ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ට්‍රම්ප්ගේ අලුත් ම අනතුරු ඇඟවීම අනුව ඉරානය සමග ගනුදෙනු කිරීම ශ්‍රී ලංකාවට බලපෑ හැක්කේ කෙසේ ද?
ඉරානය සමග වාණිජ සබඳතා පවත්වන සියලු රටවල භාණ්ඩ ඇමෙරිකාවට ඇතුළු වීමේදී 25%ක තීරු බද්දක් පැනවීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබේ.
වහා ම ක්‍රියාත්මක වන පරිදි මෙම නව තීරු බදු පැනවීම සිදුකරන බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය Truth Social ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර තිබිණි.
ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ මෙම තීරණය ශ්‍රී ලංකාවට කුමන බලපෑමක් එල්ල කරයි ද? මේ ඒ සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය සිදුකළ සොයා බැලීමකි.
දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා
ඉරානය සහ ශ්‍රී ලංකාව අතර රාජතාන්ත්‍රික සබඳතා නිල වශයෙන් ආරම්භ වූයේ, 1961 වසරේදී ය. ඉරානය සහ ශ්‍රී ලංකාව අතර දීර්ඝ කාලයක් පුරාවට ආනයන සහ අපනයන සිදුව තිබේ. ශ්‍රී ලංකාව ඉරානයෙන් බොර තෙල් මෙන් ම විවිධ භාණ්ඩ ආනයනය කරනු ලැබූ අතර ශ්‍රී ලංකාව ද ඉරානයට තේ, රබර් ආශ්‍රිත නිෂ්පාදන සහ පොල් ආදිය තවමත් අපනයනය කරමින් සිටියි.
ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ 2007 වසරේදීත්, මෛත්‍රීපාල සිරිසේන 2018 වසරේදීත් ඉරානයේ රාජ්‍ය සංචාරවල නිරත වූහ. එමෙන් ම, හිටපු ඉරාන ජනාධිපතිවරුන් වන මහමුද් අහමඩිනෙජාඩ් 2007 වසරේදීත්, ආචාර්ය ඊබ්‍රහිම් රයිසි 2024 වසරේදීත් ශ්‍රී ලංකාවේ සංචාරය කළහ.
ඇමෙරිකාව 2011 වසරේදී ඉරානයට ආර්ථික සම්බාධක පැනවීම හේතුවෙන් ශ්‍රී ලංකාව 2014 වසරේදී ඉරානයෙන් බොර තෙල් මිලදී ගැනීම අත්හිටුවීය.
ඉරානයෙන් ශ්‍රී ලංකාවට ලැබුණු විශේෂ සහය
ශ්‍රී ලංකාව සතු එක ම තෙල් පිරිපහදුව වන සපුගස්කන්ද තෙල් පිරිපහදුව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ අධීක්ෂණය යටතේ ඉදි වූයේ, 1969 අගෝස්තු මාසයේදී ය. එම පිරිපහදුවේ නිෂ්පාදන කටයුතු සඳහා ඉරානය ශ්‍රී ලංකාවට සිය තාක්ෂණික සහය ලබා දුන්නේ ය.
සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුවේ මුල්වරට පිරිපහදු කර ඇත්තේ, ඉරානයෙන් මෙරටට ආනයනය කළ බොර තෙල් විශේෂයක් සහ අරාබි රටවලින් ආනයනය කළ සැහැල්ලු බොර තෙල් විශේෂයකි. ඊට අමතරව ශ්‍රී ලංකාවට ඉරානය ඇමෙරිකානු ඩොලර් මිලියන 251ක බොර තෙල් ණය පදනම මත ලබා දී ඇත.
2007 වසරේදී, ඉරානය උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියට සහය දුන් අතර, එහි ඇස්තමේන්තුගත ආරම්භක පිරිවැය ඇමෙරිකානු ඩොලර් මිලියන 540කි.
ශ්‍රී ලංකාව ඉරානයෙන් මිල දී ගනු ලැබූ බොර තෙල් සඳහා නැවත පියවිය යුතු ඇමෙරිකානු ඩොලර් මිලියන 251ක මුදල සම්බන්ධයෙන් 2021 වසරේ දෙසැම්බර් මාසයේදී ගිවිසුමකට අත්සන් තැබූ අතර, එම ගිවිසුමට අනුව මාසිකව ඇමෙරිකානු ඩොලර් මිලියන 05ක වටිනාකමින් යුත් තේ ශ්‍රී ලංකාව ඉරානයට අපනයනය කළ යුතුව තිබේ.
ශ්‍රී ලංකාව සහ ඉරානය අතර වෙළෙඳ ගනුදෙනු
2023 වසරේදී ශ්‍රී ලංකාවෙන් ඉරානයට අපනයනය කළ භාණ්ඩවල මුළු වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 67.81ක් වූ අතර එම කාලය සඳහා ඉරානයෙන් ශ්‍රී ලංකාවට ආනයනය කළ භාණ්ඩවල වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 2.48ක් බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩල වෙබ් අඩවියේ දැක්වේ.
2023 වසරට සාපේක්ෂව 2024 දී ඉරානයට අපනයනය කළ භාණ්ඩ 57%කින් ඉහළ ගොස් තිබේ. 2023 වසරට සාපේක්ෂව 2024 දී ඉරානයෙන් කළ ආනයන 63%කින් අඩු වී ඇති බව එම වෙබ් අඩවියේ සඳහන් වේ.
2024 දී ඉරානයට කළ ශ්‍රී ලංකාවේ ප්‍රධාන අපනයන නිෂ්පාදන වූයේ තොග වශයෙන් තේ, තේ පැකට්, කොහුබත් ආශ්‍රිත නිෂ්පාදන, මූලික ලෝහ නිෂ්පාදන, පොල්, රසායනික නිෂ්පාදන, නැවත සකස් කරන ලද රබර්, ටයර් සහ ප්ලාස්ටික් බෑග් යනාදිය වේ.
2022 සහ 2024 යන කාල සීමාව තුළදී ශ්‍රී ලංකාව ඉරානයෙන් ආනයන කරනු ලැබූ භාණ්ඩ අතර ප්ලාස්ටික් නිෂ්පාදන, පොහොර, ඖෂධ නිෂ්පාදන, පලතුරු යනාදිය වූ බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩල වෙබ් අඩවියේ දැක්වෙයි.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ බීබීසි සිංහල සේවය වෙත අදහස් දක්වමින් පැවසුවේ, 2003 වසර වන විට ඇමෙරිකානු ඩොලර් මිලියන 205ක භාණ්ඩ ප්‍රමාණයක් ඉරානයට අපනයනය කර තිබූ බවය. නැවතත් 2020 වසර වන විට එය මිලියන 90ක් දක්වා අඩු වී ඇති නමුත් ඉරානය ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ තේ මිල දී ගන්නා රටවල් අතර සිටියි.
ශ්‍රී ලංකාවට බදු පැනවීමට ඇමෙරිකාවට හැකියාවක් තිබේ ද?
ඉරානය සමග සිදුකරන ගනුදෙනුවලට අදාළව ශ්‍රී ලංකාවට තීරු බදු පැනවීමට ඇමෙරිකාවට හැකියාවක් තිබේදැයි බීබීසී සිංහල සේවය වයඹ විශ්වවිද්‍යාලයයේ කළමනාකරණ හා මූල්‍ය පීඨයේ මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරාගෙන් විමසීමක් කළේ ය.
"ඇමෙරිකාව මෙතැනදී ඉරානයට පොඩි තර්ජනයක් කරනවා ඉරානය සමග ගනුදෙනු කරන රටවල්වලට විරුද්ධව තීරු බදු පැනවීමක් සිදුකරනවා කියලා. මෙතැනදී ශ්‍රී ලංකාව ඉරානය සමග විශාල ප්‍රමාණයෙන් නෙමෙයි සාමාන්‍ය මට්ටමින් ගනුදෙනු කරනවා.''
''අපිට වැදගත් වන්නේ ආනයනය නෙමෙයි අපනයන ක්‍රියාවලිය යි. ඉරානයෙන් අපි ආනයන කරන භාණ්ඩ තියෙනව නම් ඒවා නතර කරලා වෙන රටවල්වලින් ඒ භාණ්ඩ ආනයනය කරන්න හැකියාව තියෙනවා.''
''මෙතන ගැටලුව තියෙන්නේ අපේ අපනයන ආර්ථිකයට වඩා රාජ්‍ය තාන්ත්‍රික අතින් ගත්ත ම මෙතැනදී ඇති වෙන්න පුළුවන් අර්බුදය තමයි. අපේ අපනයන ආර්ථිකය අතින් ගත්ත ම ඉරානය කියන්නේ ශ්‍රී ලංකාවට ලොකු වෙළෙඳපොළක් නෙමෙයි. නමුත් ශ්‍රී ලංකාව පොඩියෙන් හරි ඉරානයත් එක්ක කරන අපනයන නිසා ඇමෙරිකාවට පුළුවන් යම් බදු පැනවීමක් සිද්ධ කරන්න.''
''මෙතන රාජ්‍ය තාන්ත්‍රික අතින් ගත්ත ම ඉතා ම වැදගත් වෙන මොහොතක්. ඒක පාර්ශවීය වෙන්නේ නැතිව මධ්‍යස්ථව කටයුතු කිරීම ඉතා ම වැදගත් වෙනවා. අපි ඉරානය තනි කරනවා කියලා කිව්වොත් එතැනදී අපි තනි කරන්නේ BRICS සංවිධානයේ ඉන්න සියලු ම රටවල් වෙන්න පුළුවන්. ඒ වගේ ම මැද පෙරදිග කලාපයේ ශ්‍රී ලංකාවේ ශ්‍රමිකයින් විශාල පිරිසක් සේවය කරනවා. ඒ වගේ ම මැද පෙරදිග කලාපයේ යම් ගැටලුවක් ඇති වුණොත් ගෝලීය ඉන්ධන මිලේ යම් වෙනසක් ඇති වෙන්න හැකියාව තියෙනවා," මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා පැහැදිලි කළේ ය.
ඇමෙරිකාව තීරු බදු පනවන්නේ ඇයි?
ඇමෙරිකා එක්සත් ජනපදය විවිධ රටවලට බදු පනවන්නේ, සිය ආර්ථිකය ශක්තිමත් කර ගැනීම සහ වෙළෙඳ තරගකාරිත්වය පවත්වා ගැනීම සඳහා බව මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා පැවසුවේ ය.
"ඇමෙරිකාව මීට ඉස්සෙල්ලා කිව්වා BRICS සංවිධානය සමග ගනුදෙනු කරන රටවල්වලට සීයට 20ක තීරු බද්දක් පනවනවා කියලා. ඇමෙරිකාව බයේ ඉන්නවා වාමාංශික රටවල් එකට එකතු වෙන එක ගැන. මෙතැනදී දේශපාලන යුද්ධයකට එහා ගිය ආර්ථික යුද්ධයක් තියෙනවා ඇමෙරිකාවට මුහුණ දෙන්න."
''ඇමෙරිකාවේ ආර්ථික වටිනාකම ඩොලර් ට්‍රිලියන 29ක් විතර වෙනවා. ඇමෙරිකාවට පස්සේ දෙවැනියට ලොකු ම ආර්ථිකය තියෙන චීනයේ ආර්ථිකය ඩොලර් ට්‍රිලියන 20ක් වෙනවා. ඒක ඇමෙරිකාවට ලොකු තර්ජනයක් නෙමෙයි.''
''නමුත් චීනය BRICS සංවිධානය පිහිටුවා ගෙන රුසියාව, ඉන්දියාව වගේ රටවල් විතරක් නෙමෙයි ළඟදි මැද පෙරදිග රටවල්වලත් ලොකු ම ආර්ථිකය තියෙන රටවල් මේ සංවිධානයට එකතු කර ගත්තට පස්සේ ඒ සියලු දෙනාගේ ආර්ථිකය ඩොලර් ට්‍රිලියන 28කට කිට්ටු වෙනවා.''
''යුරෝපා සංගමය යුරෝ මුදල් ඒකකය හඳුන්වලා දුන්නා වගේ BRICS සංවිධානය තමන්ගේ මුදල් ඒකකයක් හඳුන්වලා දෙන්න යනවා කියලා කිව්වා. එහෙම වුණොත් ලෝක ආර්ථිකයේ සීයට 50කට වඩා BRICS සංවිධානය යටතට යනවා. එහෙම වුණොත් ඇමෙරිකානු ඩොලරයේ තියෙන වටිනාකම පහළ යනවා. මේ නිස යි ඇමෙරිකාව තර්ජනය කරන්නේ BRICS සමග ගනුදෙනු කරන රටවල්වලට බදු පනවනවා කියලා. හැබැයි මේ දක්වා ඒ බදු ක්‍රියාත්මක වෙලා නැහැ.''
''දැන් ඇමෙරිකාව කියනවා ඉරානය සමග ගනුදෙනු කරන රටවල්වලට බදු පනවනවා කියලා. මොක ද ඉරානය ඇමෙරිකාවට තර්ජනයක්. ඒකට හේතුව ඉරානය ඉන්නේ රුසියාව සහ චීනය එක්ක. ඒ නිස යි ඉරාන ආර්ථිකය වට්ටන්න ඇමෙරිකාව බලන්නේ. මොක ද ඇමෙරිකාව ඉන්දියාවටත් තර්ජනය කළා රුසියාවෙන් තෙල් ගන්න නිසා තීරු බදු පනවනවා කියලා. ඇමෙරිකාව බලන්නේ තමන්ට විරුද්ධ ආර්ථික යෝධයින් වට්ටන එක." මහාචාර්යවරයා පැහැදිලි කළේය.