ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ට්‍රම්ප්ගේ 30% තීරු බද්ද: ශ්‍රී ලංකාවට ජයක් ද? පරාජයක් ද? බලපෑම් මොනවා ද?
- Author, කුමුදු ජයවර්ධන
- Role, බීබීසී සිංහල
ඇමෙරිකාවට අපනයනය කරනු ලබන භාණ්ඩ සඳහා ශ්‍රී ලංකාවට පැනවෙන නව තීරු බදු ප්‍රතිශතය 30%ක් බවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ලිපියකින් දන්වා තිබේ.
පසුගිය අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකාව සඳහා 44%ක තීරු බදු පැනවීමට යෝජනා කෙරිණි.
දින 90කට අත්හිටුවා තිබූ එම යෝජිත තීරුබදු ප්‍රතිශතය නව සංශෝධනය අනුව 14%කින් අඩු වී තිබේ.
ආණ්ඩුවේ ප්‍රතිචාරය
ඇමෙරිකා එක්සත් ජනපදය විසින් පනවනු ලැබ ඇති නව තීරුබදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ශ්‍රී ලංකාවේ නියෝජිත කණ්ඩායම අතර විශේෂ සාකච්ඡාවක් බ්‍රහස්පතින්දා (ජූලි 10) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
මෙම සාකච්ඡාවට, කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් කේ. ඒ. විමලේන්තිරාජා සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව යන මහත්වරු එක්ව සිටියහ.
එම හමුවෙන් පසුව මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් කේ. ඒ. විමලේන්තිරාජා සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව යන පිරිස ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඒ පිළිබඳව අදහස් පළ කළේ ය.
එහිදී, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම සඳහන් කළේ, ඇමෙරිකාව සමග සාකච්ඡා කළ කණ්ඩායමේ දායකත්වය හේතුවෙන් තීරුබදු අඩු කර ගැනීමට හැකි වූ බව ය.
"අපි දකිනව මේක ඉතා ම හොඳ වාතාවරණයක ආරම්භයක් ලෙස. මේ කලාපයේ තියෙන රටවල් වගේ ම තීරුබදු සමග සම්බන්ධ වෙච්ච ලෝකයේ තියෙන රටවල් අතරින් ඉහළ ම අඩුවීමක් ලැබුණු රටක් විදිහට ශ්‍රී ලංකාව හඳුනාගෙන තියෙනවා. ඒ ප්‍රගතිය ලබා ගන්නට හැකියාව ලැබුණෙ මේකට සම්බන්ධ වෙච්ච මේ විද්වත් මණ්ඩලයේ තිබුණ දායකත්වය, කර්මාන්තකරුවන්ගේ දායකත්වය, USTR (සාකච්ඡා සඳහා උපදේශකත්වය සැලසූ ආයතනය) කණ්ඩායමේ දායකත්වය සියලු දේ එකට කැටි කරල තමයි මේ තියෙන මට්ටමට අඩු කර ගන්නට පුළුවන් වුණා."
මේ අතර, මෙම නව තීරු බදු අගෝස්තු මස 01 වන දා සිට ක්‍රියාත්මක වන හෙයින් ඒ සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කිරීමට අවස්ථාව පවතින බව ද ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම පැවසීය.
එහිදී, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකාවේ සියලු ක්ෂේත්‍ර අධ්‍යයනය කරමින් අවංකභාවයෙන් සාකච්ඡා කිරීම හේතුවෙන් ශ්‍රී ලංකාවට යම් සහනයක් ලබා ගත හැකි වූ බව ය.
නව තීරු බදු ප්‍රතිශතය 30%ක් දක්වා අඩු වීම පිළිබඳව සෑහීමකට පත්වන බවත්, එය තවදුරටත් අඩු කර ගැනීමට සාකච්ඡා කරන බවත් ඔහු සඳහන් කළේ ය.
ඇමෙරිකාව සමග සාකච්ඡා කළේ කවුද?
නව තීරු බදු සම්බන්ධයෙන් ඇමෙරිකාව සමග සාකච්ඡා කිරීම සඳහා සහභාගි වූ කණ්ඩායම පිළිබඳව ද මෙහිදී අනාවරණය කෙරිණි.
ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පැවසූ පරිදි එම කණ්ඩායම මෙසේ ය.
- ආචාර්ය නන්දලාල් වීරසිංහ - ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති
- කේ.ඒ. විමලේන්තිරාජා - වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්
- දුමින්ද හුලංගමුව - ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක
- මහින්ද සමරසිංහ - ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති
සැබෑ තීරු බද්ද 30% ද?
මෙම සාකච්ඡාවේදී අනාවරණය කළ කරුණක් වූයේ, මෙලෙස පනවා ඇති 30% තීරු බද්ද අමතර බද්දක් ලෙස ක්‍රියාත්මක වන බව ය.
ජනාධිපති ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව ප්‍රකාශ කළේ, මෙතෙක් පැවති 10% තීරු බද්දට මෙම 30%ක නව බද්ද එකතු වන බව ය.
ඒ අනුව, ඇමෙරිකාවට අපනයනය කෙරෙන භාණ්ඩ සඳහා ශ්‍රී ලංකාවෙන් අය කෙරෙන සමස්ත සාමාන්‍ය බද්ද 40%ක් වනු ඇති බව එහිදී පැවසිණි.
කෙසේ වෙතත්, ඇමෙරිකාවේ තීරු බදු නිශ්චිත නොවන අතර විවිධ භාණ්ඩ සම්බන්ධයෙන් විවිධ බදු ප්‍රතිශත ක්‍රියාත්මක වන හෙයින් 40% බද්ද ද නිශ්චිත නැතැයි කොළඹ නැව්ගත කරන්නන්ගේ අධ්‍යාපන පීඨයේ ප්‍රධාන විධායක නිලධාරී රොහාන් මාසකෝරාළ බීබීසී සිංහල සේවයට පැවසීය.
"දැනට ඇඟලුම් ක්ෂේත්‍රය ගත්තත්, සමහර ඒවාට 22%ක් තීරු බදු ගන්නවා. සමහර ඒවාට 17%ක් ගන්නවා. එතකොට 22%ක් ගන්න භාණ්ඩවලට අලුත් 30%ත් එකතු වුණා ම 50%ක් වෙනවා තීරු බද්ද. ඒක ශ්‍රී ලංකාවට වාසිසහගත තත්ත්වයක් නෙවෙයි."
'දුර්වල සාකච්ඡා'
මේ අතර, ඇමෙරිකාව පැනවූ 30%ක තීරු බද්ද "දුර්වල සාකච්ඡා කිරීම්වලට ගෙවීමට සිදුවූ වන්දියක්" ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස X සමාජ මාධ්‍ය ඔස්සේ සඳහන් කර තිබේ.
"උද්දච්චකම හේතුවෙන් සෑම හිතවාදී රටක් ම, සෑම විශේෂඥ උපකාරයක් ම වැළැක්වුණු අතර, දැන් ඩොලර් බිලියන 3කට ආසන්න අපනයන ශේෂයක එල්ලී සිටී.
"පෙළපොත් විශේෂඥයින් සැබෑ ලෝක සාකච්ඡා සඳහා නුසුදුසු බවට (මෙය) හොඳ අධ්‍යයනයකි" යනුවෙන් ඔහු සඳහන් කර තිබිණි.
'ඇඟලුම් ක්ෂේත්‍රයේ ඍජු රැකියා 350,000ක් අවදානමක'
මේ අතර, ශ්‍රී ලංකාවට පැනවූ තීරු බද්ද "යම් සහනයක්" වුවත්, "එය ප්‍රමාණවත් ද?" යනුවෙන් හිටපු ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා X පණිවුඩයක් ඔස්සේ ප්‍රශ්න කර තිබේ.
"එක්සත් ජනපදය ශ්‍රී ලාංකික භාණ්ඩ සඳහා තීරුබදු 44% සිට 30% දක්වා අඩු කර ඇත - එය පිළිගත හැකි පියවරකි! නමුත් එය තරගකාරී ද? ඇඟලුම් ක්ෂේත්‍රයේ රැකියා 350,000ක් සහ වක්‍ර රැකියා 600,000ක් අවදානමට ලක්ව ඇති අතර, අපනයන ආදායමෙන් ඩොලර් බිලියන 2කට වඩා වැඩි ප්‍රමාණයක් සමගින්, අපි අපගේ ප්‍රධාන ප්‍රතිවාදීන් අභිබවා යා යුතු ය. වියට්නාමය 20%ක්, බංග්ලාදේශය 35%ක් (තවමත් සාකච්ඡා කරමින් සිටින) වන අතර ඉන්දියාව ආක්‍රමණශීලී ලෙස ඉදිරියට යමින් සිටී."
ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තය ඇතුළු සියලු අපනයන කර්මාන්තවලට මෙය ඍජුව බලපානු ඇතැයි කොළඹ නැව්ගත කරන්නන්ගේ අධ්‍යාපන පීඨයේ ප්‍රධාන විධායක නිලධාරී රොහාන් මාසකෝරාළ පවසයි.
ඔහු ප්‍රකාශ කළේ, ඊට කරුණු කිහිපයක් බලපාන බව ය.
"ශ්‍රී ලංකාවේ දැනටමත් විදුලිය, ජලය වගේ පහසුකම්වලට මිල ගොඩක් ඉහළ අගයක තියෙන්නේ. ඒ වගේ ම, කම්කරු වැටුප් වැඩි යි. ඉන්දියාවේ මේ සියලු දේ සඳහා යන වියදම අඩු යි. ඒ අතරේ, අපට වඩා අඩු තීරු බද්දක් ඉන්දියාවට දුන්නොත් මේ තියෙන තත්ත්වය තවත් නරක අතට හැරෙන්න පුළුවන්. ආයෝජකයෝ සියලු දෙනා ඉන්දියාවට යයි. දැනටමත් වියට්නාමයට අපට වඩා අඩු තීරු බද්දක් පනවලා තියෙන්නෙ. මේ තත්ත්වය ඇඟලුම් කර්මාන්තයට ගොඩක් බලපානවා," ඔහු පෙන්වා දුන්නේ ය.
'මුලින් ම අපි බදු අඩු කළ යුතු යි'
ශ්‍රී ලංකාවට මුලින් ම 44%ක තීරු බද්දක් පැනවූයේ, ශ්‍රී ලංකාව ඇමෙරිකානු භාණ්ඩ සඳහා 88%ක බදු අය කරන බවට ඇස්තමේන්තු කිරීමෙනි.
ඒ අනුව, ඇමෙරිකානු භාණ්ඩ ආනයනය කිරීමේදී ශ්‍රී ලංකාව පනවා ඇති ඍජු හා වක්‍ර අධික බදු අඩු කිරීමට පියවර ගත යුතු බව රොහාන් මාසකෝරාළ පවසයි.
කෙසේ වෙතත්, අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මුදල් අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම පැවසුවේ, ඇමෙරිකානු භාණ්ඩවලට 88%ක තීරු බදු අය කිරීමක් සිදු නොකරන බව ය.
ශ්‍රී ලංකාවේ වැඩි ම අපනයන ඇමෙරිකාවට
ශ්‍රී ලංකාවේ අපනයනවලින් වැඩි කොටසක් අපනයනය කරනු ලබන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයට ය.
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ දත්තවලට අනුව එම කොටස සමස්ත ඇඟලුම් අපනයනයන්ගෙන් 23%කි.
අනෙකුත් රටවල්වලට ශ්‍රී ලංකාවෙන් සිදු කරන අපනයනයන් එම ප්‍රතිශතයට වඩා සැලකිය යුතු ලෙස අඩු අගයක් ගනියි.
වැඩි ම අපනයන සිදු කරන රටවල් අතර දෙවන ස්ථානයේ පසුවන එක්සත් රාජධානියට සමස්ත අපනයනයන්ගෙන් අපනයනය කර ඇත්තේ 7.1ක් පමණි.