේ පවතී. කියබානු රාජ්‍යය විසින් නිකොලස් මදුරෝගේ වෙනිසියුලාව සමඟ සමීප සබඳතා පවත්වන ලදී.

ට්‍රම්ප් යෝජනා කළේ කියුබාව "කඩා වැටීමට ආසන්න" බැවින් එක්සත් ජනපද හමුදා මැදිහත්වීමක් අවශ්‍ය නොවන බවයි.

"අපට කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනීමේ අවශ්‍යතාවක් තියෙනවා කියලා මං හිතන්නේ නැහැ", ඔහු පැවසීය. "එය කඩා වැටෙන බව පෙනෙන්න තිබෙනවා."

"ඔවුන් ඒක ඉවසා දරාගෙන සිටියිදැයි මම දන්නේ නැහැ, නමුත් කියුබාවට දැන් ආදායමක් නැහැ," ඔහු තවදුරටත් පැවසුවේය.

"ඔවුන්ට ඔවුන්ගේ සියලු ආදායම ලැබුණේ වෙනිසියුලාවෙන්, වෙනිසියුලාවේ තෙල්වලින්."

දිගු කලක සිට කියුබාවේ පාලන තන්ත්‍ර වෙනසක් ඉල්ලමින් සිටි කියුබානු සංක්‍රමණිකයින් දෙපළකගේ පුත්‍රයා වන එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ සෙනසුරාදා මාධ්‍යවේදීන්ට පැවසුවේ "ජනාධිපතිවරයා යමක් පවසන විට, ඔබ ඔහුව බැරෑරුම් ලෙස සැලකිය යුතුයි." යනුවෙනි.

"මම හවානාවල ජීවත් වුනා නම් සහ මම රජයේ සිටියා නම්, මම ඒ ගැන සැලකිලිමත් වෙයි - අඩුම තරමේ ටිකක් හරි," ඔහු පැවසුවේය.