ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
හොංකොං කණ්ඩායම හමුවේ අසීරු ජයක් ලබමින් ශ්‍රී ලංකාව ලකුණු සටහනේ පෙරමුණට
2025 ආසියානු කුසලාන 20/20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වූ දෙවැනි තරගයෙන් හොංකොං කණ්ඩායම පරාජය කරමින් කඩුලු 4ක ජයක් ලැබීය.
තරගාවලියේ බී කාණ්ඩයේ මූලික වටයේ තරගයක් ලෙස ඩුබායිහිදී මෙය තරගය පැවැත්විණි.
තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට හිමි වුවද නායක චරිත් අසලංකගේ තීරණය වූයේ පන්දුවට පහර දීමේ අවස්ථාව හොංකොං වෙත ලබා දීමටය.
ඒ අනුව පිටියට පිවිසි සීෂාන් අලී සහ අන්ෂි රත් පිතිකරු යුගලය ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට අභියෝගයක් එල්ල කිරීමට සමත් විය.
ඔවුන් දෙදෙනා මෙල්ල කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට දැඩි වෙහෙසක් ගත් අතර, එහි සාර්ථක ප්‍රතිඵලය නෙලා ගැනීමට හැකි වූයේ හොංකොං කණ්ඩායම ලකුණු 41ක් රැස් කළ පසුවය.
සීෂාන් අලීගේ ඉනිම ලකුණු 23කට නිමා වූයේ දුෂ්මන්ත චමීර හමුවේය.
අන්ෂි රත් පන්දු 46කින් ලකුණු 48ක් රැස් කළ අතර, අර්ධ ශතකය අබියස සිටි ඔහුගේ ඉනිම අවසන් වූයේද දුෂ්මන්ත චමීර හමුවේය.
ඉන් අනතුරුවද ශ්‍රී ලංකා පන්දු යවන්නනට පීඩනයක් එල්ල කිරීමට අත්දැකීම් අඩු හොංකොං පිතිකරුවන්ට හැකි විය.
නිසාකත් ඛාන් නොදැවී රැස් කළ ලකුණු 52 හේතුවෙන් නියමිත පන්දුවාර 20 අවසානයේදී එම කණ්ඩායමේ ලකුණු පුවරුව දිස් වූයේ 149/4ක් ලෙසය.
දුෂ්මන්ත චමීරගේ කඩුලු දෙක හැරෙන්නට වනිඳු හසරංග සහ දසුන් ශානක එක් කඩුල්ල බැගින් දවා ගැනීමට සමත් වූහ.
ලකුණු 150ක අනපේක්ෂිත ඉලක්කයකින් ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළේ පැතුම් නිස්සංක සමගින් කුසල් මෙන්ඩිස්ය.
කෙසේ නමුත් මෙම තරගයේදීද මෙන්ඩිස්ගෙන් ශ්‍රී ලංකා ලකුණු පුවරුවට සාධාරණයක් ඉටුවනු දක්නට නොලැබිනි.
ඔහුගේ ඉනිම ලකුණු 11කට සීමා වූ අතර, පෙර තරගවලදී ලකුණු අතර සිටි නවක ක්‍රීඩක කමිල් මිශාරට රැස් කිරීමට හැකි වූයේ ලකුණු 19ක් පමණි.
අත්දැකීම් බහුල ශ්‍රී ලංකා පිතිකරුවන්ට ප්‍රබල තර්ජනයක් එල්ල කිරීමට හොංකොං පන්දු යවන්නනට හැකි වූ බව දක්නට ලැබිණි.
කෙසේ නමුත් ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක පන්දු 44කින් ලකුණු 68ක් රැස් කරමින් එක් අන්තයකින් ශ්‍රී ලංකා ලකුණු පුවරුව ඉහළ නැංවීම සැනසුමට කරුණක් විය.
පැතුම් නිස්සංක පිටියෙන් ඉවත් වූයේ තරගයේ 15 වැනි පන්දුවාරයේදීය.
ඒ වන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව දිස් වූයේ 119/4ක් ලෙසය.
නමුත් ඉන් අනතුරුව ලකුණු 8ක් තුළ ප්‍රබල ශ්‍රී ලංකා පිතිකරුවන් තිදෙනෙක්ම ක්‍රීඩාගාරයට යැවීමට හොංකොං කණ්ඩායමේ පන්දු යවන්නනට හැකි විය.
කුසල් පෙරේරා ලකුණු 20කට දැවී ගියේය.
පරාජය අබියස සිටි ශ්‍රී ලංකා කණ්ඩායමට නැවතත් සැනසුම් සුසුමක් ගෙන ආවේ වනිඳු හසරංග සමගින් එක් වූ හිටපු නායක දසුන් ශානකය.
ඔවුන් දෙදෙනා සතු පරිණතභාවය මෙම ඉනිමේදී මැනවින් දක්නට ලැබුනු අතර, තරගය අවසන් වීමට පන්දු 7ක් ඉතිරිව තිබියදී හොංකොං කණ්ඩායම අබියස තිබූ ජයග්‍රහණය ශ්‍රී ලංකාවට ගෙන ඒමට හැකි විය.
දසුන් ලකුණු 6ක් සහ වනිඳු පන්දු 9කින් රැස් කළ වේගවත් ලකුණු 20 නොවන්නනට තරගයේ ප්‍රතිඵලය හොංකොං කණ්ඩායමට ඉමිහිරි මෙන්ම ශ්‍රී ලංකාවට අමිහිරි එකක් වන්නට තිබිණි.
හොංකොං කණ්ඩායමේ නායක යසීම් මුර්තාසා ලකුණු 37ට කඩුලු 2ක් බිඳ හෙලීය.
එම ජයග්‍රහණයත් සමග ශ්‍රී ලංකාව තරගාවලියේ බී කාණ්ඩයේ ලකුණු සටහනේ පෙරමුණට පැමිණ සිටිනනේ ප්‍රසාද ලකුණු 4ක් සහ 1.546ක ලකුණු රැස් කිරීමේ වේගයක් පවත්වා ගනිමිනි.
ඒ අනුව තරගාවලියේ සුපිරි සිව් දෙනාගේ වටය කෙරෙහි ශ්‍රී ලංකාවට තව දුරටත් දෑස් දල්වා ගත හැකිය.
ශ්‍රී ලංකාව මූලික වටයේ සහභාගී වන අවසන් තරගය පැවැත්වීමට නියමිතව ඇත්තේ බී කාණ්ඩයේ දෙවැනි ස්ථානයේ පසුවන ඇෆ්ගනිස්ථානයට එරෙහිවය.