ගාලු මුවදොරින් අරගලය අවසන්ද?

ඡායාරූප මූලාශ්‍රය, Ishara Danasekara|BBC
ශ්‍රී ලංකා ඉතිහාසයේ පෙරනොවූ විරූ සමාජ, දේශපාලනික පරිවර්තනයක් කිරීමට අරගලයට හැකිවිය. ඒ හැටනව ලක්ෂයක් වැනි අති විශාල ඡන්ද සංඛ්‍යාවක් ලබාගත් ඉතා බලගතු සේ සැලකු ජනපති ගෝඨාභය රාජපක්ෂ බලයෙන් පහකිරීම, විශාල ජනප්‍රසාදයක් හිමිව තිබූ මහින්ද රාජපක්ෂ අගමැතිකමින් නෙරපීම ඇතුලුව සමස්ත ආණ්ඩු පෙරලියක් ඇතිකිරීමට සමත් වීමයි.
මාස හතරකට වැඩි කාලයක් පවත්වාගෙන ගිය ගාලු මුවදොර 'ගෝඨා ගෝ ගම' අරගල භූමියෙන් ඉවත් වීමට අරගලයේ නිරත ක්‍රියාකාරින්ගෙන් බහුතරයක් තීරණය කර ඇත. ඒ අනුව අරගලය මෙතැනින් අවසන්ද? නැතහොත් එහි අනාගතය කොයිබටද? යන්න පිළිබඳව බොහෝ ශ්‍රී ලාංකිකයින්ට ඇත්තේ කුකුසකි.

පෙත්සම් ඉල්ලා අස්කර ගනී
ගාලුමුවදොර "ගෝඨා ගෝ ගම" අරගල භූමියේ සිටින පුද්ගලයින් සහ ඉදිකිරීම් පොලිසිය විසින් ඉවත් කිරීම වැළැක්වීමේ අතුරු නියෝගයක් ඉල්ලා අභියාචනාධිකරණය හමුවේ ගොනු කර තිබූ පෙත්සම් 04ක් අගෝස්තු 10 වැනිදා ඉල්ලා අස්කර ගැණුනි.
පෙත්සම් කැඳවූ අවස්ථාවේ පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරුන් වන එම්.ඒ සුමන්දිරන් සහ සාලිය පීරිස් අධිකරණයට දන්වා සිටියේ තම සේවාදායකයන් ගාලුමුවදොර ප්‍රදේශයෙන් ඉවත්වීමට තීරණය කර ඇති බවයි.
ඒ අනුව අදාළ පෙත්සම් තවදුරටත් පවත්වාගෙන යාමට ඔවුන්ට අවශ්‍යතාවයක් නොමැති බව පවසා සිටි ජනාධිපති නීතිඥවරුන් නීත්‍යානුකූල අයිතිවාසිකම් වලට අගතියක් නොවන අයුරින් පෙත්සම් ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙන මෙන් අධිකරණයෙන් ඉල්ලීමක් ඉල්ලා සිටියේය.
ඉල්ලීමට විරුද්ධ නොවන බව කොටුව පොලිසියේ ස්ථානාධිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් සුමති ධර්මවර්ධන සහ නාගරික සංවර්ධන අධිකාරිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා අධිකරණයට දැනුම් දෙනු ලැබුවේය.
ඒ අනුව අගෝස්තු 10 වැනිදා පෙරවරුවේ සිටම ගාලුමුවදොර අරගලභූමියේ ඉදිකර තිබූ කූඩාරම් ඇතුලු තාවකාලික ස්ථාන ගලවා ඉවත් කර ගන්නා අයුරු දක්නට ලැබුණි.
අන්තරෙන් අනතුරු ඇඟවීමක්?
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ කියා සිටියේ ව්‍යවස්ථාදායකයේ, විධායකයේ බලය ජනතා බලය ඉදිරියේ අභියෝගයට ලක්කළ අරගලයක් බවට මෙම අරගලය පත්වූ බවයි.
"නිශ්චිතවම මේ අරගලයේ ඇතුලේ තීරණාත්මක සටන් පාඨයක් තමා ගෝඨාභය රාජපක්ෂ යන්න ඕනේ වගේම,ගෝඨාභය රාජපක්ෂලා ආරක්ෂා කරන්න ආපු රනිල් වික්‍රමසිංහ එළවන්න ඕනේ. රනිල් වික්‍රමසිංහ ජනාධිපති කමින් අයින් කරන්න ඕනේ." ඔහු කියා සිටියේය.
වසන්ත මුදලිගේ අවධාරණය කළේ "අපි රනිල් වික්‍රමසිංහලාට කියනවා, ගාලුමුවදොර අරගලකරුවෝ ගෝල්ෆේස් පිටියෙන් ඉවත්වුණා කියලා වැඩිපුර සතුටුවෙන්න එපා. ඒ මොකද ඒ ඉවත්වීම කියලා කියන්නේ අරගලය නතර කිරීමක්වත්, අරගලයෙන් ඉවත්වීමක් නෙමේ."
"ගාලුමුවදොර පිටියෙන් විතරයි අයින් වෙන්නේ. හැබැයි ගාලුමුවදොර පිටියෙන් අයින් වුණාට අපිට අවශ්‍ය නම් අපිට ඕනෑම වෙලාවක නැවත එනවා ඔය කියන ඕනෑම ගොඩනැගිල්ලක් අතපත් කර ගැනීම සඳහා අපි රටේ ජනතාවත් එක්ක එනවා."
"ඒ නිසා අපි ආණ්ඩුවට කියනවා වැඩිපුර සතුටු වෙන්න එපා. මර්දනය කරා කියලා හිතන්න එපා. මේ අරගලයේ දිශානතිය විතරයි අපි වෙනස් කරන්නේ.අරගලයේ මාදිලිය විතරයි අපි වෙනස් කරන්නේ."

ඡායාරූප මූලාශ්‍රය, Ishara Danasekara|BBC
අරගලයේ ක්‍රියාකාරීන් මොකද කියන්නේ?
අරගලයේ ක්‍රියාකාරිණියක වන ප්‍රවීණ රංගන ශිල්පී දමිතා අබේරත්න පැවසුවේ අරගලයේ නිතර පිරිසේ බහුතරයේ පොදු මතය වුයේ ගාලුමුවදොරින් ඉවත් වීම බවයි.
"අපිත් එක්කම අපේ ආදරයේ අරගලයේ හිටපු එක් කණ්ඩායමක් ගෝල්ෆේස් එකේ ඉන්නවා කියලා තීන්දුවක් අරගෙන තියෙනවා. ඉතින් ඒ තීන්දුව ඒ අය විසින් ගත්තු එකක්. මං හිතන්නේ අරගල කරන්න හැමෝට අයිතිය තියෙනවා. ඉතින් ඒ තීන්දුව ඒ අයගේ තීන්දුවක්. ඒකට අපිට මුකුත් කියන්න බැහැ. නමුත් බහුතරයේ අපේ පොදු මතය වුණේ අපි එතනින් ඉවත් වෙනවා කියන එක" ඇය පැවසුවාය.
තවත් ක්‍රියාකාරිකයෙකු වන නීතිඥ මනෝජ් රත්නායක අවධාරණය කළේ, "අපි ඒකාබද්ධ සමූහය විදහට පොදු තීරණයක් අරගෙන තියෙනවා . ගාලු මුවදොර අරගල භූමියේ, භූමියේ අරගල කටයුතු අවසන් කරනවා කියලා. එකේ තේරුම අරගලය අවසන් කරනවා කියන එක නෙමේ."
ඔහු කියා සිටියේ "අපි අරගලය ගමට අරන් ගිහිල්ලා ප්‍රාදේශීය වශයෙන්, නගර වශයෙන් තිව්‍ර කරලා මේ අරගලය ඉහළට එසවීමට අපි සූදානම් වෙලා ඉන්නවා."
පුජ්‍ය කොස්වත්තේ මහානාම හිමියන් පැවසුවේ අරගලය නව දිශානතියකට රැගෙන යන බවයි.
උන්වහන්සේ පෙන්වා දුන්නේ "මර්දනයට එරෙහිව නැඟිටිමු, හදිසි නීතිය වහාම හකුලා ගනු, ජනමතයක් නැති රනිල් - රාජපක්ෂ ආණ්ඩුව ගෙදර යනු, ජනමතයක් නැති ජනතාවට සහන නොදෙන පාර්ලිමේන්තුව විසුරුවා මැතිවරණයකට යමු, ජනතා බලය ශක්තිමත් කරන මහජන කවුන්සිලයක් පිහිටවමු, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කරනු, ඒ වගේම සිස්ටම් චේන්ජ් එකකට පෙළ ගැසෙමු, කියන මේ කරුණු 7ත් සමග නව ආකෘතියක් යටතේ මේ අරගලය නව දිශානතියකට යනවා" යනුවෙනි.

ඡායාරූප මූලාශ්‍රය, Ishara Danasekara|BBC
අරගලයෙන් මොකද වුණේ..?
මෙය ශ්‍රී ලංකා ඉතිහාසයට එක්වන ජන අරගලයක් වන්නේ සියලු බලතල වලින් සමන්විත විධායක ජනාධිපතිවරයෙකු ගෙදර යැවූ පළමු අවස්ථාව නිසාවෙනි.
විධායක ජනාධිපතිවරයෙකු මෙන්ම සේනාධිනායකයා වූ ගෝඨාභය රාජපක්ෂට කොටුව ජනපති මන්දිරයේ පස්ස දොරෙන් පළා ගොස් රටන් පිටව යෑමට තරම් ජනතා අරගලය බලගතුවිය. ඒ තවත් වසර දෙකක් ඔහුට ධුරය දැරීමට හැකියාව තිබියදීය.
තුනෙන් දෙකකට වැඩි බහුතර බලයක් සහිත පොදුජන පෙරමුණු ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ කැබිනට් අමාත්‍යවරුන් ඉල්ලා අස්වීමටත්, එක් මන්ත්‍රී ධුරයක් ඇති එක්සත් ජාතික පක්ෂයේ නායකයාට අග්‍රාමාත්‍ය ධුරය භාර ගැනීමටත්, එතැනින් ජනාධිපති ධුරය දක්වා පැමිණිමටත් ඉඩහසර වෙන්වූයේ ද අරගලය හේතුවෙනි.
මෙරට ජනප්‍රසාදයට පත් නායකයෙකු වන මහින්ද රාජපක්ෂට හා ඔහුගේ පවුලේ කිසිදු රාජපක්ෂවරයෙකුට කැබිනට් මණ්ඩලයේ ඉඩක් වෙන් නොවන තරමටම අරගලය බලගතුවිය.ඒ සියලු බලයන් අභිබවා ජනතාවගේ බලය ඉහළින්ම ඇති බවට යළි යළිත් සාක්ෂි සපයමිනි.

ඉන්ධන මිල ඉහළයෑම, ඉන්ධන පෝලිම්, දෛනික විදුලි කප්පාදුව, ඉහළ යන ජීවන වියදම සහ කෘෂි කර්මාන්තය විනාශ මුඛයට ඇද දැමීම ඇතුලුව ගෝඨාභය රාජපක්ෂගේ අසාර්ථක ආර්ථික කළමනාකරණය මුල් කර ගනිමින් දැවැන්ත ජන සහභාගීත්වයකින් ජන අරගලය ආරම්භ වුයේ ඔහුගේ මිරිහානේ පෞද්ගලික නිවස අසළ පැවති ජන විරෝධතාවෙන් අනතුරුවය.
ඊට පෙර රට පුරා තැනින් තැන හුදෙකළා කුඩා කුඩා කණ්ඩායම් එක්රැස් වී පැවති තත්ත්වයට තම විරෝධය පාමින් තිබුණි.
ගාලු මුවදොර කේන්ද්‍ර කොටගෙන ඇරඹි ජන අරගලයේ විශේෂත්වය වුයේ පාට පක්ෂ හෝ ආගමික භේදයකින් තොරව පොදු මහජනතාව ඊට සහභාගි වීමයි. එහි සාර්ථකත්වය වුයේද නිර්පාක්ෂිකව ස්වේච්ඡාවෙන් ජනතාව ඊට සහභාගි වීමයි.

ඡායාරූප මූලාශ්‍රය, Ishara Danasekara|BBC
දැවැන්ත විරෝධතා හමුවේ මිරිහාන නිවසෙන් පිටව ගිය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා කොටුව ජනපති මන්ධිරය වෙත ගියද ඔහුට එහි සිට ආණ්ඩුවේ පාලන කටයුතු මෙහෙය වීමට සිදුවුයේ නිවාස අඩස්සියට පත්වූ ලෙසටය.
ඔහුගේ සියලු ගමන් බිමන් , මහජන රැස්වීම් මෙන්ම, කාර්යාලය වෙත පැමිණ රාජකාරි මෙහෙයවීමට පවා නොහැකි වුයේ අනතුරුව ආරම්භ වූ ජනාධිපති කාර්යාලය ඉදිරිපිට ගාලුමුවදොර ජන අරගලය නිසා වෙනි.
අප්‍රේල් මස 09 වැනිදා 'ගෝඨාගෝගම' නමින් මුළ ආරම්භ වූ ගාලුමුවදොර අරගලයේ එක් සුවිශේෂී දිනයක් වුයේ මැයි මස 09 වැනිදාය.
එදින අරලියගහ මන්දිරයට රැස්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය දේශපාලනඥයින් ප්‍රමුඛ පාක්ෂිකයින් එවකට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට ධුරයෙන් ඉවත් වන්නැයි බලකරමින් පවත්වාගෙන ගිය 'මයිනාගෝගමට' පහර දෙන්නට විය.
ඉන් නොනැවතුණු ඔවුන් පොලිසිය බලා සිටියදීම ගාලුමුවදොර දක්වා ගොස් ගෝඨාභය රාජපක්ෂට ධුරයෙන් ඉවත් වන්නැයි බලකරමින් ජනතාව පවත්වාගෙන ගිය ගෝඨාගෝගම අරගල භූමියට ද පහර දෙන්නට වුයේ කිසිවෙකුත් නොසිතූ අයුරිනි.
අනතුරුව එය ප්‍රචණ්ඩකාරී තත්ත්වයකට පත්වීමට ගතවුයේ පැය කිහිපයක් පමණි. පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය නායකයින් බහුතරයකට සිදුවුයේ මහමඟ පහර කෑමටය. තවත් පිරිසකගේ ඉරණම බේරේ වැවෙන් තීරණය විය.
එතැනින් නොනැවතුණු ප්‍රචණ්ඩ ක්‍රියා රටපුරාම පාහේ ව්‍යාප්ත වූ අතර පොදුජන පෙරමුණේ මැතිඇමතිවරුන්ගේ දේපල හා නිවාස 70වකට වැඩි ප්‍රමාණයක් ගිනිබත් විය.
නිට්ටඹූවේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරලට හා ඔහුගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියාට ජීවිතයෙන් වන්දි ගෙවීමට තරම් එය බිහිසුණු විය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ දෙමව්පියන්ගේ සොහොන් ස්මාරකද බිමට සමතලා කිරීමට තරම් ප්‍රචණ්ඩත්වය උත්සන්න වුයේ කිසිවෙකුත් නොසිතූ පරිද්දෙනි.
ජනප්‍රිය ජනනායකයෙකු වූ මහින්ද රාජපක්ෂට එම විරෝධතා හමුවේ අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත්වීමටත් ඔහුගේ කැබිනට් මණ්ඩලයට ඉල්ලා අස්වීමටත් එහිදී සිදුවිය.
අනතුරුව ගාලුමුවදොර ජන අරගලය තවත් තිව්‍ර විය. ඒ හමුවේ ජුනි 09 වැනිදා බැසිල් රාජපක්ෂ ද මුදල් අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්විය.
ගාලුමුවදොර අරගලකරුවන්ගේ පීඩනය පුපුරා ගිය දිනයක් වුයේ ජුලි 09 වැනිදාය. ඉන්ධන හිඟය හේතුවෙන් රටපුරා ප්‍රවාහනය අඩාලව පැවති පසුබිම තුළ දිවයිනේ නංදෙසින් ජනතාව කොළඹට රැස්වු අතර ජනාධිපති මන්දිරය වැටලීමට ඔවුන් සමත්විය.
කඳුළු ගෑස්, ජල ප්‍රහාර හෝ ආරක්ෂක අංශවල වෙඩි උණ්ඩයට දැවැන්ත ජනඅරගලය නතර කිරීමට නොහැකි වුයේ ජනතාව තුළ පැවති පීඩනය ඒ සියල්ලට වඩා තියුණු වීම හේතුවෙනි.
විපක්ෂ දේශපාලන පක්ෂ මෙන්ම අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලය වැනි ශිෂ්‍ය සංවිධාන, වෘත්තීය සමිති හා සිවිල් සංවිධාන ක්‍රියාකාරීන්ද ඊට සක්‍රීයව දායක විය.
ඒ අනුව ජුලි 09 වැනිදා දහවල් වන විට ගෝඨාභය රාජපක්ෂට ජනාධිපති මන්දිරයෙන් ඉවත්ව නාවික හමුදා රැකවරණය යටතේ නාවික හමුදා යුද නෞකාවක දින ගණනක් මුහුදේ ගතකිරීමට සිදුවිය.
ජුලි 13 වැනිදා අලුයම ඔහු ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් යානයකින් අසල්වැසි මාලදිවයින බලා පිටත්ව ගියේය. ඒ සිය බිරිඳ හා ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකු සමඟය.
ඉන්පසු මාලදිවයිනෙන් සිංගප්පුරුවට ගිය ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා දැන් තායිලන්තය බලා යෑමට සූදානම් වෙයි.
අරගලයත් සමඟ ඇතිවු ආණ්ඩු පෙරලියේ සිදුවු තවත් සුවිශේෂී වෙනසක් වුයේ ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේ සිවිල් තනතුරු සඳහා යොදවා සිටි නිලධාරීන් කිහිප දෙනෙකු හැරෙන්නට හිටපු හමුදා නිලධාරීන් රැසකට එම ධුර අහිමි විමය.















