උමා ඔය ගොවීන්ට වන්දි: අධිකරණ නියෝගයක්

උමා ඔය වාරි ව්‍යාපෘතිය නිසා වගා හානි සිදු වූ ගොවීන්ට වන්දි ගෙවීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය රජයට නියම කරයි.

පරිසර යුක්ති කේන්ද්‍රය සහ උමා ඔය ව්‍යාපෘතියෙන් පීඩාවට පත් ගොවීන් පිරිසක් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවයි අධිකරණය මෙම නියෝගය කළේ.

මෙහිදී පෙත්සම්කාර පාර්ශවය අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වීමෙන් පසුව ප්‍රදේශයේ විශාල වගා හානියක් සිදුව ඇති බවයි.

ඒ සඳහා සුදුසු වන්දියක් ගෙවීමට රජය පියවර ගත යුතු බවයි ඔවුන් අධිකරණයෙන් ඉල්ලා සිටියේ.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අධිකරණය, වගා හානියට පත් ගොවීන්ට වන්දි ගෙවීමට පියවර ගන්නා මෙන් පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂවරයාට නියම කල බව පෙත්සම්කාර පාර්ශවයේ නීතිවේදී රවින්ද්‍රනාත් දාබරේ ප්‍රකාශ කළේය.

"අගතියට පත් ගොවීන්ට සිය වගා හානි පිළිබඳ කරුණු ඇතුළත් අයදුම්පත් පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ වෙත යොමු කරන මෙන් අධිකරණය නියෝග කළා.

එම අයදුම් පත්‍ර ඇගයීමට ලක් කර සාධාරණ වන්දියක් ගෙවීමට පියවර ගන්නා මෙන් අධිකරණය පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂවරයාට නියම කළා." නීතිවේදී දාබරේ කියා සිටියේය.

අනතුරුව පෙත්සම ඔක්තෝම්බර් මස 25 වනදා කැදවීමට නියම කළ අධිකරණය එදිනට මෙම කටයුතුවල ප්‍රගතිය වාර්තා කරන මෙන් අධිකරණය නීතිපතිවරයාට දැනුම් දුන්ණේය.