දරුවෙකුට කෲර වධහිංසා පැමිණවූ පොලිස් නිලධාරීන්ට අධිකරණය දුන් තීන්දුව

සොරකමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ 15හැවිරිදි පිරිමි දරුවෙකුට අමානුෂික ලෙස පහරදි කෲර වධහිසා පැමිණවිමේ චෝදනාවලට වරදකරුවු පොලිස් නිලධාරින් සිව්දෙනෙකුට බලපිටිය මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ලියනගේ අද (සැප්තැම්බර් 11) බරපතල වැඩ සහිත සිර දඬුවම් සහ දඩ නියම කළේය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

    • Author, බීබීසී සිංහල

සොරකමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ 15 හැවිරිදි පිරිමි දරුවෙකුට අමානුෂික ලෙස පහර දී කෲර වධහිසා පැමිණ වීමේ චෝදනාවලට වරදකරු වූ පොලිස් නිලධාරීන් සිව්දෙනෙකුට බලපිටිය මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ලියනගේ අද (සැප්තැම්බර් 11) බරපතළ වැඩ සහිත සිර දඬුවම් සහ දඩ නියම කළේ ය.

මීටියාගොඩ පොලිස් වසමේ ඩොමි ජයවර්ධන මාවතේ පදිංචි 15 හැවිරිදි පිරිමි දරුවෙකු සොරකම් කිරීමේ චෝදනාව යටතේ 2008 මාර්තු 07 වන දින අත්අඩංගුවට ගෙන මීටියාගොඩ පොලිස් ස්ථානයේ රඳවාගෙන අමානුෂික ලෙස පහර දී කෲර වධහිංසා පැමිණවීම සම්බන්ධයෙන් එවකට මීටියාගොඩ පොලිසියේ රාජකාරි කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක නිස්සංක, පොලිස් පරීක්ෂක අතුකෝරළ, පොලිස් සැරයන් තුසිත (58438) සහ පොලිස් සහායක ලලින්ද සොයිසා තිරිමාදුර යන සිව් දෙනාට එරෙහිව මානව හිමිකම් කොමිසම විසින් බලපිටිය මහාධිකරණයේ අධිචෝදනා ගොනු කරනු ලැබ තිබිණි.

පැමිණිල්ල විසින් නඩුව සාධාරණ සැකයෙන් තොරව ඔප්පු කර ඇති බවට තීරණය කළ මහාධිකරණ විනිසුරුවරයා විත්තිකරුවන්ට දඩ සහ සිර දඬුවම් නියම කළේ ය.

පොලිස් නිලධාරීන්ට පැමිණවූ දඬුවම්

ඒ අනුව මේ වනවිට විශ්‍රාම ලබා සිටින පළමුවන විත්තිකාර ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාට වසර අටක ලිහිල් වැඩ සහිත සිර දඬුවමක් ද, රුපියල් ලක්ෂයක දඩයක් ද, දඩය නොගෙවන්නේ නම් තවත් මාස හයක ලිහිල් සිර දඬුවමක් ද, පැමිණිලිකරුට රුපියල් ලක්ෂයක වන්දි මුදලක් ද, වන්දිය නොගෙවන්නේ නම් තවත් වසරක දඬුවමක් ද නියමවිය.

මේ වන විට ඇල්පිටිය කොට්ඨාසයේ රාජකාරි කරනු ලබන දෙවන විත්තිකාර පොලිස් පරීක්ෂකවරයාට බරපතළ වැඩ සහිත වසර නවයක සිර දඬුවමක් සහ රුපියල් ලක්ෂයක දඩයක් ද, දඩය නොගෙවන්නේ නම් තවත් වසරක සිර දඬුවමක් ද, රුපියල් ලක්ෂයක වන්දි මුදලක් ද එය නොගෙවන්නේ තවත් වසරක සිර දඬුවමක් ද නියම විය.

දැනට කළුතර කොට්ඨාසයේ රාජකාරි කරනු ලබන තුන්වන විත්තිකාර සැරයන්වරයාට බරපතළ වැඩ සහිත වසර අටක සිර දඩුවමක් ද, රුපියල් ලක්ෂයක දඩයක් ද, දඩ නොගෙවන්නේ නම් තවත් වසරක සිර දඩුවමක් ද, රුපියල් පනස් දහසක වන්දියක් ද, වන්දිය නොගෙවන්නේ නම් තවත් වසරක සිර දඬුවම් ද නියම කර තිබේ.

සිව්වන විත්තිකාර පොලිස් සහායකවරයාට බරපතළ වැඩ සහිත වසර අටක සිර දඬුවමක් ද, රුපියල් ලක්ෂයක දඩයක් ද, දඩය නොගෙවන්නේ නම් තවත් වසරක සිර දඬුවමක් ද, රුපියල් පනස් දහසක වන්දියක් ද, එය නොගෙවන්නේ නම් තවත් වසරක සිර දඬුවමක් ද නියම කෙරිණි.