උද්ඝෝෂණ විසුරුවා හැරීමේ දී පොලිසිය අතින් කාන්තාවන්ට හිංසන සිදුවනවා ද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, අමන්දිකා කුරේ
- Role, බීබීසී සිංහල
පසුගිය දිනක අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් කොළඹ දී සංවිධානය කරනු ලැබූ විරෝධතාවයක්, මැතිවරණ නීති අනුව නීතිවිරෝධී බව පවසමින් විසුරුවා හැරීමට පොලිසිය විසින් කටයුතු කරන ලදි.
එලෙස උද්ඝෝෂණය විසුරුවා හැරීමේ දී උසස් පොලිස් නිලධාරියෙකු විසින් ශිෂ්‍යාවන් පිරිසක් පසුපස යමින් ශිෂ්‍යාවක් අත්අඩංගුවට ගන්නා ලෙස සිය පහළ නිලධාරීන්ට අණ කළ සිදුවීමක් ද දැකගත හැකි විය.
'ලොකු අපහසුතාවයට පත් වුණා'
උද්ඝෝෂණ විසුරුවා හැරීමේ දී යම් අවස්ථාවල තමන් හිංසනයන්ට ලක් වූ බව බීබීසී සිංහල සමඟ සිය අත්දැකීම් බෙදා ගත් කාන්තාවෝ පැවසූහ.
විශ්වවිද්‍යාල කථිකාචාර්යවරියක් වන සංජුලා (ඇගේ සැබෑ නම නොවේ), තමා විශ්වවිද්‍යාල ශිෂ්‍යාවකව සිටි සමයේ සිදු වූ එවන් සිදුවීමක් විස්තර කළා ය. "මේ සිදුවීම වුණේ මම අවසන් වසර ශිෂ්‍යාවක් විදිහට විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබමින් හිටපු කාලයේ දීයි," ඇය පැවසුවා ය.
ලංකා ගුරු සංගමය, අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය ඇතුළු වෘත්තිය සමිති කිහිපයක එකතුවෙන් 2021 වසරේ දී පැවැත්වූ උද්ඝෝෂණයක දී තමාට පොලිස් නිලධාරියෙකුගෙන් හිංසනයක් සිදු වූ බව සංජුලා පවසයි.
එම උද්ඝෝෂණයේ දී ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාර්ලින් ඇතුළු උද්ඝෝෂකයන් කිහිප දෙනෙකු පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය වෙත ගෙන යාම එකල සමාජයේ දැඩි කතාබහට ලක් වූ සිදුවීමක් විය.
"එදා මම මගේ විශ්වවිද්‍යාලයේ යාලුවො කීප දෙනෙක් එක්ක උද්ඝෝෂණයට සම්බන්ධ වෙලා හිටියේ. පොලිසිය එතනට ඇවිත් උද්ඝෝෂණය විසුරුවා හරිමින් ඉන්නකොට මට යාලුවෝ ටික මඟ හැරුණා," ඇය පවසයි.
"ඊට පස්සෙ මම එක තැනක නැවතිලා බලාගෙන ඉන්නකොට උසස් පොලිස් නිලධාරියෙක් කියලා හිතන්න පුළුවන් බැජ් ගොඩක් ගහපු සහ ශර්ට් එක යට කළේ නැති එක්කෙනෙක් මගේ පිටිපස්සෙන් ඇවිල්ලා 'හා හා මෙතන මොකද යන්න යන්න කියලා' මගේ පිටිපස්සෙන් තද කරලා ඇල්ලුවා," ඇය සිය අත්දැකීම විස්තර කළා ය.
එමෙන් ම එම අවස්ථාවේ එය දුටු පුද්ගලයෙකු ඊට එරෙහි වූ බව ද සඳහන් කළාය.
"ඒ සිද්ධිය දැකපු එතන හිටපු මාමා කෙනෙක් ඒ පොලිස් නිලධාරියට බැන්නා මොනවද ඔය කරන වැඩ කියලා. ඊට පස්සේ ඒ නිලධාරියා ඒ මාමාටත් හොඳට ම බැන්නා." ඇයට එම සිදුවීම එම කාලය තුළ බලපෑම් සහගත සිදුවීමක් වූ බව ඇය සිහිපත් කළා ය.
කාන්තාවක් වීම නිසා සිදුවන වාචික බලපෑම්
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
කෝෂිලා හංසමාලි සහ මාධවී සෙනරත් යන දෙදෙනා ම විශ්වවිද්‍යාල සිසුවියන් ව සිටි සමයේ සිසු ක්‍රියාකාරිනියන් ලෙස දේශපාලනයේ නිරතව සිටි දෙදෙනෙකි.
කෝෂිලා අවස්ථාවන් කිහිපයක දී ම අත්අඩංගුවට ද පත් ව තිබේ.
කෝෂිලා පෙන්වා දුන්නේ බොහෝ අවස්ථාවල ශාරීරික හිංසනවලට වඩා වාචිකව කාන්තාවක් වීම සම්බන්ධයෙන් මතු කරමින් බලපෑම් සිදු කළ අවස්ථා ප්‍රමාණය ඉහළ බවයි.
කෙසේ නමුත් එක් අවස්ථාවක දී අත් අඩංගුවට ගැනීමක දී සිය ඇඳුම් පවා ඉරී ගිය බව ඇය සිහිපත් කළා ය. "එක අවස්ථාවක මාව අත්අඩංගුවට ගන්න ඇදගෙන යද්දි මගේ ඇඳුම් ඉරුණා. නමුත් ඒ අවස්ථාවේ හිටියේ කාන්තා නිලධාරිනියන්."
"ගොඩක් වෙලාවට මට තියෙන අත්දැකීම තමයි එයාලා අහනවා ගෑනු ළමයෙක් නේද? මේවට එන්නේ ඇයි? ගෙදරට වෙලා ඉන්න වගේ ඒවා," ඇය පැවසුවා ය.
මෙම වසරේ ජනවාරි මාසයේ පැවති උද්ඝෝෂණයක් අතරතුර දී තමාට සිදු වූ සිදුවීමක් මාධවී විස්තර කළේ මෙලෙසින් ය.
"මේ අවුරුද්දේ ජනවාරි මාසයේ දී මම සම්බන්ධ වෙලා හිටපු උද්ඝෝෂණයක් ගහලා විසුරුවා හරින්න පොලිසිය කටයුතු කළා. ඒ වෙලාවේ දී පොලිසිය ආව අයට ගහලා එහෙම තමයි විසිරුවේ. ටිකක් ලොකු නිලයක කියලා හිතෙන පොලිසියේ කෙනෙක් මගේ බෙල්ලෙන් හයියෙන් අල්ලා තල්ලු කළා," ඇය පැවසුවා ය.
'එදා මම බේරුණේ නැති නම් මම ඉවරයි'
කාන්තාවක් ලෙස උද්ඝෝෂණවලට සහ විරෝධතා ව්‍යාපාරවලට එක ව සිටි අවස්ථාවල දී තමා ද තාඩන පීඩනවලට ලක් වී ඇතැයි සංක්‍රාන්තික ලිංගික කාන්තාවක් වන චානු නිමේෂා පවසයි.
ඇය 2022 වසරේ දී පැවති ගාලුමුවදොර ආණ්ඩු විරෝධතා උද්ඝෝෂණ මාලාවට එක්ව සිටි තැනැත්තියකි. 2022 ජුලි මස 09 වන දින ජනතාව විසින් කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළු රජයේ ස්ථාන කිහිපයක බලය අත්පත් කරගෙන සිටි අතර, එම පිරිස එතැනින් ඉවත් කිරීමට රජය විසින් පොලිසිය සහ හමුදාව යොදාගෙන ජුලි 22 සිදු කළ මෙහෙයුමේ දී පහර කෑමට ලක් වූ චානු නිමේෂා එයින් තුවාල ලැබුවා ය.
ඇය පැවසුවේ එම තුවාල කැළැල් තවමත් ඇගේ ශරීරයේ පවතින බවයි.
"එදා උන් මට ඉලක්ක කරලමයි ගැහුවේ," චානු බීබීසී සිංහල සමඟ සිය අත්දැකීම විස්තර කළා ය.
" ගාලුමුවදොර පිටියේ මම රැඳිලා හිටපු පොඩි ටෙන්ට් එකේ නිදාගෙන හිටියේ. එතකොට මට ඇහුණා බූට් සපත්තු සද්දය සහ මිනිස්සු කෑගහන සද්දය. මට හිතුනා මොකක් හරි සිද්ධ වෙනවා කියලා ඒ නිසා මම ඉක්මනට ම එළියට බැහැලා බලනකොටත් මම හිටපු හරියේ හමුදා යුනිෆෝම් ඇඳපු අය වටකරලා තිබුණා. මාව අහුවුණේ එතන මඟ හැරලා යන්න යනකොටයි," චානු නිමේෂා පවසයි.
එම අවස්ථාවේ දී එතැන සිටි නිලධාරීන් බීමත්ව සිටි බවත්, තමාට අසභ්‍ය වචනවලින් බනිමින් අමානුෂික ලෙස පහර දුන් බවත් ඇය පැවසුවා ය.
"උන් ඔක්කොම බීලා හිටියේ. මට අහගෙන ඉන්න බැරි වචන කිය කිය කේබල් එකකිනුයි පොලුවලින් ගැහුවා. ඒ අතරෙම මාව ඇදගෙන යන්න ගියේ. මම හිතුව එදා මම බේරුණේ නැතිනම් ඉවරයි කියලා. කොහොමහරි පොර බදලා ගුටි කාගෙන සාමාන්‍ය මිනිස්සු හිටපු පැත්තට පැන ගත්තා. ඇය විස්තර කළා ය.
චානු පැවසුවේ එම අවස්ථාවේ මාර්ග වසා දමා තිබූ නිසා තමාට සිදු වූ තුවාලවලට ප්‍රතිකාරයක්වත් සිදු කරගැනීමට නොහැකි වූ බවයි.
"එදා ගහපු කැළැල් තාමත් මගේ පිටේ තියෙනවා," ඇය සිහිපත් කරයි. "පාරවල් වහගෙන හිටපු නිසා මාව ඉස්පිරිතාලෙකටවත් ගෙනියන්න අවස්ථාවක් තිබුණේ නෑ. ඒ වෙලාවේ මම පුදුම වේදනාවකින් හිටියේ."
'කාන්තා නිලධාරිනියන් සිටිය දී පිරිමි නිලධාරීන් අත්අඩංගුවට ගැනීම ප්‍රශ්නයක්'
ලංකා වෙළද කර්මාන්ත හා පොදු කම්කරු සංගමයේ සභාපති නීතීඥ ස්වස්තිකා ආරුලිංගම් පෙන්වා දෙන්නේ කාන්තාවන් අත්අඩංගුවට ගැනීමේ දී කාන්තා නිලධාරිනියන් අනිවාර්යයයෙන් සිටිය යුතු බවට නීතිමය නියමයක් ශ්‍රී ලංකාවේ පවතින නීතිය තුළ නොමැති වීම අඩුපාඩුවක් බවයි.
"නීතියේ අඩුවක් තියෙනවා කාන්තාවන්ව අත් අඩංගුවට ගන්න ගියා ම කාන්තා නිලධාරිනියක් විසින් ඒක කරන්න ඕනෑ කියන එක නැති එක. කාන්තාවක් පරීක්ෂා කරනවා නම් ඒක අනිවාර්යයෙන් ම කාන්තාවක් විසින් සිදු කරන්න ඕනෑ. නමුත් සමහර වෙලාවට කාන්තා නිලධාරිනියන් හිටියත් පිරිමි අය ඇවිල්ලා කාන්තාවන්ව අත්අඩංගුවට ගන්නේ ඇයි කියන එක ප්‍රශ්නයක්. එක් අවස්ථාවක දී මාවත් ඒ විදිහට අත්අඩංගුවට ගත්තේ පිරිමි නිලධාරීන්," ඇය විස්තර කළා ය.
ඇයට පුද්ගලිකව හිංසන සිදුවීම් සිදුව නොමැති වුවත් ඇතැම් අවස්ථාවල සිදු කාන්තාවන්ට සිදු වූ සිදුවීම් සම්බන්ධයෙන් දැනගන්නට ලැබී ඇතැයි ද ඇය පැවසුවා ය.
"අපට කාන්තා වුණත් පිරිමි වුණත් කතා කරන්න නිදහස තියෙනවා. ඒ වෙලාවට ගහනවා නම් ඒක ලොකු ප්‍රශ්නයක්. ඒව අස්සේ මෙහෙම හිංසන සිදුවෙන එක තවත් ප්‍රශ්නයක්." ඇය කියයි.
'මෑතක දී විශේෂ පැමිණිල්ලක් ලැබුණේ නෑ'
මෑත කාලයේ දී මානව හිමිකම් කොමිසමට මෙවැනි සිදුවීම් සම්බන්ධයෙන් පැමිණිලි ලැබී නොතිබූ බවත් මීට පෙර එවැනි සිදුවීම් වාර්තා වී තිබෙන බවත් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ මාධ්‍ය අධ්‍යක්ෂක නිහාල් චන්ද්‍රසිරි පැවසුවේ ය.
"ආසන්න කාල වකවානුව තුළ උද්ඝෝෂණවල දී එවැනි සිදුවීම් සම්බන්ධයෙන් පැමිණිලි ලැබිලා නෑ. නමුත් වසර කීපයකට පෙර එච්එන්ඩී පාගමනක දී සිසුවියකගේ ඔලුවට පොලිස් නිලධාරියෙක් පහර දුන්න සිද්ධිය සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසම පරීක්ෂණයක් සිදු කළා," ඔහු පැවසුවේ ය.
උද්ඝෝෂණවල දී හැර වෙනත් අවස්ථාවල දී ද එවැනි සිදුවීම් සිදුවූ බවට ඇතැම් කාන්තාවන් මානව හිමිකම් කොමිසමට පවසා ඇතැයි ද ඔහු පෙන්වා දුන්නේ ය.
"සමහර වෙලාවට තමන්ව අත් අඩංගුවට ගත්ත අවස්ථාවල දී අමානුෂික විදිහටයි සිදුවුණේ කියලා සමහර රිමාන්ඩ් බන්ධනාගාරවල ඉන්න කාන්තාවන් කියපු අවස්ථා තියෙනවා."
'අත්අඩංගුවට ගැනීමේ දී අපහසුතාවයක් සිදුවෙන්න පුළුවන්'
වසර කිහිපයකට පෙර පොලිස් නිලධාරියෙකු විසින් යම් ස්ථානයක රැස්ව සිටින කාන්තාවන්ට පොල්ලකින් පහර දෙමින් එළවා දමන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වූ අතර, එක් අවස්ථාවක දී පොලිස් නිලධාරිනියන් ව උසස් පොලිස් නිලධාරියෙකු විසින් බෙල්ලෙන් ඇද තල්ලු කරන වීඩියෝවක් ද ඒ අතර විය.
අත්අඩංගුවට ගැනීම්වල දී සහ උද්ඝෝෂණ විසුරුවා හැරීමේ දී පොලිසිය විසින් කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් විවිධ අවස්ථාවල චෝදනා එල්ල වී තිබේ.
මේ සම්බන්ධයෙන් තොරතුරු ඉල්ලීමක් ද මේ වන විට බීබීසී සිංහල විසින් පොලිස් ළමා හා කාන්තා කාර්යංශයට යොමු කොට තිබේ.
කෙසේවෙතත් අත්අඩංගුවට ගන්නා අවස්ථාවල දී ඇතැම්විට කාන්තාවන්ට අපහසුතාවයක් සිදුවිය හැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව බීබීසී සිංහල සිදු කළ විමසීමක දී පැවසීය.
"අත්අඩංගුවට ගන්නකොට අපහසුතාවයක් සිද්ධ වෙන්න පුළුවන්. කාන්තාවෝ ද පිරිමි ද කියලා බලන්න ගියොත් අපට අත්අඩංගුවට ගන්න සිද්ධ වෙන්නේ නෑ," ඔහු පැවසුවේ ය.
එහි දී අප මාධ්‍ය ප්‍රකාශකවරයාගෙන් විමසා සිටියේ සැප්තැම්බර් 11 දින පැවති විරෝධතාවයේ දී උසස් පොලිස් නිලධාරියෙකු විසින් "ඒයි, කෙල්ලෙක් ගනින්" යනුවෙන් පවසමින් සිසුවියන් පිරිසක් පසුපස හඹා යාමේ සිදුවීම කාන්තාවන් ව විශේෂ කොට සැලකීමක් නොවන්නේ ද යන්නයි. එයට මාධ්‍ය ප්‍රකාශකවරයා ලබා දුන්නේ මෙවැනි පිළිතුරකි.
"ඒ වෙලාවේ ඒ පොලිස් නිලධාරියා මොන අදහසකින් එහෙම කිවුවා ද කියලා මම දන්නේ නෑ. මට ඒකට උත්තරයක් දෙන්න බෑ. කලබලකාරී තැනක දී, ඒ වාගේ උද්ඝෝෂණයක දී මිනිස්සු එක එක වචන කියන්න පුළුවන්. ඕක දැන් රෙකොර්ඩ් වුණ නිසා තමයි ඔයලා මගෙන් මේක ගැන අහන්නේ. නැත්නම් තව වචන ගොඩක් කියවිලා ඇති."
"කාන්තාවන් ගනින් කියලා කිවුවාද, කවුද කිවුවේ, එහෙම දෙයක් වුණා ද කියලාවත් මම දන්නේ නෑ," හෙතෙම පැවසුවේ ය.














