ට්‍රම්ප් පැනවූ තීරු බදුවලින් කොළඹ කොටස් වෙළෙඳපොළට සිදුව ඇති බලපෑම

    • Author, බීබීසී සිංහල

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පනවන ලද නව බදු හේතුවෙන් ශ්‍රී ලංකාවේ කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනුවලට මේ වන විට දැඩි බලපෑම් එල්ල වී තිබේ.

"මෙහි බලපෑමක් ලෙස" සඳුදා (අප්‍රේල් 07) පෙරවරුවේ කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු මිනිත්තු 30ක කාලයක් සඳහා අත්හිටුවීමට සිදු විය.

ඒ, කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රධාන මිල දර්ශකයක් වන S&P SL20 දර්ශකය, පූර්ව ගනුදෙනු දිනයට සාපේක්ෂව 5%ක ප්‍රමාණයක් ඉක්මවා පහළ යාම හේතුවෙනි.

ගනුදෙනු අත්හිටුවන අවස්ථාවේදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 639.01කින් පහත වැටී තිබිණි. එහි පැවති ඒකක සංඛ්‍යාව 14,734.34ක් විය.

මේ අතර, S&P SL20 දර්ශකය ඒකක 4,292.90ක්ව පැවති අතර, එය ඒකක 240.45කින් පහත වැටී තිබිණි.

එය සියලු කොටස් මිල දර්ශකය පෙර දිනයට සාපේක්ෂව 4.16%කින් පහත වැටී තිබුණු අතර, S&P SL20 දර්ශකය 5.30%ක ප්‍රතිශතයකින් පහත වැටී තිබිණි.

කොටස් වෙළෙඳපොළ ගනුදෙනු පහත වැටුණේ ඇයි?

"කොටස් වෙළෙඳපොළ ගනුදෙනු පහත වැටීමට බලපා ඇති ප්‍රධාන හේතුව ඇමෙරිකාව විසින් ශ්‍රී ලංකාවට බදු පැනවීම" බව කොළඹ කොටස් වෙළෙඳපොළේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් බීබීසී සිංහල සේවයට පැවසීය.

එම නිලධාරියා ප්‍රකාශ කළේ, "ඇමෙරිකාව විසින් පනවන ලද බදු සම්බන්ධයෙන් අවසන් විසඳුමක් ලැබී නොමැති හෙයින් ආයෝජකයින් මාධ්‍ය වාර්තා අනුව ප්‍රතිචාර දක්වමින් සිටින බවත්, එහෙයින් කොටස් වෙළෙඳපොළ තුළ ගනුදෙනු පහත වැටී ඇති බවත්," ය.

"බදු සම්බන්ධයෙන් ඉදිරියේදී සිදුවන්නේ මොකක් ද කියලා විශ්වාසයක් නැති නිසා මේ තත්ත්වය ඇති වෙලා තියෙන්නේ," අදාළ නිලධාරියා සඳහන් කළේ ය.

'විසඳුමක් නොලැබුණොත් ප්‍රශ්නයක්'

මේ අතර, පැනවූ බදු සම්බන්ධයෙන් ඇමෙරිකාව සමග සාකච්ඡා කර අවසන් විසඳුමක් ලබා ගැනීමට කටයුතු නොකළහොත් ආයෝජන සහ කොටස් වෙළෙඳපොළ ගනුදෙනුවලට බලපෑමක් එල්ල වනු ඇතැයි කොළඹ කොටස් වෙළෙඳපොළේ ජ්‍යෙෂ්ඨ නිලධාරියා පැවසීය.

ඊට විසඳුමක් ලබා ගැනීම සඳහා ප්‍රවේශයක් තිබේ ද? ඒ සඳහා කළ යුත්තේ කුමක් ද? යන්න පිළිබඳව රජය මැදිහත් වීමෙන් පියවර ගනු ඇතැයි අපේක්ෂා කරන බව ද ඔහු සඳහන් කළේ ය.

කෙසේ වෙතත්, ඉදිරි තත්ත්වය සම්බන්ධයෙන් පුරෝකථනයක් කිරීමට කල් වැඩි බව නිලධාරියා පෙන්වා දුන්නේ ය.

"දැන් තියෙන්නෙ මොකක් ද වෙන්නෙ කියලා විශ්වාසයක් නැති ස්වභාවයක්."

කෙසේ වෙතත්, රටවල් කිහිපයක කර්මාන්ත ශාලා ඇති ආයෝජකයින් කොටසක් ශ්‍රී ලංකාවෙන් සහ තවත් කොටසක් වෙනත් රටකින් ඇමෙරිකාවට අපනයනය කිරීමට කටයුතු කරනු ඇතැයි ඔහු පෙන්වා දුන්නේ ය.

ශ්‍රී ලංකා රජය කරන්න යන දේ

මේ අතර, අමෙරිකාව සහ ශ්‍රී ලංකාව අතර සිදු කෙරෙන ගනුදෙනුවල වෙළෙඳ පරතරය අවම කර ගැනීම සඳහා යෝජනාවලියක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු ඉරිදා (අප්‍රේල් 06) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.

ඔහු ප්‍රකාශ කළේ, අඟහරුවාදා (අප්‍රේල් 08) ඇමෙරිකානු බලධාරීන් පිරිසක් සමග පැවැත්වෙන විශේෂ සාකච්ඡාවකදී එම යෝජනාවලිය ඉදිරිපත් කරන බව ය.

ඇමෙරිකානු ජනාධිපතිවරයා පැනවූ 44%ක බද්ද ශ්‍රී ලංකාව එරටට අපනයනය කරන භාණ්ඩවලින් 80-86%ක් අතර ප්‍රතිශතයකට බලපාන බව ඔහු එහිදී ප්‍රකාශ කළේ ය.

"ඇඟලුම් ක්ෂේත්‍රය, ප්ලාස්ටික් සහ රබර් නිෂ්පාදන, ආහාර සැකසුම් නිෂ්පාදන, ආභරණ සහ තවත් දේ අදාළ වෙනවා. එකතුව 86%ක් බවට පත්වෙනවා. බදු පැනවීමත් සමග අපේ භාණ්ඩ තරගකාරී බවින් ඉවත් වෙනවා. අපිට මොකක් ද කරන්න පුළුවන්? වෙළෙඳ පරතරය අඩුකරන්න ඇමෙරිකාව යෝජනා කළා. අපි ඇමෙරිකානු වෙළෙඳ නියෝජතයින් සමග රැස්වීමක් ගත්තා. වෙළෙඳ පරතරය අඩු කරන්න අපේ යෝජනා ඉදිරිපත් කරන්න කිව්වා. අවසාන යෝජනා ලබන අඟහරුවාදා අපි ඉදිරිපත් කරනවා," ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු පැවසීය.

කොටස් වෙළෙඳපොළ අත්හිටුවන අවස්ථා

පළමු පරිපථ කඩනය - කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුවේ (CSE) දිනය සඳහා වෙළෙඳාම ආරම්භ කිරීමෙන් පසු, S&P SL 20 දර්ශකය 5%කින් පහත වැටුණහොත් මිනිත්තු 30ක් සඳහා වෙළෙඳපොළ අත්හිටුවනු ලැබේ.

දෙවන පරිපථ කඩනය - S&P SL 20 දර්ශකය 5%කින් පහත වැටීමෙන් පසු ඇති වූ මිනිත්තු 30ක සිසිලන කාලයෙන් පසු නැවත වෙළෙඳාම ආරම්භ කිරීමෙන් අනතුරුව S&P SL 20 දර්ශකය තවත් 2.5%කින් පහත වැටුණහොත්, තවත් විනාඩි 30ක් සඳහා වෙළෙඳපොළ අත්හිටුවනු ලැබේ.

තෙවන පරිපථ කඩනය - S&P SL 20 දර්ශකය 2.5%කින් පහත වැටීමෙන් පසුව (සමස්තයක් ලෙස S & P SL 20 දර්ශකය 7.5%කින් පහත වැටී ඇත) මිනිත්තු 30ක සිසිලන කාලයෙන් පසු වෙළෙඳාම නැවත ආරම්භ කිරීමෙන් අනතුරුව තවත් 2.5%කින් S&P SL 20 දර්ශකය පහතට වැටුණහොත් (S&P SL 20 දර්ශකයෙහි දවසේ මුළු අගය 10% කින් පහත වැටී ඇත), වෙළෙඳාම නවත්වන අතර එම දවස සඳහා වෙළෙඳපොළ වසා දැමිය යුතු ය.