උතුරේ හා නැගෙනහිර 'කළු නිදහස් දින' විරෝධතා වලට බාධා; යාපනය විශ්වවිද්‍යාල සිසුන් හතරක් අත්අඩංගුවට

කිලිනොච්චියේ පැවැත් වූ විරෝධතාවයක් වෙනුවෙන් එක්වු යාපනය විශ්වවිද්‍යාල සිසුන් සිව්දෙනෙකු අද(04) අත්අඩංගුවට ගත් බව කිලිනොච්චිය පොලිසිය පවසයි.
උතුර හා නැගෙනහිර ජනතාවගේ ගැටළු වෙනුවෙන් ස්ථිර නිදහසක් නොලැබීම,මාධ්‍ය නිදහසට බාධා කිරීම,අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට බාධා ඇතිවන පනත් සම්මත කර ගැනීම හා වර්තමානයේ ජනතාවට දරා ගැනීමට නොහැකි ගැටළු වෙනුවෙන් විසදුම් නොලැබීම යන කාරණා හේතුවෙන් නිදහස් දිනය සැමරීමට නොහැකි තත්වයක් උදාවි ඇති බව සඳහන් කරමින් යාපනය විශ්වවිද්‍යාල සිසුන්,අතුරුදහන්වූවන්ගේ ඥාතීන් හා සිවිල් සංවිධාන එක්ව අද(04) කිලිනොච්චිය නගරයේදී 'කළු නිදහස් දින' සැමරුම නමින් විරෝධතාවයක නිරත විණ.

යාපනය නුවර ප්‍රධාන මාර්ගය අවහිර කරමින් විරෝධතාවය පැවැත් වූ අතර විරෝධතාකරුවන් විසුරුවා හැරීමට පොලිසිය කටයුතු කිරීමට උත්සාහ කිරීමේදී නොසන්සුන්තාවයක් හට ගත්තේය.
තත්වය පාලනය කිරීමට ජල ප්‍රහාරක බවුසර හා පොලිස් කැරලි මර්දන ඒකකයද කැඳවා තිබිණ.

විරෝධතා වැඩසටහන වෙනුවෙන් ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ නව නායක එස්.ශ්‍රීධරන්,පාර්ලිමේන්තු මන්ත්‍රී චාර්ල්ස් නිර්මලනාදන් ඇතුළු දේශපාලන පක්ෂ නියෝජිතයින් පිරිසක්ද එක්ව සිටියහ.
වර්තමානයේ නිදහස් දිනයක් සැමරීමට හැකි වාතාවරණයක් නොමැති බව සඳහන් කරමින් යාපනය විශ්ව විද්‍යාලයේ කළු කොඩි ඔසවා තිබුණි.
නැගෙනහිර 'කළු නිදහස් දින' විරෝධතා

නැගෙනහිර පළාතේ මඩකලපුවේ දී නැගෙනහිර විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් සහ අතුරුදහන්වූවන්ගේ ඥාතීන් විසින් ද 'කළු නිදහස් දින' සැමරුමක් සංවිධානය කොට තිබුණු අතර, කල්ලඩි පාලම අසළ සිට ගාන්ධි උද්‍යානය දක්වා ගමන් කිරීමට තිබු පා ගමනට පොලිසියෙන් බාධා එල්ල විය.
අධිකරණ නියෝග හමුවේ එය පසුව නිහඬ විරෝධතාවක් ලෙස ක්‍රියාත්මක විය.
දෙමළ ජාතික සන්දානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යන් රාසමානික්කම් ද විරෝධතවයට එක්ව සිටියේය.
රජයට සහයෝගය පළකළ පෙළපාලි

මේ අතර කළු නිදහස් දින සැමරුම යාපනය,කිලිනොචිය හා මඩකලපුව දිස්ත්‍රික්කයන්හි පැවැත්වු අවස්ථාවන්හී දී රජයට සහයෝගය පළ කරමින් ද සිවිල් සංවිධාන කිහිපයක් වවුනියාව හා යාපනයේදී නිදහස් දින රථ පෙළපාලි සංවිධානය කොට තිබිණ.












