ඇමෙරිකාව චීනයට පැනවූ 104%ක තීරු බදු නිසා ඇති විය හැකි වෙළෙඳ යුද්ධයකින් ලෝකයට විය හැකි බලපෑම

    • Author, බෙන් චූ
    • Role, BBC Verify

ඇමෙරිකාව පැනවූ තීරු බදු ක්‍රියාත්මක වීමට පැය කිහිපයක් තිබියදී චීනයට පනවා තිබූ 34%ක තීරුබදු අනුපාතය 84% දක්වා වැඩි කරන බවට තහවුරු කරන ලියවිල්ලක් ධවල මන්දිරය ප්‍රකාශයට පත් කර තිබේ.

ඇමෙරිකාව වෙත ආනයනය කෙරෙන චීන භාණ්ඩ සඳහා ඒ වන විටත් 20%ක තීරුබදු පනවා තිබිණි. ඉහත කී තීරණයෙන් අදහස් වන්නේ, චීන භාණ්ඩ සඳහා වන මුළු තීරු බදු 104%ක් දක්වා ඉහළ යනු ඇති බව ය.

"ඇමෙරිකා එක්සත් ජනපදයෙන් පළිගන්නා බවට චීන මහජන සමූහාණ්ඩුව කර ඇති නිවේදනය පිළිගැනීමක් ලෙස" මෙම පියවර ගෙන ඇති බව ධවල මන්දිර ප්‍රකාශයේ සඳහන් වේ.

ට්‍රම්ප් චීන භාණ්ඩ සඳහා 84%ක "අන්‍යෝන්‍ය" තීරු බද්දක් ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව, චීනය ද ඇමෙරිකානු භාණ්ඩ සඳහා ප්‍රති-තීරුබදු පැනවීය.

චීන මුදල් අමාත්‍යාංශය විසින් ඇමෙරිකා එක්සත් ජනපදයෙන් ආනයනය කරන සියලුම භාණ්ඩ සඳහා 84% ක තීරු බද්දක් ප්‍රකාශයට පත් කළ අතර එය අප්‍රේල් 10 වැනිදා සිට බලපැවැත්වෙනු ඇත.

ඇමෙරිකා - චීන වෙළෙඳ යුද්ධය ලෝක ආර්ථිකයට කෙසේ බලපායි ද?

2025 අප්‍රේල් 9 වන බදාදා සිට චීන භාණ්ඩ ආනයනය සඳහා 100% ඉක්මවූ තීරු බදු පනවන බවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තර්ජනය කිරීමෙන් පසු චීනය සහ ඇමෙරිකා එක්සත් ජනපදය අතර පූර්ණ වෙළෙඳ යුද්ධයක් ඇති වීමේ අවදානමක් මතුව තිබේ.

චීනය, ඇමෙරිකානු බලහත්කාරකම් ලෙස අර්ථ කථනය කරන ක්‍රියාවන්ට යටත් නොවී "අවසානය දක්වා සටන් කරන" බව පවසා ඇති අතර, ඇමෙරිකානු බදුවලට ප්‍රතිචාර වශයෙන් චීනය දැනටමත් එක්සත් ජනපදයට එරෙහිව වෙළෙඳ බාධක පනවා ඇත.

මෙම උත්සන්න වන වෙළෙඳ ගැටුම ලෝක ආර්ථිකයට බලපාන්නේ කෙසේ ද?

ඔවුන් කොපමණ වෙළඳාමක් කරනවාද?

පසුගිය වසරේදී ආර්ථික බලවතුන් දෙදෙනා අතර භාණ්ඩ වෙළෙඳාම ඇමෙරිකානු ඩොලර් බිලියන 585 (ස්ටර්ලිං පවුම් බිලියන 429)ක් පමණ විය.

කෙසේ වෙතත්, චීනය ඇමරිකාවෙන් ආනයනය කළ ප්‍රමාණයට වඩා (ඇ. ඩො. බිලියන 145), ඇමෙරිකාව චීනයෙන් (ඇ.ඩො. බිලියන 440) ආනයනය කර තිබේ.

එමගින් 2024 වසරේදී එක්සත් ජනපදය චීනය සමග වෙළෙඳ හිඟය - එහි ආනයන හා අපනයන අතර වෙනස - ඇමෙරිකානු ඩොලර් බිලියන 295ක් පවත්වාගෙන ගියේ ය. එය සැලකිය යුතු වෙළෙඳ හිඟයක් වන අතර එය එක්සත් ජනපද ආර්ථිකයෙන් 1%කට පමණ සමාන වේ.

එහෙත්, එය ට්‍රම්ප් මේ සතියේ නැවත නැවතත් ප්‍රකාශ කළ ඩොලර් ට්‍රිලියන 1 ට වඩා අඩු ය.

ට්‍රම්ප් ඇමෙරිකාවේ ජනාධිපතිවරයා ලෙස ඔහුගේ පළමු ධූර කාලය තුළ ම චීනයට සැලකිය යුතු තීරු බද්දක් පැනවීය. එම තීරුබදු ක්‍රියාත්මක වූ අතර ඔහුගේ අනුප්‍රාප්තික ජෝ බයිඩන් විසින් ඒවාට තවත් බදු එකතු කරන ලදී.

එම වෙළෙඳ බාධක හේතුවෙන්, 2016 වසරේදී ඇමෙරිකාවේ මුළු ආනයනවලින් 21%ක් වූ චීනයෙන් ආනයනය කරන ලද භාණ්ඩ, පසුගිය වසරේ 13% දක්වා අඩු කිරීමට උපකාරී විය.

එබැවින් පසුගිය දශකය තුළ ඇමෙරිකාව වෙළෙඳ ගනුදෙනුවලදී චීනය මත යැපීම අඩු වී තිබේ.

එහෙත්, විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ, එක්සත් ජනපදයට අපනයනය කරන ලද ඇතැම් චීන භාණ්ඩ අග්නිදිග ආසියානු රටවල් හරහා නැවත හරවා යවා ඇති බව ය.

උදාහරණයක් ලෙස, ට්‍රම්ප් පරිපාලනය 2018 දී, චීනයෙන් ආනයනය කරන සූර්ය පැනල සඳහා 30%ක තීරු බදු පැනවීමට පියවර ගත්තේ ය.

කෙසේ වෙතත්, 2023 වසරේදී ඇමෙරිකාවේ වාණිජ දෙපාර්තමේන්තුව සාක්ෂි සහිතව ප්‍රකාශ කළේ, චීන සූර්ය පැනල නිෂ්පාදකයින් ඔවුන්ගේ එකලස් කිරීමේ මෙහෙයුම් මැලේසියාව, තායිලන්තය, කාම්බෝජය සහ වියට්නාමය වැනි රටවලට මාරු කර, පසුව එම රටවලින් නිමි නිෂ්පාදන ඇමෙරිකා එක්සත් ජනපදයට යවා තීරුබදු මග හැර ඇති බව ය.

එම රටවල් මත පැනවීමට නියමිත නව "අන්‍යෝන්‍ය" තීරුබදු, අවසානයේ චීනයෙන් ආරම්භ වන පුළුල් පරාසයක භාණ්ඩවල ඇමෙරිකානු මිල ඉහළ නංවනු ඇත.

ඇමෙරිකාව සහ චීනය අතර සිදුවන අන්‍යෝන්‍ය ආනයන මොනවා ද?

2024 වසරේදී ඇමෙරිකා එක්සත් ජනපදයේ සිට චීනයට අපනයනය කරන ලද විශාලතම භාණ්ඩ කාණ්ඩය වූයේ සෝයා බෝංචි වන අතර එය ප්‍රධාන වශයෙන් චීනයේ ඇස්තමේන්තුගත ඌරන් මිලියන 440ක් පෝෂණය කිරීම සඳහා භාවිත කරන ලදී.

එක්සත් ජනපදය චීනයට ඖෂධ සහ ඛනිජ තෙල් ද යැවීය.

අනෙක් අතට, චීනයේ සිට ඇමෙරිකා එක්සත් ජනපදයට ඉලෙක්ට්‍රොනික උපකරණ, පරිගණක සහ සෙල්ලම් බඩු විශාල ප්‍රමාණයක් අපනයනය කර තිබේ. විදුලි වාහන සඳහා අත්‍යවශ්‍ය බැටරි විශාල ප්‍රමාණයක් ද අපනයනය කරන ලදී.

චීනයෙන් එක්සත් ජනපදයට ආනයනය කරන විශාලතම කාණ්ඩය වන්නේ ස්මාර්ට් දුරකතන වන අතර එය මුළු ප්‍රමාණයෙන් 9%කි. මෙම ස්මාර්ට් දුරකතනවලින් විශාල ප්‍රතිශතයක් චීනය තුළ නිෂ්පාදනය කරනු ලබන්නේ එක්සත් ජනපදය පදනම් කර ගත් බහුජාතික සමාගමක් වන Apple සඳහා ය.

පසුගිය සති කිහිපය තුළ Apple සමාගමේ වෙළෙඳපොළ වටිනාකම පහත වැටීමට ප්‍රධාන වශයෙන් දායක වූයේ චීනයට එරෙහි එක්සත් ජනපද තීරුබදු වන අතර, පසුගිය මාසය තුළ එහි කොටස් මිල 20%කින් පහත වැටිණි.

ට්‍රම්ප් පරිපාලනය දැනටමත් චීනය මත පනවා ඇති 20%ක තීරු බදු හේතුවෙන් චීනයෙන් එක්සත් ජනපදයට ආනයනය කෙරෙන සියලු භාණ්ඩ ඇමෙරිකානුවන් සඳහා සැලකිය යුතු ලෙස මිල අධික වීමට නියමිතව තිබිණි.

සියලු ම භාණ්ඩ සඳහා තීරු බදු 100%ක් දක්වා ඉහළ ගියහොත් - එහි බලපෑම පස් ගුණයකින් වැඩි විය හැකි ය.

චීනයේ 'පළිගැනීමේ' තීරු බදු හේතුවෙන් චීනයට අපනයනය කරන එක්සත් ජනපද භාණ්ඩවල මිල ද ඉහළ යනු ඇති අතර, අවසානයේ චීන පාරිභෝගිකයින්ට ද ඒ හා සමාන ආකාරයකින් බලපෑම් සිදුවනු ඇත.

එහෙත්, තීරු බදුවලට අමතරව, මෙම ජාතීන් දෙක වෙළෙඳාම හරහා එකිනෙකාට හානි කිරීමට උත්සාහ කරන වෙනත් ක්‍රම තිබේ.

තඹ සහ ලිතියම්වල සිට දුර්ලභ පස් වර්ග දක්වා කර්මාන්ත සඳහා අත්‍යවශ්‍ය ලෝහ රැසක් පිරිපහදු කිරීමේදී චීනය ප්‍රධාන කාර්ය භාරයක් ඉටු කරයි.

මෙම ලෝහ එක්සත් ජනපදයට ළඟා වීම වැළැක්වීමට චීනය බාධා එල්ල කළ හැකි ය.

මෙය දැනටමත් තාප ප්‍රතිබිම්බකරණය සහ රේඩාර් සඳහා හමුදාව විසින් භාවිත කරනු ලබන ජර්මේනියම් සහ ගැලියම් නම් ද්‍රව්‍ය දෙකක් සම්බන්ධයෙන් සිදු කර තිබේ.

එක්සත් ජනපදය සම්බන්ධයෙන් ගත් කල, ජෝ බයිඩ්න් විසින් ආරම්භ කරන ලද චීනයට එරෙහි තාක්ෂණික අවහිරය දැඩි කිරීමට උත්සහ කළ හැකි අතර, කෘත්‍රිම බුද්ධිය වැනි යෙදුම් සඳහා අත්‍යවශ්‍ය වන උසස් මයික්‍රොචිප් ආනයනය කිරීමේදී චීනයට බාධා කළ හැකි ය. එයට තවමත් මයික්‍රොචිප් තනිව ම නිපදවිය නොහැක.

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ වෙළෙඳ උපදේශක පීටර් නවරෝ මේ සතියේ යෝජනා කළේ, කාම්බෝජය, මෙක්සිකෝව සහ වියට්නාමය ඇතුළු අනෙකුත් රටවල්වලට එක්සත් ජනපදයට අඛණ්ඩව භාණ්ඩ අපනයනය කිරීමට අවශ්‍ය නම්, එම රටවල් චීනය සමග වෙළෙඳාම් නොකළ යුතු බවට බලපෑම් කිරීමට ඇමෙරිකාවට හැකි බව ය.

මෙය අනෙකුත් රටවලට බලපානු ඇත්තේ කෙසේ ද?

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අනුව, මේ වසරේ ගෝලීය ආර්ථිකයෙන් 43%ක් තරම් විශාල කොටසකට එක්සත් ජනපදය සහ චීනය එක්ව හිමිකම් කියයි.

ඔවුන් තම වර්ධනය මන්දගාමී කරන හෝ අවපාතයකට තල්ලු කරන සම්පූර්ණ වෙළෙඳ යුද්ධයක නිරත වුවහොත්, ඉන් මන්දගාමී ගෝලීය වර්ධනයේ ස්වරූපයෙන් අනෙකුත් රටවල ආර්ථිකයන්ට හානියක් සිදුවීමට ඉඩ ඇත.

ගෝලීය ආයෝජන ද බලපෑමට ලක්වනු ඇත.

වෙනත් ප්‍රතිවිපාක ද ඇති විය හැකි ය.

චීනය ලොව විශාලතම නිෂ්පාදන රාජ්‍යය වන අතර එහි ජනගහනය දේශීය වශයෙන් පරිභෝජනය කරන ප්‍රමාණයට වඩා අධික ලෙස නිෂ්පාදනය කරයි.

එය දැනටමත් ඩොලර් ට්‍රිලියන 1කට ආසන්න භාණ්ඩ අතිරික්තයක් පවත්වාගෙන යයි - එයින් අදහස් වන්නේ එය ආනයනය කරනවාට වඩා ලෝකයේ සෙසු කලාපවලට භාණ්ඩ වැඩි වශයෙන් අපනයනය කරන බව ය.

දේශීය සහනාධාර සහ රාජ්‍ය මූල්‍ය ආධාර, අඩු පොළී ණය වැනි සහන තෝරාගත් සමාගම් සඳහා ලැබීම හේතුවෙන්, එය බොහෝ විට එම භාණ්ඩ සැබෑ නිෂ්පාදන පිරිවැයට වඩා අඩු මිලකට නිෂ්පාදනය කරයි.

වානේ කර්මාන්තය ඊට උදාහරණයකි.

එවැනි නිෂ්පාදන ඇමෙරිකා එක්සත් ජනපදයට ඇතුළු වීමට නොහැකි වුවහොත්, චීන සමාගම් ඒවා විදේශයන්ට "පැටවීමට" උත්සහ කිරීමේ අවදානමක් පවතී.

එය ඇතැම් පාරිභෝගිකයින්ට වාසිදායක විය හැකි නමුත්, රැකියා සහ වැටුප් අවදානමක් ඇති කරමින් වෙනත් රටවල නිෂ්පාදකයින් අඩු කිරීමට ද එය හේතු විය හැකිය.

අතිරික්ත වානේ එක්සත් රාජධානියේ වෙළෙඳපොළට හරවා යැවීමේ අවදානම පිළිබඳව UK Steel කණ්ඩායම අනතුරු අඟවා තිබේ.

චීන-ඇමෙරිකානු වෙළෙඳ යුද්ධයක බලපෑම් ගෝලීය වශයෙන් දැනෙනු ඇති අතර, බොහෝ ආර්ථික විද්‍යාඥයින් විනිශ්චය කරන්නේ බලපෑම බෙහෙවින් ඍණාත්මක වනු ඇති බවට ය.