රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට : 'ඒක අහම්බයක් වෙන්න බෑ... යූටියුබ්කරුවෙක් අනාවැකි කියන්නේ කොහොම ද?'

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, බීබීසී සිංහල
එංගලන්තයේ පෞද්ගලික විශ්වවිද්‍යාලයක පැවති උපාධි ප්‍රධානෝත්සවයකට සහභාගි වීම සඳහා සිදු කළ පෞද්ගලික සංචාරයක් වෙනුවෙන් රාජ්‍ය මුදල් අවභාවිත කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්බන්ධයෙන් බොහෝ පිරිස් සිය අදහස් සමාජ මාධ්‍ය ඔස්සේ පළකර තිබේ.
හිටපු ජනාධිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලබන බව සහ ඔහු දින 14ක් රක්ෂිත බන්ධනාගාරගත කරන බවට යුටියුබ් නාලිකාවක් පවත්වාගෙන යන සුදත්ත තිලක්සිරි සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මෙන් ම පාර්ලිමේන්තුව තුළ ඇතැම් මන්ත්‍රීවරුන් ද ප්‍රශ්න කර තිබිණි.
'ඒක අහම්බයක් වෙන්න බෑ, ඒක සැලසුම් කළ එකක් වෙන්න පුළුවන්ද?'
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සිය X ගිණුමේ සටහනක් තබමින්, හිටපු ජනාධිපතිවරයෙකු අත්අඩංගුවට ගැනීමට පෙර යූ ටියුබ්කරුවෙකු අනාවැකි පළ කරන්නේ කෙසේ ද? යනුවෙන් ප්‍රශ්න කර සිටියේ ය.
'හිටපු ජනාධිපතිවරයෙකු අත්අඩංගුවට ගැනීමක් සිදුවීමට පෙර යූ ටියුබ්කරුවෙකු අනාවැකි පළ කරනවා ද? ඒක අහම්බයක් වෙන්න බෑ, ඒක සැලසුම් කළ එකක් වෙන්න පුළුවන් ද? ඇත්ත නම්, නීතිය හා සාමය වැනි පූජනීය දෙයක් ලාභ නාටකයක් බවට පත් කරන දුක්බර දවසක්,' ඔහු සිය X ගිණුමේ එලෙස පළකර තිබිණි.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post, 1
'නීතිය කොහේ ද මූලාසනයේ මන්ත්‍රීතුමා?'
පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක ඊයේ (අගෝස්තු 22) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබූ බව යූටියුබ් නාලිකාවක් මගින් අනාවරණය කර තිබීම ගැන ප්‍රශ්න කර සිටියේ ය.
"නීතිය කොහේ ද මූලාසනයේ ගරු මන්ත්‍රීතුමා? අද රනිල් වික්‍රමසිංහ මහත්තයා කට උත්තර දෙන්න කලින් ඊයේ අර සුදා ද හුදා ද කියන මිනිහෙක් කියනවා දවස් 14ක් දානව ලු."
"අධිකරණයේ විනිසුරු තීන්දුව දෙන්න කලින් සුදා තීන්දු දෙනවා මේ රටේ. මොකක් ද මේක විහිළුවක්," චාමර සම්පත් දසනායක මන්ත්‍රීවරයා එහිදී පැවසුවේය.
මේ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී රාවුෆ් හකිම් ද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් පැවසුවේ සෑම කෙනෙකුට ම එක හා සමානව සැලකිය යුතු නමුත් හිටපු ජනාධිපතිවරයෙකු සම්බන්ධයෙන් ගත් කල, අවම වශයෙන් යම් ආචාරශීලීත්වයක් තිබිය යුතු බව ය.
'රනිල් ඉක්මනට ගෙදර ඒවි'
මේ අතර රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා සම්බන්ධයෙන් මාලදිවයිනේ හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් සිය X ගිණුමේ සටහනක් තබා තිබිණි.
ඔහු එහිදී සඳහන් කර තිබුණේ, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉක්මනින් නිවසට පැමිණෙනු ඇතැයි තමන් බොහෝ සෙයින් බලාපොරොත්තු වන බව ය.
"ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉක්මනින් නිවසට පැමිණෙනු ඇතැයි මම බොහෝ සෙයින් බලාපොරොත්තු වෙමි," යනුවෙන් හිටපු මාලදිවයින් ජනාධිපතිවරයා තම X ගිණුමෙහි සටහනක් තබා තිබිණි.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post, 2
'රුබිකන් තරණය'
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සම්බන්ධයෙන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු විභාගය පැවැත්වෙන අතර වාරයේදී ජනාධිපති නීතිඥ සාලිය පීරිස් සිය ෆේස්බුක් ගිණුමේ තබා තිබූ සටහනක් ගැන බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබිණි.
රෝමයේ හිටපු අධිරාජ්‍යයෙකු වන ජුලියස් සීසර් සම්බන්ධයෙන් ඔහු තබා තිබුණේ මෙවන් සටහනකි.
"ක්‍රි.පූ. 49 ජනවාරි මාසයේදී, ගෝල්හි ආණ්ඩුකාරවරයා වූ ජුලියස් සීසර්, රෝමයේ සෙනෙට් සභාවේ නියෝග නොතකමින්, තම හමුදාව සමග රුබිකන් නදිය තරණය කළේ ය.
රුබිකන් නදිය තරණය කළ පසු ආපසු හැරීමේ හැකියාවක් නොවී ය. එය ආපසු නොහැරෙන සීමාව විය.
එහි ප්‍රතිඵලය වූයේ, සිවිල් යුද්ධයක් වන අතර, අවසානයේ ජුලියස් සීසර්ගේ ජයග්‍රහණයෙන් එය නිමා විය. මෙම සිදුවීම "රුබිකන් තරණය" හෝ "ආපසු හැරෙන සීමාව තරණය" යන යෙදුම බිහි කළේ ය.
දේශපාලනයේ හෝ පාලනයේ ඇතැම් මොහොතවල් "රුබිකන් තරණය" හෝ ආපසු නොහැරෙන සීමාව ලෙස හැඳින්විය හැක. එවැනි තීරණ ප්‍රඥාවෙන් යුතුව රටේ දිගුකාලීන අභිලාෂයන් සැලකිල්ලට ගනිමින් මහත් සැලකිල්ලෙන් යුතුව ගනු ලබන තීරණ විය යුතු ය," යනුවෙනි.

ඡායාරූප මූලාශ්‍රය, Facebook
මේ අතර, අමාත්‍ය බිමල් රත්නායක සිය X ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර තිබුණේ මින් මාස 11කට පෙර රුබිකන් තරණය කළේ මේ රටේ ජනතාව බව ය.
"මාස 11 කට පෙර රුබිකන් තරණය කළේ මේ ජාතියේ ජනතාව යි!"
ශ්‍රී ලංකාව සැබෑ ජනරජයක් කිරීමේ ව්‍යාපාරයේ පෙරමුණ ඔවුන් ය!!' අමාත්‍යවරයා සිය X ගිණුමේ සඳහන් කර තිබිණි.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post, 3
'මෙම වෛරය සහ පළිගැනීමේ චක්‍රය අවසන් විය යුතු යි'
මේ අතර, හිටපු අමාත්‍ය අලි සබ්රි ද හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සම්බන්ධයෙන් අදහස් පළ කරමින් සඳහන් කර තිබුණේ, ශ්‍රී ලංකාව ස්ථාවර කිරීමට සහ නැවත ගොඩනැගීමට තීරණාත්මක අවස්ථා තුනකදී ඔහු තීරණාත්මක කාර්යභාරයක් ඉටු කර ඇත යනුවෙනි.
• 1993 දී, ජනාධිපති ආර්. ප්‍රේමදාසගේ ඝාතනයෙන් පසු, ඔහු රජයේ අඛණ්ඩතාව තහවුරු කළ අතර රට අරාජිකත්වයට ගමන් කිරීම වැළැක්වීය.
• වසර 2000 දී, රටේ පළමු ආර්ථික අවපාතයට මුහුණ දුන් විට, ඔහු ආර්ථික වර්ධනය යථා තත්ත්වයට පත් කොට රට ස්ථාවර කළේ ය.
• 2022 දී, අපේ ඉතිහාසයේ බරපතළ ම ආර්ථික අර්බුදයේ උච්චස්ථානයේදී, ඔහු නායකත්වය භාරගෙන ශ්‍රී ලංකාව බිඳවැටීමේ තීරයෙන් ආපසු ගෙන ආවේ ය.

ඡායාරූප මූලාශ්‍රය, Facebook
මෙම පසුබිම තුළ, යූටියුබර් කෙනෙකු අනාවැකි කියූ පරිද්දෙන් ම රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගැනීම බරපතළ ලෙස කනස්සල්ලට කරුණකි.
මෙවැනි ක්‍රියාවන් අපගේ ආයතන සහ අපගේ අනාගතය අවදානමට ලක් කරන පළිගැනීමේ සහ විනාශකාරී දේශපාලනයේ බිහිසුණු ප්‍රවණතාවක් පිළිබිඹු කරයි.
මෙම වෛරය සහ පළිගැනීමේ චක්‍රය අවසන් විය යුතු ය. ශ්‍රී ලංකාවට විවේකී, ස්ථාවර සහ ජාතිය වරින් වර ආරක්ෂා කළ අයට කෘතඥතාව පළ කරන දේශපාලනයක් අවශ්‍ය යි," යනුවෙන් හිටපු අමාත්‍යවරයා මෙහිදී අදහස් පළකර තිබිණි.








![2022 වසරේ ජූලි මස 17 වනදා අරගලකරුවන් පාලනය කිරීම සඳහා එවක වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මහජන ආරක්ෂක පනත යටතේ රටපුරා ප්‍රකාශයට පත් කරනු ලැබූ හදිසි නීති රෙගුලාසි තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය අද [ජූලි 23] තීන්දු කළේ ය.](https://ichef.bbci.co.uk/ace/ws/660/cpsprodpb/1573/live/0087b6c0-6789-11f0-af20-030418be2ca5.jpg.webp)





