'සැකකරුවෙකු අනුමාන කරල හදපු AI ඡායාරූපයක් මගේ මූණට සමානයි කියලා බොරැල්ල පොලිසියේදී මට හොඳට ම පහර දුන්නා'

පොලිසිය නිකුත් කළ AI ඡායාරූපය සහ ප්‍රහාරයට ලක්වූ ළහිරු මදුශංක

ඡායාරූප මූලාශ්‍රය, Facebook

අවවාදය යි: මෙම ලිපියේ ඇතැම් පාඨකයින් කම්පනයට පත් කරවනසුලු තොරතුරු අන්තර්ගත වේ.

සැකකරුවෙකු අනුමාන කරමින් සැකසූ AI ඡායාරූපයක් පදනම් කරගෙන 'නිදොස්' බව කියන තරුණයෙකු අත්අඩංගුවට ගෙන පහර දීමේ සිද්ධියක් බොරැල්ල පොලිසියෙන් වාර්තා වෙයි.

ළහිරු මදුශංක නමැති එම තරුණයා බීබීසී සිංහල සේවයට පැවසුවේ, "ෆොටෝ එක පෙන්නලා මේ උඹ තමයි" යනුවෙන් පවසමින් පහර දුන් බව ය.

දැරණියගල ප්‍රදේශයේ අවන්හලක හිමිකරුවෙකු වන ළහිරු මදුශංක ජනවාරි 01 වන දා රාත්‍රියේ කොළඹට පැමිණ ඇත්තේ, අවන්හලට අවශ්‍ය උපකරණ කිහිපයක් මිල දී ගැනීමට ය.

එසේ පැමිණ සිට ඔහු බොරැල්ල ප්‍රදේශයේ සිය බිරිඳට අයත් නිවසේ රැඳී සිටියදී ජනවාරි 02 වන දා පැමිණි බොරැල්ල පොලිසියේ නිලධාරින් කිහිප දෙනෙකු ඔහු අත්අඩංගුවට ගෙන පොලිස් ස්ථානය වෙත ගෙන ගිය බව ළහිරු පවසයි.

පොලිසියේදී සිද්ධ වූ දේ

ඉන්පසුව ඔහු එහි රඳවා ගනිමින් පහර දී ප්‍රශ්න කර ඇති අතර, ළහිරු මදුශංකව පොලිස් ඇප මත ජනවාරි 03 වන දා මුදා හැර ඇති අතර තමන් මුහුණ දුන් අත්දැකීම ඔහු බීබීසී සිංහල සේවයට විස්තර කළේ මෙසේ ය.

"දෙවෙනි දා උදේ දඩ බඩ ගාලා සද්දයක් ආවා ගේ වටේ. මම දොර ඇරලා බැලුවා, මොක ද කුඩ්ඩෝ එනවා, කලිනුත් අපේ ගේ කඩලා තියෙනවා. මම දොර අරිනකොට වෙපන් එක්ක හතර දෙනෙක්. සිවිල් හිටපු හින්දා මම එකපාරට බය වුණා, ඊට පස්සේ මට තේරුණා මේ පොලිසියෙන් කියලා."

එසේ පැමිණි පොලිස් නිලධාරීන් ඔහුගෙන් සහ එම නිවසේ සිටි ඔහුගේ සහෝදරයෙකුගෙන් ප්‍රශ්න කර පිටව ගොස් නැවත පැයකින් පමණ පැමිණි එම නිලධාරීන් යළිත් වරක් ඔවුන්ව ප්‍රශ්න කළ බව ළහිරු මදුශංක පැවසීය.

එලෙස දෙවරක් ම පැමිණි බොරැල්ල පොලිසියේ එම නිලධාරීන් ඔහුගේ ජංගම දුරකතනය ද පරීක්ෂාවට ලක් කර තිබේ.

"ආවේ එස්.අයි. දේවින්ද කියලා සර් කෙනෙක් විවිධ පැමිණිලි අංශයේ. මට ගැහුවේ මුකුත් නෑ සුහදව කතා කළා, ප්‍රශ්න කරලා ගියා. ගිහිල්ලා පැයකට විතර පස්සේ ආයේ ආවා ඒගොල්ලෝ. ආයේ අයියගෙන් ප්‍රශ්න කළා, මගෙන් ආයේ ප්‍රශ්න කළා, අර ටික ම ආයේ රිපීට් ඇහුවා. ආයේ ෆෝන් එක ඉල්ල ගත්තා, ආයේ බැලුවා."

පොලිස් නිලධාරීන් නිවසින් පිටව යාමට සූදානම් වන විට එක් නිලධාරියෙකු තමන්ව රැගෙන යමු යැයි එස්.අයි. දේවින්ද නමැති නිලධාරියාට යෝජනා කර ඇති අතර ඔහු එසේ අවශ්‍ය නොවන බව පැවසූ බව ළහිරු කියා සිටියේ ය.

"මිනීමැරුමක් සම්බන්ධව මගෙන් ප්‍රශ්න කරලා දැන් අරන් යං කියනවා, මෙයා ඕනේ නෑ කියනවා, දැන් ගිහිල්ලා එක පාරක් ආවා. මම කිව්වා මොකක් හරි උදව්වක් තියෙනවා නම් මම කරන්නම්, කටඋත්තරයක් හරි දෙන්න මම එන්නම් මට එහෙම අවුලක් නෑ කියලා."

ඉන්පසුව ත්‍රිරෝද රථයකින් ඔහු බොරැල්ල පොලිසිය වෙත රැගෙන ගොස් ඇති අතර, එම පොලිස් ස්ථානයේ අපරාධ ඒකකයට තමන්ව භාර දුන් බව ඔහු කියා සිටියේ ය.

'සිවිල් ඇඳගත්ත, රැවුල් වවා ගත්ත, නන්නාඳුනන පුද්ගලයෝ'

කණ්ඩායමක් විසින් පහර දෙමින් ප්‍රශ්න කිරීම සිදුව ඇත්තේ, අපරාධ විමර්ශන ඒකකයේදී වන අතර එසේ ප්‍රශ්න කරනු ලැබුවේ, වෙනත් සිවිල් ඇඳුමින් සිටි පිරිසක් බව ළහිරු මදුශංක බීබීසී සිංහල සේවයට ප්‍රකාශ කළේ ය.

"ක්‍රයිම් එක ගාවින් මාව බස්සලා, ක්‍රයිම් එක ඇතුළට ගෙනිච්චා. ක්‍රයිම් එකේ කට්ටියට මොනවා හරි කියලා මිස්ටර් දේවින්ද කියන කෙනා ගියා. එතනින් පස්සේ ආවේ වෙන වෙන පුද්ගලයෝ. සිවිල් ඇඳගත්ත, රැවුල් වවා ගත්ත, නන්නාඳුනන පුද්ගලයෝ ටිකක් ආවා. මේගොල්ලෝ කවුද කියලාවත් අඳුර ගන්න බැරි කට්ටියක්."

'තුවාල උඩ නැගලා බූට්වලින් පෑගුවා, තුවාලේ ලේ එනකල් ම පෑගුවා'

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

ඉන්පසුව එම පිරිස ඡායාරූපයක් පෙන්වමින් ප්‍රශ්න කර ඇති අතර ඒ සමග ම පහර දීම ආරම්භ කළ බව පැවසූ ළහිරු මදුශංක, ඔහුට පොලිසිය තුළදී කළ වධ හිංසා ගැන විස්තර කළේ ය.

"එක එක්කෙනා ඇවිල්ලා ෆොටෝ එකක් පෙන්න පෙන්න මගෙන් ප්‍රශ්න කරන්න ගත්තා ඔන්න එතකොට එකා දෙන්නා ඇවිල්ලා මට ගහන්න ගත්තා, කොණ්ඩෙන් අදින්න ගත්තා, කොණ්ඩ ගැලෙව්වා, රැවුල ගැලෙව්වා, මගේ තුවාලවලින් දණ ගැස්සුවා, මගේ තුවාල උඩ නැගලා බූට්වලින් පෑගුවා, තුවාලේ ලේ එනකල් ම පෑගුවා, එහෙම කර කර ප්‍රශ්න කළා. පිළිගනින්, උඹ කොහෙ ද ගියේ, උඹ ඇයි කොහුවල ගියේ, උඹ අර කෙල්ලට වෙඩි තියලා තියෙනවා, කෙල්ල උඹව අඳුරගෙන තියෙනවා අපි දන්නවා, උඹට මේක අත අරින්න බෑ, උඹට මග අරින්න බෑ කිය කිය මාව බය කරලා මගෙන් ඒගොල්ලෝ වරදට මාව, මං කරා කියන තැනට වචනේ ගන්න තමයි ඒගොල්ලෝ හැදුවේ. මම කිව්වා මම දන්නේ නැති නම් මම දන්නේ නෑ. මට රිද්දන්න එපා, ගහන්න එපා මට කවදාවත් මෙහෙම වෙලා නැහැ. මම ආවේ සහයෝගය දෙන්න, සහයෝගය දෙන්න ආපු මට ඇයි ඕගොල්ලෝ මෙහෙම කරන්නේ කියලා ඇහුවා. උඹ සහයෝගය දෙන්න ද ආවේ කියලා ආයේ ගැහුවා. අහන අහන එකට ගැහුවා. අපරාධකාරයෝ හරි කාගෙ හරි නම් ලිස්ට් එකක් තියෙනවා ඒ අය ගාව, ඒකේ සමහර නම් මගේ ෆෝන් එකේ තියෙනවා කියලා, මගේ යාළුවන්ගේ නම්, ඒවාටත් ගැහුවා."

"කොහුවල කෙල්ලෙකුට උඹ වෙඩි තියලා තියෙනවා, ඒ කෙල්ල උඹව දැකලා තියෙනවා උඹ ගැන විස්තර අපිට එවලා තියෙනවා කියලා තමයි අර ෆොටෝ එක පෙන්නුවේ මට," ඔහු සඳහන් කළේය.

'පොලිසියට ගෙනිච්චට පස්සේ මාංචු දාන්න හැදුවා, මාව එල්ලන්න හැදුවා'

තමන්ව ප්‍රශ්න කිරීමට පැමිණි සියලු පිරිස් තම හැඳුනුම්පතේ මෙන් ම රියැදුරු බලපත්‍රයේ ඡායාරූප ද ලබා ගත් බව ළහිරු මදුශංක පැවසීය.

"පොලිසියට ගෙනිච්චට පස්සේ මාංචු දාන්න හැදුවා, මාව එල්ලන්න හැදුවා, ලොකු යකඩ බාර් එකක් අරන් මේක අල්ල ගනින් කියලා එල්ලන්න හැදුවා, මිරිස් කුඩු ගහනවා කිව්වා, ගොඩක් දේවල් කරන්න හැදුවා හැබැයි ඒගොල්ලෝ මට ගහලා ඒක නැවැත්තුවා. මම NGO එකේ වැඩකරන කතාව කිව්වා ඒ අයගෙන් අහලා බලන්න කිව්වා. ඊට පස්සේ මට ගහන එක පොඩ්ඩක් ඒගොල්ලෝ සීමා කළා. ඒත් එහෙන් මෙහෙන් ගැහුවා."

පහර දී ප්‍රශ්න කිරීමෙන් අනතුරුව තමන්ව සිර මැදිරිය තුළ රඳවා තිබූ බව කී ළහිරු මදුශංක පැවසුවේ, තමන්ව බැලීමට පැමිණි අයට ඒ සඳහා අවසර ලැබී නැති බව ය.

"රෑ ඇවිල්ලා තියෙනවා, අයියා ඇවිල්ලා තියෙනවා ගොඩක් කට්ටිය ඇවිල්ලා තියෙනවා කාටවත් මාව බලන්න දීලා නැහැ. වයිෆ්ගේ සහෝදරයෙක් ඉන්නවා රුවන් කියලා, එයාගේ යාළුවෙක් OIC ට කතා කරලා තිබුණා. එයා මාව එක පාරක් බලන්න ආවා. එයාට විතරක් බලන්න දුන්නා ඊට පස්සේ සඳුදාත් එයාට බලන්න දුන්නා. වෙන කාටවත් දුන්නේ නැහැ. අන්තිම දවසේ ඇප දෙන්න ඔන්න මෙන්න තියලා අයියාට බලන්න දුන්නා. එතකම් කාටවත් එන්න දීලා නැහැ. ඒගොල්ලෝ කෑම දීලා තියෙනවා මට දෙන්න කියලා මට ඒ කෑම මුකුත් හම්බ වුණෙත් නැහැ."

'අපේ කට්ටිය නෙමෙයි උන් වෙන කොහෙන් හරි ආපු අය'

ජනවාරි 03 වන දා දක්වා අත්අඩංගුවේ පසුවූ තමන්ව එදින සවස පොලිස් ඇප මත නිදහස් කළ බව ද ඔහු කියා සිටියේ ය.

"මට ඇප දුන්නාට පස්සේ මගෙන් කටඋත්තර ගත්ත කෙනාගෙන් ඇහුවා කවුද මට ගහපු උන් කියලා. ඊට පස්සේ උඹට ගැහුවා ද ඇහුවා, එහෙම ගහන්න බෑනේ කියලා එයා කියනවා ඊට පස්සේ. මම කිව්වා ඉතින් ගැහුවා නේ, ගහපු එවුන් කවුද කියලා. අපේ කට්ටිය නෙමෙයි උන් වෙන කොහෙන් හරි ආපු එවුන්, බුද්ධි අංශයේ හරි කොහෙ හරි කට්ටියක් කියලා එයා එහෙම කිව්වා. ඊට පස්සේ ඇප දීලා එළියට ආවට පස්සේ මම ක්‍රයිම් එකේ OIC හම්බ වෙන්න ගිහිල්ලා සර් මට ගැහුවේ කවුද, ඇයි ගැහුවේ කියලා. මට ෆොටෝ එකක් පෙන්නුවා AI හදපු ෆොටෝ එකක් පෙන්නුවා. මේ උඹ වගේ නේ පොඩ්ඩක් බලහන්කෝ කියලා කිව්වා."

"මුකුත් මට වැරැද්දක් ඒගොල්ලෝ දැම්මේ නැහැ සැකපිට කියලා තියාගෙන හිටියා කිව්වා, දැන් අවුලක් නෑ කියලා මට පොලිස් ඇපයක් දෙන්න පුළුවන් කියලා මගේ අයියාගෙන් අහලා පොලිස් ඇපයක් අරගෙන මාව එළියට දැම්මා. මගෙන් අත්සනක් ගත්තා මට අසනීප නෑ දැන් මුකුත් නැහැ කියලා. ඊට පස්සේ මම ඉල්ලුවා මට විරුද්ධව දාපු චෝදනාවක් හරි මොකක් හරි ලියපු එකේ කොපියක් මට දෙන්න කියලා. එතකොට මට ක්‍රයිම් එකේ එක්කෙනා බැනලා පන්න ගත්තා, උඹට ඇප දුන්නා නේ පලයන් තවත් ලගින්නේ නැතුව අරහෙ මෙහේ කියලා," ළහිරු පැවසීය.

පහර දෙන අවස්ථාවේදී AI ඡායාරූපය පෙන්වමින් "මේ උඹ තමයි කියලා, ඒගොල්ලෝ කියනවා උඹ ම තමයි කියලා ගැහුවේ" යැයි ඔහු කියා සිටි අතර, එම සිදුවීමෙන් පසුව පොලිසිය වෙඩි තැබීමේ සිදුවීමට අදාළව ප්‍රසිද්ධ කර ඇති සැකකරුගේ චිත්‍රය දුටු බවත් තමන්ට පහර දෙනු ලැබුවේ ඒ හා සමාන AI යොදා සකස් කරන ලද ඡායාරූපයක් පෙන්වමින් බවත් ඔහු පැවසීය.

'හපන්න අමාරුයි හකු රිදෙනවා, ඇස් දෙකට උඩින් ඔළුව රිදෙනවා'

පොලිස් වධ හිංසාවලට ලක් වීමෙන් පසුව මේ වන විට ඇතිව තිබෙන ශාරීරික අපහසුතා පිළිබඳව පහර කෑමට ලක්වූ ළහිරු මදුශංක විස්තර කළේ මෙසේ ය.

"දැනට මට හපන්න බෑ මුකුත්, ඒ කියන්නේ හයියෙන් හපන්න බෑ. බෙරි බත් එකක් වගේ විතරයි හපන්න පුළුවන්, රයිස් එකක් වගේ හපන්න අමාරුයි හකු රිදෙනවා, ඇස් දෙකට උඩින් ඔළුව රිදෙනවා දෙපැත්තෙන් ම."

මෙම සිදුවීම සම්බන්ධව ඉදිරියේදී අදාළ අංශ වෙත පැමිණිලි කිරීමට කටයුතු කරමින් සිටින බව ළහිරු මදුශංක බීබීසී සිංහල සේවය වෙත තවදුරටත් කියා සිටියේ ය.

පොලිසියේ ප්‍රතිචාරය කුමක් ද?

අදාළ සිදුවීම සම්බන්ධව බීබීසී සිංහල කළ විමසීමකදී එහි ප්‍රකාශයෙකු කියා සිටියේ, වෙඩි තැබීමක් සම්බන්ධ සැකකරුවෙකු පිළිබඳව ප්‍රසිද්ධියට පත් කරන ලද ඡායාරූපයට සමාන රුවක් සහිතව අදාළව සැකපිට තරුණයා අත්අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමෙන් අනතුරුව ඔහු සම්බන්ධව කිසිවක් අනාවරණය නොවීම නිසා පොලිස් ඇප මත නිදහස් කළ බව ය.

"සැක පිට තමයි අත්අඩංගුවට අරන් තිබුණේ, කොහුවල වෙඩි තැබීමේ සිද්ධියක් වාර්තා වුණා නේ. ඒකේ සැකකරුවෙකුට සමාන ඡායාරූපයක් අපේ චිත්‍ර ශිල්පියෙක් ඇඳලා තිබුණා. ඒක අපි මීඩියාවලින් රිලීස් කළා මේ වගේ කෙනෙක් කියන එක සම්බන්ධව. බොරැල්ලෙන් ඇරෙස්ට් කරලා තියෙන්නේ ඒ පුද්ගලයාට සමාන රූපයක් හින්දා තමයි. සැක පිට ඇරස්ට් කරලා තියෙන්නේ. අපි ඇඟිලි සලකුණු පරික්ෂා කිරීම් කරනවානේ. එතනදි අනාවරණය වෙලා තියෙනවා මෙයා එහෙම සම්බන්ධතාවයක් ඇති පුද්ගලයෙක් නෙමෙයි කියලා. ඊට පස්සේ පොලිස් ඇප දීලා තියෙනවා."

පොලිසිය පහර දුන් බවට ළහිරු මදුශංක කරන චෝදනා සම්බන්ධව ද විමසීමක් කළ අතර, එවැන්නක් වාර්තා නොවන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසයයේ ප්‍රකාශකයෙක් බීබීසී සිංහල සේවයට කියා සිටියේ ය.