මොහොමඩ් රුෂ්ඩි: PTA යටතේ රඳවා සිටි තරුණයාට වන්දි ගෙවන්නැයි මානව හිමිකම් කොමිසමෙන් නිර්දේශ

පලස්තීනයට සහාය පළ කරමින් ඊශ්‍රායල් විරෝධී ස්ටිකරයක් ඇලවීම හේතුවෙන් ත්‍රස්තවාදය වැළැක්විමේ පනත (PTA) යොදා මුස්ලිම් තරුණයෙක් අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම හරහා ඔහුගේ මානව හිමිකම් උල්ලංඝණය කර ඇතැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව තීන්දු කර තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

පලස්තීනයට සහාය පළ කරමින් ඊශ්‍රායල් විරෝධී ස්ටිකරයක් ඇලවීම හේතුවෙන් ත්‍රස්තවාදය වැළැක්විමේ පනත (PTA) යටතේ තරුණයෙකු අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම හරහා ඔහුගේ මානව හිමිකම් උල්ලංඝණය කර ඇතැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව තීන්දු කර තිබේ.

මොහොමඩ් ලියාඋදීන් මොහොමඩ් රුෂ්ඩි නැමැති 26 අය හැවිරිදි තරුණයා ත්‍රස්ත නීති යොදා ගනිමින් අත්අඩංගුවට ගැනීම සම්බන්ධව මානව හිමිකම් කොමිෂන් සභාව එම තරුණයාගේ මව විසින් කරන ලද පැමිණිල්ලකට අනුව විමර්ශනයක් සිදු කළ බව එම කොමිසම සඳහන් කළේය.

එම විමර්ශනයේ නිර්දේශ ප්‍රකාශයට පත් කරන මානව හිමිකම් කොමිසම, ත්‍රස්ත මර්දන හා විමර්ශන ඒකකයේ ප්‍රධානියා සහ එම ඒකකය අදාළ තරුණයාගේ මානව හිමිකම් කඩ කර ඇතැයි තීන්දු කරමින් සිය නිර්දේශ ප්‍රකාශයට පත් කර ඇත.

"කොමිසම විසින් නැවතත් අවධාරණය කරන්නේ, සිය පරිපාලනමය ක්‍රියාමාර්ග හරහා වගඋත්තරකරුවන් විසින් වින්දිතයාගේ මූලික අයිතිවාසිකම් වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14(1)(a), 10, 13(1), 13(2), 13(5), 14(1)(h), 14(1)(g), 12(1) සහ 12(2) යන වගන්ති හරහා පිළිවෙළින් සහතික කර ඇති අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස, සිතීමේ නිදහස, හෘද සාක්ෂිය සහ ආගම සඳහා වන නිදහස, අත්තනෝමතික ලෙස සිරභාරයට ගැනීමෙන් සහ රඳවා තබා ගැනීමෙන් නිදහස, නිර්දෝෂී යැයි පුර්වානුමාන කිරීමේ අයිතිය, ගමනාගමන නිදහස, නීත්‍යානුකූල රැකියාවක නිරත වීමේ නිදහස, සහ සමානාත්මතාවය ලැබීමේ සහ වෙනස්කමකට භාජනය නොවීමේ අයිතිවාසිකම් උල්ලංඝණය කර ඇති බවයි."

"මෙම නඩුව සම්බන්ධ කරුණු සහ තත්ත්වය සලකා බැලීමෙන් අනතුරුව කොමිසම දරන මතය වන්නේ, වින්දිතයාගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් වගඋත්තරකරුවන් සහ ආයතනයක් ලෙස ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය සාමූහික වගකීමක් දරන බවයි. කොමිසමේ මතය අනුව, එම උල්ලංඝණය කිරීම් එක් එක් නිලධාරියාගේ ක්‍රියාකලාපය හේතුවෙන් සිදුවූවක් ලෙස සැලකිය නොහැකි අතර, ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයේ ආයතනික හා ප්‍රතිපත්තිමය අඩුපාඩු සහ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සම්බන්ධ වැරදි අර්ථකථන තුළින් සෘජුවම පැන නගී."

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පිටු 30ක දිර්ඝ වාර්තාවක් ඉදිරිපත් කරමින් CTID අධ්‍යක්ෂ වෙත, පොලිස්පතිවරයා වෙත සහ මහජන ආරක්ෂක අමාත්‍යංශය ලේකම්වරයා වෙත වෙන වෙනම නිර්දේශ ඉදිරිපත් කර තිබේ.

ත්‍රස්ත මර්දන පොලිසියේ ප්‍රධානියට ඉදිරිපත් කළ නිර්දේශ

මානව හිමිකම් කොමිසම ත්‍රස්ත මර්දන හා විමර්ශන ඒකකයේ ප්‍රධානියා වෙත නිර්දේශ 9ක් ඉදිරිපත් කර ඇත.

1. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ 11(1) වගන්තිය හරහා අවසර නොදෙන බැවින්, 2025 අප්‍රේල් මස 7 දිනැතිව වින්දිතයාට එරෙහිව නිකුත් කළ සීමා කිරීමේ නියෝගය අත්හිටුවීමට ආරක්ෂක අමාත්‍යවරයාට නිර්දේශ කිරීමට වහාම පියවර ගැනීම.

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

2. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ 2(1)(h) වගන්තිය යටතේ වන වරදක් හෝ ඒ හා සමාන අදහස් ප්‍රකාශ කිරීම සම්බන්ධ වරදක් සම්බන්ධයෙන් ඕනෑම සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පෙර ශ්‍රී ලංකා පොලිසියේ (නීති) අධ්‍යක්ෂවරයාගේ සහ නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් ලබා ගැනීම සඳහා ක්‍රියා පටිපාටියක් ඇති කිරීම.

3. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13(2) වගන්තියට අනුකූලව අත්අඩංගුවට ගැනීමෙන් පැය 72ක් ඇතුළත සැකකරුවන් මහේස්ත්‍රාත්වරයෙකු ඉදිරියට ඉදිරිපත් කිරීම සඳහා සම්මත ක්‍රියා පටිපාටියක් ඇති කිරීම.

4. මෙම සිද්ධිය සම්බන්ධයෙන් කොමිසමේ සොයාගැනීම් සහ නිර්දේශවල පිටපතක් ඒවා කියවා තේරුම් ගැනීමට උපදෙස් සහිතව ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශයේ සියලුම නිලධාරීන්ට ලබා දෙන්න.

5. අත්අඩංගුවට ගන්නා දිනයේදීම සැකකරුවෙකුගේ ළඟම ඥාතීයෙකුට අත්අඩංගුවට ගැනීමේ රිසිට්පතක් නිකුත් කිරීම සඳහා ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශයේ සියලුම නිලධාරීන්ට ලිඛිත, පැහැදිලි උපදෙස් නිකුත් කිරීම.

6. පොලිස් ස්ථානයක් වැනි නිල ස්ථානයකදී හැර වෙනත් ස්ථානයකදී සැකකරුවෙකුගේ ළඟම ඥාතීන් හමුවීමෙන් හෝ ඔවුන්ව සම්බන්ධ කර ගැනීමෙන් වළකින ලෙස ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශයේ සියලුම නිලධාරීන්ට ලිඛිත, පැහැදිලි උපදෙස් නිකුත් කිරීම.

7. 2022 පෙබරවාරි මස 14 දිනැතිව පොලිස්පතිවරයා විසින් නිකුත් කළ RTM CRTM-231 චක්‍රලේඛය සහ තොරතුරු භාවිතා කිරීම සහ පුවත්පත්වලට හා ගුවන් විදුලියට තොරතුරු සැපයීම පිළිබඳ ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තු අංක D5 දරන නියෝගය ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් අතර නැවතත් බෙදා හරින්න, සහ සැකකරුවෙකු හෝ විමර්ශන පිළිබඳ අගතිගාමී තොරතුරු මාධ්‍ය වෙත සැපයීමෙන් වළකින ලෙස සියලුම නිලධාරීන්ට නියම කිරීම.

8. 'වාර්ගික අනන්‍යතා' නියම කිරීමෙන් වැළකී සිටින ලෙස සහ සැකකරුවෙකුගේ වාර්ගික හෝ ආගමික පසුබිම අනවශ්‍ය ලෙස සැලකීමට ගැනීමකින් තොරව සාධක මත පමණක් පරීක්ෂණ පැවැත්වීමට ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශයේ සියලුම නිලධාරීන්ට ලිඛිත, පැහැදිලි උපදෙස් නිකුත් කිරීම.

9. සැකකරුවෙකුගේ 'මානසික තත්ත්වය' හෝ වෙනත් මනෝවිද්‍යාත්මක සාධක විමර්ශනයකට අදාළ වන අවස්ථාවන් හිදී, විමර්ශනය දිගටම පවත්වා ගෙන යාමට පෙර අපරාධ මනෝවිද්‍යාව, මනෝචිකිත්සාව, හෝ ඊට සමාන ක්ෂේත්‍රයක පුහුණුව ලත් ස්වාධීන වෘත්තිකයෙකුගෙන් වාර්තාවක් ලබා ගත යුතු බවට ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශයේ සියලුම නිලධාරීන්ට ලිඛිත, පැහැදිලි උපදෙස් නිකුත් කරන්න. කිසියම් මානසික සෞඛ්‍ය සම්බන්ධ ගැටලුවක් හඳුනාගතහොත්, අධිකරණ වෛද්‍ය නිලධාරියෙකු විසින් සැකකරුව වහාම පරීක්ෂා කළ යුතු අතර, අධිකරණ වෛද්‍ය නිලධාරියා නිර්දේශ කරන්නේ නම්, අවශ්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා සැකකරුව සුදුසු ආයතනයක රැකවරණය යටතේ තැබීම.

'මාර්ගෝපදේශ සකස් කරන්න' - පොලිස්පතිවරයාට නිර්දේශ

ත්‍රස්වාදය පිළිබඳව පරීක්ෂණ පැවැත්වීමට මාර්ගෝපදේශ සකස් කිරීමට සහ ඒවා පිළිබඳව CTID වෙත අවශ්‍ය පුහුණුව ලබා දෙන ලෙස පොලිස්පතිවරයා වෙත කොමිසම නිර්දේශ කර ඇත.

1. නීතිපතිවරයා සමඟ සාකච්ඡා කර, ත්‍රස්තවාදය පිළිබඳ වැරදි සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන විට 'සාධාරණ සැකයේ' ප්‍රමිතිය සම්බන්ධයෙන් පැහැදිලි මාර්ගෝපදේශ ඇති කිරීම සහ එම මාර්ගෝපදේශ 2019 ජූලි මස 2 දින එවකට පොලිස්පතිවරයාට නිකුත් කරන ලද කොමිසමේ මාර්ගෝපදේශවලට සම්පූර්ණයෙන්ම අනුකූල විය යුතුය. එම මාර්ගෝපදේශ පිළිබඳව ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය වෙත අවශ්‍ය පුහුණුව ලබාදීමට වහාම පියවර ගැනීම.

2. ඉහත සඳහන් කර ඇති නිර්දේශ සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීම සඳහා පළමු වන වගඋත්තරකරුට අවශ්‍ය උපදෙස් ලබා දීම.

'රුපියල් දෙලක්ෂයක් වන්දි ගෙවන්න'

වින්දිත මොහොමඩ් රුෂ්ඩි හට රුපියල් ලක්ෂ දෙකක මුදලක් ජූලි 15 දින හෝ ඊට පෙර ගෙවන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම නිර්දේශ කර ඇත්තේ මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම් වෙත ය.

"නීත්‍යානුකූල රැකියාවක නිරත වීමට ඇති නිදහස සම්බන්ධයෙන් වින්දිතයාට ඇති වූ අගතියට සහ මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසියේ සාමූහික වගකීම සම්බන්ධයෙන් පිළියම් යෙදීම සඳහා, මහජන ආරක්ෂක අමාත්‍යාංශය විසින් වින්දිතයාට රුපියල් දෙලක්ෂයක (රු. 200,000/-) මුදලක් ගෙවිය යුතු බව නිර්දේශ කෙරේ." එහි සඳහන් ය.

"කොමිසම් පනතේ 15(7) වගන්තියට අනුව, 2025 ජූලි මස 15 වන දින හෝ ඊට පෙර මෙම නිර්දේශ ක්‍රියාත්මක කරන ලෙසත්, මෙම නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය පිළිබඳව කොමිසමට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසත්, පළමු වගඋත්තරකරු වන පොලිස්පතිවරයාට සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාට නියෝග කරනු ලැබේ.

මෙම සොයාගැනීම් සහ නිර්දේශවල පිටපතක් සහ 2025 අප්‍රේල් මස 7 වන දින නිකුත් කරන ලද සීමා කිරීමේ නියෝගය අත්හිටුවීම ඇතුළුව සුදුසු ක්‍රියාමාර්ග ගැනීම සඳහා ආරක්ෂක අමාත්‍යවරයා, මහජන ආරක්ෂක අමාත්‍යවරයා, නීතිපතිවරයා, සහ පොලිස්පතිවරයා වෙත යොමු කරනු ලැබේ."

මොහොමඩ් රුෂ්ඩි අත්අඩංගුවට ගත්තේ ඇයි?

ඊශ්‍රායලයේ නම සඳහන් ස්ටිකරයක් ඇලවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශනවලදී මොහොමඩ් රුෂ්ඩි පිළිබඳව අනාවරණය වූ වෙනත් කරුණු මත මාර්තු 22 වන දා ඔහු අත්අඩංගුවට ගත් බව මීට පෙර පොලිසිය විසින් නිකුත් කළ නිල නිවේදනයක සඳහන් විය.

ත්‍රස්තවාදය වැළැක්විමේ පනත (PTA) යොදා ගනිමින් අත්අඩංගුවට ගෙන රඳවා තබා ගෙන සිටි මොහොමඩ් රුෂ්ඩි අප්‍රේල් 07 වැනිදා අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව කොන්දේසි සහිත ඇප මත මුදා හරිනු ලැබීය.