අගෝස්තු 9: අද මොකද වෙන්නේ?

ඡායාරූප මූලාශ්‍රය, Amila Udagedara
අද අගෝස්තු 09 වැනිදාය. අද කුමක් සිදුවන්නේ දැයි බොහෝ දෙනා තුළ ඇත්තේ කුතුහලයකි. ඒ අද දිනයෙත් සිවිල් සංවිධාන, වෘත්තීය සමිති ඇතුලු අරගලයේ ක්‍රියාකාරින් ආණ්ඩුවේ මර්දනයට එරෙහිව ජන විරෝධතා සංවිධානය කිරීම හේතුවෙනි.
මැයි 09 වැනිදා ඇති වූ ජනවිරෝධතා හා ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට සහ ඔහුගේ කැබිනට් මණ්ඩලයට ඉල්ලා අස්විමට සිදුවිය.
අනතුරුව ජුලි 09 වැනිදා කොළඹට රැස්වූ දැවැන්ත ජනවිරෝධතා හමුවේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට ජනාධිපති මන්ධිරයෙන් පලා ගොස් ගුවන් හමුදා යානයකින් රටින් පිටව යාමට පවා සිදුවිය.
ඔහු ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු අග්‍රාමාත්‍ය ධුරය දැරූ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ වැඩබලන ජනාධිපති ධුරයට පත්විය. අනතුරුව පාර්ලිමේන්තුවේ පැවති ඡන්ද විමසීමේදී මන්ත්‍රීවරුන් බහුතරයකගේ ඡන්ද හිමිකර ගනිමින් ඔහු විධායක ජනාධිපති ධුරයට පත්විය.
කෙසේවෙතත් අරගලකරුවන් ප්‍රමුඛ විපක්ෂ දේශපාලනඥයින් චෝදනා කරන්නේ, ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පාලනය යනු රාජපක්ෂ පාලනයම ඉදිරියට ගෙනයාමක් බවයි.
බහුජන සංවිධාන, වෘත්තීය සමිති හා සිවිල් ක්‍රියාකාරීන් අද දිනයේ ජාතික විරෝධතා දිනයක් පැවැත්වීමට සුදානම් වන්නේ ගාලු මුවදොර ජනඅරගලයට සහභාගී වූ ක්‍රියාකාරීන් රැසක් මේවන විට පොලිස් අත්අඩංගුවට පත්ව හෝ රක්ෂිත බන්ධනාගර ගත කර සිටින පසුබිමකදීය.
තවත් ක්‍රියාකාරීන් රැසක් අත්අඩංගුවට ගැනීමට මේවන විටත් පොලිස් මෙහෙයුම් ක්‍රියාත්මක අතර ජනාධිපති මන්ධිරයට ඉකුත් මස 09 වැනිදා ඇතුලු වූ ක්‍රියාකාරීන් 32ක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහය ද ඉල්ලා තිබේ.
වෘත්තිය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම කැඳවුම්කරු වසන්ත සමරසිංහ අවධාරණය කළේ ආණ්ඩුවේ මර්දනය තුළින් අරගලය නතර නොවන බවයි.
"රනිල් රාජපක්ෂ හයිබ්‍රිඩ් ආණ්ඩුවක් හදලා, අද හයිබ්‍රිඩ් ආණ්ඩුවේ මර්දනයට තමයි රටේ ජනතාව පත් කරලා තියෙන්නේ. ඒ නිසා අපි කියනවා මර්දනය වහාම නවත්වන්න. අත්අඩංගුවට ගත් අය වහාම නිදහස් කරන්න. හදිසි නීතිය ඇතුලු අණ පනත් වහාම හකුලා ගන්න. මේ රට මෙතෙන්ට වට්ටලා තවත් ඉතුරු වෙච්ච කෝම්බෙත් විකුණන් කන්නේ නැතුව වහාම බැරි නම් කියලා යන්න."
ඔහු අවධාරණය කළේ, "මේ අරගලය අවසන් නැහැ. අරගලය නවතින් නැහැ. හොරුන්ට රට භාරදීලා, එක හොරු කණ්ඩායමක් එළවලා තවත් හොරු කණ්ඩායමකට රට භාර දීලා අරගලය නවතින්නේ නැහැ."
ජාතික විරෝධතා දිනය සහ මහජන ආඥාවක්
මහජනතාවගේ ජන අරගලයට නිසි ගෞරවය දැක්වීමට ජනාධිපතිවරයාට බල කරමින් හා මහජනතාව අපේක්ෂා කරන සමාජ පරිවර්තනය සදහා නිසි වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන ලෙස බල කරමින්, වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය අද (අගෝස්තු 9 ) ජාතික විරෝධතා දිනයක් පැවැත්වීමට කටයුතු යොදා ඇත.
ඒ අනුව රට පුරා උද්ඝෝෂණ මාලාවක් සංවිධානය කර තිබේ.
ඊට සමගාමීව කොළඹ දිස්ත්‍රික්කයේ විරෝධතාවය අද පස්වරු 2.30ට කොළඹ විහාරමහදේවී උද්‍යානය ඉදිරිපිට සිට පා ගමනින්, නිදහස් චතුරශ්‍රය දක්වා ගමන් කර, ආගමික නායකයින් පෙරටු කර ගනිමින්, සවස 4ට මහජන ආඥාවක් නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම කැදවුම්කරු රවී කුමුදේශ් ප්‍රකාශ කළේය.
සමස්ත ලංකා වෘත්තීය සමිති සම්මේලනයේ නියෝජ්‍ය ලේකම් චන්දන සුරිය ආරච්චි පැවසුවේ නව ජනමතයක් සඳහා පාර්ලිමේන්තුව විසුරුවා ජනතාවට සාධාරණ ඉඩක් ලබා දෙන ලෙස තමන් ඉල්ලා සිටින බවයි.
"අද දවසේ කොළඹ ජාතික විරෝධතා ව්‍යාපාරයේ ප්‍රධාන ක්‍රියාමාර්ගය විදිහට විහාර මහා දේවී උද්‍යානයේ බුදු පිළිමය අසලට රැස්වන සියලු දෙනා එතනට ඒකරාශී වෙලා ආණ්ඩුවේ මර්දනයට එරෙහිවත්, නව ජනමතයක් සඳහා පාර්ලිමේන්තුව විසුරුවා හැරලා මේ රටේ ජනතාවට ඒ සඳහා සාධාරණ ඉඩක් ලබා දෙන්න කියන ඉල්ලීම මුල් කරගෙන උද්ඝෝෂණ පා ගමනක් නිදහස් චතුරශ්‍රය දක්වා අපි යන්න සූදානම් වෙලා ඉන්නවා. කටයුතු කරනවා මහජන ආඥාවක් නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේදී ප්‍රකාශයට පත් කරන්නත් ඒ අවශ්‍ය කටයුතු සූදානම් කරල තියෙනවා." ඔහු පැවසීය.
දුෂිත දේශපාලනඥයින්ට එරෙහි අවසන් සටනද?
මුළු රටම එකතු කරගෙන 9 වෙනිදා කොළඹට පැමිණ මේ අරගලය අවසානය කරා ගෙන ගොස් දූෂිත දේශපාලනඥයන්ගෙන් රට බේරගන්න කියා අරගලයේ දරුවන්ගෙන් ඉල්ලීමක් කරන බව සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ජූලි 27 වැනිදා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
ඔහු ඒ බව කියා සිටියේ හදිසි නීතිය දීර්ඝ කිරීමේ යෝජනාව පිළිබඳ විවාදයේදීය.
වෙනත් අරමුණු වෙනුවෙන් නොබෙදී එකම අරමුණක් වෙනුවෙන් කටයුතු කරන ලෙස අරගලයේ නිරත දරුවන්ට දැනුම් දෙන බවද ඔහු සඳහන් කළේය.
වර්තමාන පාලකයන් අරගලකරුවන් තුවක්කු බලයෙන් මර්දනය කිරීමට කටයුතු කරමින් සිටින බවත් ඒ සඳහා කිසිම ආකාරයකට මැදිහත් නොවන ලෙස පොලිසිය සහ හමුදාවේ සාමාජිකයින්ගෙන් ඉල්ලීමක් කරන බවත් ඔහු පැවසීය.
එසේම දූෂිත පාලකයන් සඳහා මුදල් එවීමෙන් වළකින ලෙස විදේශගත ශ්‍රී ලාංකිකයන් ගෙන් ඉල්ලා සිටින බව පැවසූ සරත් ෆොන්සේකා අරගලකරුවන්ට තමා සැමවිටම ආශිර්වාද කරන බවද එහිදී අවධාරණය කළේය.
ඉකුත් 05 වැනිදා ජනහමුවකට එක්වෙමින් ද ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා කියා සිටියේ "අරගලය ජයග්‍රහණය කළ යුතුයි. අනිවාර්යෙන් ඉදිරියට යා යුතුයි".
වර්තමාන ජනාධිපතිවරයා ඉතා තදින් මර්දනයක් ක්‍රියාත්මක කර ඇති බවද ඔහු සඳහන් කළේය.
ඔහු පෙන්වා දුන්නේ "අපි විශ්වාස කරන්නේ නැහැ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා රට වෙනුවෙන් යමක්, අවංකව, සද්භාවයෙන් කරයි කියලා. එතුමා ඕනෑම දේශපාලන ගනුදෙනුවක් අපිත් එක්ක කරන්න බලාපොරොත්තු වෙනවා නම්, අනිවාර්යෙන් හදිසි නීතිය ඉවත් කරන්න ඕනේ. මර්දනය නවත්වන්න ඕනේ. මර්දනය කරලා අත්අඩංගුවට ගත්ත අය සියලු දෙනා නිදහස් කරන්න ඕනේ."
අරගලකරුවන් කියන්නේ කුමක්ද?
අරගලයේ පරපුර සංවිධානය මාධ්‍ය හමුවක් අමතමින් අවධාරණය කළේ අද දිනය ජාතික විරෝධතා දිනයක් ලෙස ක්‍රියාත්මක කරන ලෙසයි.
'අරගලයේ පරපුර' සභාපති නීතිඥ අමිල එගොඩමහවත්ත අවධාරණය කළේ "අපි 9 වැනිදා කොළඹට ඒකරාශී විය යුතු නැහැ. ඒක අත්‍යවශ්‍ය නැහැ. අපේ හැම ගමකම, බිමකම, කාර්යාල භූමියකම මේ සිදුවන මර්දනයට, මේ රටේ අරගලයට, එහෙම නැත්නම් මේ රටේ ප්‍රගමනයට විරුද්ධව මේ දේශපාලකයන් කරන අමන ක්‍රියා වෙනුවෙන් තමන්ගේ විරෝධතාවය පාන ජාතික විරෝධතා දිනයක් ලෙස 9 වැනිදා කටයුතු කරන්න."
අරගල භූමියේ ක්‍රියාකාරිකයෙකු වන විදර්ශන කන්නන්ගර අවධාරණය කළේ "අරගලය කියන්නේ එක්තරා විදිහක භූමියක් නෙමෙයි. ඒ කියන්නේ මේ හට් අල්ලගන්න එක්තරා විදියක භූමියක් පවත්වා ගැනීම නෙමෙයි. ජන අරගලය කියන්නේ ලංකාව පුරාම විසිරිච්ච එකක්. ගෝල්ෆේස් කියන්නෙ එක්තරා සංඛේතයක් විතරයි. එතකොට මේ ස්ථානය පවත්වාගෙන යනවාද නැද්ද කියන එක තීරණය වෙන්නේ අරගලයේ දිශාව අනුව. ඒ නිසා අපි අද හෙටම ඒක තීරණය කරනවා." ඔහු පැවසීය.
සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර අවධාරණය කළේ "අද රට පුරාම එක ස්ථානයක නෙමෙයි, රට පුරාම අපි විරෝධතා දිනයක් නම් කරල තියෙනවා. ඒක නිසා මුළු රට පුරාම ප්‍රජාතන්ත්‍රවාදීව වීදි බැහැල අපි සටන් කරනවා. වෙන මොකකටවත් නෙමෙයි රනිල් රාජපක්ෂව ගෙදර යවන්නත්, ඒ වගේම යහපත් දේශපාලන සංස්කෘතියක් ඇතුළෙ මේ රට නැවතත් නිර්මාණය කර ගැනීමේ අරමුණින් ප්‍රජාතන්ත්‍රවාදීව සටන් කරනවා."
"ඒක කිසි කෙනකුට නතර කරන්න බැහැ." ඔහු අවධාරණය කළේය.
මේ අතර නීතිඥ මනෝජ් නානායක්කාර කියා සිටියේ "හිතන්න එපා මිනිස්සු නිහඬ වුණා කියන්නේ මිනිස්සු උඹලගෙ පැත්ත ගත්තයි කියලා. හිතන්න එපා මිනිස්සු කට පියන් ඉන්න එකේ තේරුම මිනිස්සු උඹලට පක්ෂපාතී වුණයි කියන එක කියලා. ඒ නිසා බොහොම පැහැදිලියි අපි කියනවා මිනිස්සු නිහඬව බලාගෙන හිටියට මිනිස්සු අරගලයෙන් ඈත්වෙලා නැහැ. නැවත මිනිස්සු පාරට කැඳවලා තමන්ලව ගෙවල්වල කොටු වෙන තැනට වැඩ කරගන්න එපා. කටවල් ඉස්සර කරගන්න එපා කියන පණිවුඩය බොහොම පැහැදිලිව දෙන්න කැමතියි අපි."
මේ අතර සමාජ ක්‍රියාකාරිකයෙකු වන ශෙහාන් මාලක අවධාරණය කළේ "මොන ත්‍රස්තවාදයක් ආවත්, මොන මර්දනයක් ආවත් අපි මේ අරගලය නතර කරන්නේ නැහැ." යනුවෙනි.
ඔහු පෙන්වා දුන්නේ , "මේ අරගලය ඉවර නැහැ. අපි සියලු දෙනා අත්වැල් බැඳගෙන ජාතික විරෝධතාවයක් අරන් යනවා මේ ආකාරයෙන් මේ ක්‍රමය වෙනස් කරන්න."












