ඇමෙරිකාව ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රැසකට පැනවූ තීරු බදු අත්හිටුවයි: චීනයට තවත් බර පටවයි

    • Author, බීබීසී

ඇමෙරිකා එක්සත් ජනපදයේ ඉහළ තීරුබදුවලින් පීඩාවට පත් රටවලට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දින 90ක විරාමයක් නිවේදනය කර තිබේ. කෙසේ වෙතත්, චීනයට පැනවූ බදු තවත් ඉහළ දැමීම හේතුවෙන් චීනය සමග ගොඩනැගෙමින් පවතින වෙළෙඳ යුද්ධය තීව්‍ර වී තිබේ.

ඇමෙරිකානු වෙළෙඳ හවුල්කරුවන් 60කට පමණ එරෙහිව බදු පැනවීමෙන් පැය කිහිපයකට පසු, ප්‍රතිපත්තියේ වෙනසක් සිදු කරමින්, සාකච්ඡා දිගට ම පවතින බැවින්, "10%ක අඩු කරන ලද අන්‍යෝන්‍ය තීරුබදු" සඳහා පූර්ණ අවසරය ලබා දෙන බව ට්‍රම්ප් පැවසීය.

ඒ සමග ම ඔහු චීනයෙන් ඇමෙරිකාවට යැවෙන භාණ්ඩ සඳහා තීරු බදු 125%ක් දක්වා වැඩි කළ අතර, එක්සත් ජනපද ආනයන සඳහා 84%ක තීරුබදු පනවන බව පවසමින් චීනය එකට එක කිරීමෙන් පසුව එය "ගෞරවයක් නොමැතිකම" ලෙස ට්‍රම්ප් චෝදනා කළේ ය.

මෙය සිදුවන්නේ දශක ගණනාවකට පසු ජාත්‍යන්තර වෙළෙඳාමේ විශාලතම කැළඹීම වන එක්සත් ජනපදයට ඇතුළු වන සියලු ම භාණ්ඩ සඳහා ආනයන බදු ප්‍රකාශයට පත් කිරීමෙන් සතියකට පසුව ය.

ඔහුගේ සැලැස්ම අනුව සියලු ම ආනයන සඳහා 10%ක මූලික තීරුබදුවක් නියම කළේය - එය තවමත් ක්‍රියාත්මක වේ - නමුත් ජනාධිපතිවරයා අසාධාරණ වෙළෙඳ පිළිවෙත් ලෙස සලකන දේ සඳහා "නරක ම වැරදිකරුවන්" ලෙස ධවල මන්දිරය විස්තර කළ හවුල්කරුවන් සඳහා ඉහළ අනුපාත ද නියම කළේ ය.

ඊට සාමාජික රටවල් 27කින් සමන්විත යුරෝපා සංගමය, ශ්‍රී ලංකාව, වියට්නාමය, දකුණු අප්‍රිකාව සහ තවත් බොහෝ රටවල් ඇතුළත් විය - මේ සියල්ලට ම 11% සිට 100% දක්වා පරාසයක එක්සත් ජනපද තීරුබදු ලැබීමේ අන්තයට පැමිණීමට නියමිතව තිබිණි.

පසුගිය සතියේ ට්‍රම්ප්ගේ නිවේදනයෙන් පසු ප්‍රධාන කොටස් වෙළෙඳපළ කඩා වැටුණු අතර, ලොව පුරා කොටස් අලෙවිය හේතුවෙන් ට්‍රිලියන ගණනක පාඩු සිදුවිය. බොහෝ ඇමෙරිකානුවන් මිල ඉහළ යාම ගැන බිය වූ අතර ඇතැම් විශ්ලේෂකයෝ ආර්ථික අවපාතයක් ඇති වීමේ සම්භාවිතාව වැඩි වනු ඇතැයි පුරෝකථනය කළහ.

චීනය හැර අනෙකුත් රටවලින් භාණ්ඩ සඳහා ඉහළ තීරු බදු පැනවීම අත්හිටුවන බව ට්‍රම්ප් පැවසීමට පෙර බදාදා (අප්‍රේල් 09), එක්සත් ජනපද රජය සිය ණය සඳහා පොළී අනුපාත 4.5% දක්වා ඉහළ දැමීය - එය පෙබරවාරි මාසයෙන් පසු වාර්තා වූ ඉහළ ම මට්ටම යි.

Truth Social සමාජ මාධ්‍යය ඔස්සේ ඔහුගේ සැලැස්මේ නවතම තත්ත්වය නිවේදනය කරමින් ට්‍රම්ප් සටහන් කළේ, ඔහුගේ බදුවලට එරෙහිව එකට එක නොකළ රටවල් සඳහා දින 90ක තීරුබදු විරාමයක් සඳහා අවසර දෙන බව ය

කෙසේ වෙතත්, චීනය මත පැනවූ අතිරේක තීරුබදු වහා ම ක්‍රියාත්මක වන බව ඔහු පැවසීය.