මානව හිමිකම් ගැන කතා කරන්න බුද්ධි ප්‍රධානියෙකු යැවීම ගැන ආණ්ඩුවට විවේචන..

ශ්‍රී ලංකාවේ 6 වැනි වාරික සමාලෝචනය මේ දිනවල ජිනීවා නුවරදී පැවැත්වෙයි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුව සඳහා සහභාගී වෙමින් සිටින ශ්‍රී ලංකා රජයේ නියෝජිතයන් පිළිබඳව ප්‍රශ්නකාරී තත්ත්වයක් මතුවී තිබේ.

එම කමිටුව සැදී ඇත්තේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තිය ආණ්ඩු විසින් ක්‍රියාත්මක කරන ආකාරය සොයා බලන විශේෂඥයන් පිරිසකගෙනි.

සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය (ICCPR) යටතේ සිදු කරනු ලබන ශ්‍රී ලංකාවේ සයවැනි වාරික සමාලෝචනය මේ දිනවල ජිනීවා නුවරදී පැවැත්වෙයි.

ජාත්‍යන්තර කාන්තා දිනයේදී (මාර්තු 08 වැනිදා) ශ්‍රී ලංකාවෙන් කරුණු විමසීම ආරම්භ කළ එම කමිටුවට ආරක්ෂක අමාත්‍යාංශය සහ අධිකරණ අමාත්‍යාංශය නියෝජනය කිරීමට සහභාගී කරවා ඇති හමුදා නිලධාරියා කාන්තාවන්ට එරෙහි අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලැබූ යුද හමුදා කඳවුරකට අණ දුන් නිලධාරියෙකු බැවින් මෙම තත්ත්වය උද්ගතව තිබේ.

ජිනීවා නුවර දැන් රැස්වෙමින් සිටින එම කමිටුවට කරුණු දැක්වීම සඳහා රජය විසින් පත් කර ඇති 28 දෙනකුගෙන් සමන්විත නියෝජිත මණ්ඩලය අතරින් එක් අයෙකු වන්නේ මාර්ගගත ක්‍රමයට (Online) ඊට සම්බන්ධ වෙන ජාතික බුද්ධි ප්‍රධානී මේජර් ජෙනරාල් රුවන් ජීවක කුලතුංගය.

ඔහු ශ්‍රී ලංකා යුද හමුදාව කිසිදු යුද අපරාධයක් කර නැතැයි ප්‍රකාශයට පත් කළ හමුදා පරීක්ෂණ මණ්ඩලයේ සාමාජිකයෙකුද විය.

ඒ බව කියා තිබුණේ, ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS) විසින් අනාවරණය කරන ලදුව බ්‍රිතාන්‍යය චැනල් 4 රුපවාහිනියෙන් ප්‍රචාරය කරන ලද වීඩියෝ දර්ශන විශ්වසනීය බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පිළිගෙන තිබියදීය.

එම දර්ශන සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් පැවැත්විය යුතු බව උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කමිටුව ද (LLRC) නිර්දේශ කර තිබුණි.

අත්අඩංගුවට ගන්නා ලද හෝ භාරවූ හෝ දෙමළ සිරකරුවන් නීතිවිරෝධී ලෙස වධකාගාරයක රඳවා තබාගෙන අපයෝජන කිරීම් ඇතුළු වධ පැමිණවූ බවට තොරතුරු රැගත් වාර්තාවක් 2017 දී ප්‍රසිද්ධියට පත් කරමින් සත්‍යය හා යුක්තිය සඳහා වන ජාත්‍යන්තර ව්‍යාපෘතිය (ITJP) විසින් ඊට වගකිව යුතු බවට චෝදනා නැගෙන හිටපු හමුදා ප්‍රධානියෙකු ඇතුළු නිලධාරීන් පස් දෙනකු පිළිබඳ විමර්ශන පවත්වන ලෙස ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා තිබුණි.

ඒ අතරින් එක් අයකු වූයේ වන්නි ආරක්ෂක හමුදා මුලස්ථානය 2016-17 වකවානුවේ බාරව සිටි මේජර් ජරාල් ජීවක රුවන් කුලතුංගය.

Skip X post
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බාහිර වෙබ් අඩවිවල අන්තර්ගතය සඳහා BBCය වගකියනු නොලැබේ.

End of X post

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

ජිනීවා නුවර දැන් රැස්වෙන මානව හිමිකම් කමිටුව 2016 වර්ෂය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවෙන් සෘජු ප්‍රශ්නයක් නගා තිබුණි.

“ආරක්ෂක හමුදා විසින් 2016 සිට පැහැරගැනීම්, නීති විරෝධී රඳවා ගැනීම්, වධබන්ධන සහ ලිංගික ප්‍රචණ්ඩතා සිදුකළ බවටත්, රජයේ පාර්ශවයේ උතුරු පළාතේ එවැනි කටයුතු තවමත් සිදුවෙමින් පැවතිය හැකි බවටත් දැක්වෙන වාර්තා සම්බන්ධයෙන් කාරුණිකව ප්‍රතිචාර දක්වා අදාළ චෝදනා සම්බන්ධයෙන් කරන ලද විමර්ශන සහ නඩු පැවරීම් ගැන විස්තර සපයන්නැයි,” යි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුව ඉල්ලා තිබුණි.

එයට සෘජු පිළිතුරක් ලබා දීම වෙනුවට ආණ්ඩුව එහිදී රටේ බලපවත්වනා නීතිය ගැන පැහැදිලි කර ඇත.

“සන්නද්ධ හමුදා සාමාජිකයන් සම්බන්ධ චෝදනාවලට අදාළව ගත් කල, වධහිංසාවට එරෙහිව රටේ පොදු නීතිය යටතේ ඇති පිළියම්වලට අමතරව අපරාධ චූදිතයන්ට එරෙහිව යුද හමුදා පනත, නාවික හමුදා පනත සහ ගුවන් හමුදා පනත යටතේ යුද්ධාධිකරණයක් තුලින් හමුදා නීතිය ක්‍රියාත්මක කළ හැකිය,” ශ්‍රී ලංකා රජය දුන් ලිඛිත පිළිතුරේ දැක්වෙයි.

අදාළ හමුදා කඳවුර මේජර් ජනරාල් කුලතුංග බාරයේ පවතින සමයේ කුරිරු ලෙස වධහිංසා පමුණුවා ලිංගික අපහරණයට ගොදුරු කරන ලද බව කියන තුන් දෙනකුගේ තොරතුරු ජාත්‍යන්තර මානව හිමිකම් නීතිවේදිනී යැස්මින් සූකාගේ ප්‍රධානත්වයෙන් යුත් ITJP විසින් මීට ඉහතදී එක්සත් ජාතීන්ගේ සංවිධානයට ලබා දී තිබේ. වෙනත් අයට වධහිංසා කිරීම පිළිබඳවද ඔවුන් සාක්ෂි දරන බව එම සංවිධානය කියයි.

වධහිංසා පමුණුවා ලිංගික අපහරණයට ගොදුරු කරන ලද බව කියන තුන් දෙනකුගේ තොරතුරු ජාත්‍යන්තර මානව හිමිකම් නීතිවේදිනී යැස්මින් සූකා ගේ ප්‍රධානත්වයෙන් යුත් ITJP විසින් මීට ඉහතදී එක්සත් ජාතීන්ගේ සංවිධානයට ලබා දී තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, වධහිංසා පමුණුවා අපහරණයට ගොදුරු කරන ලද බව කියන පුද්ගලයින්ගේ තොරතුරු ජාත්‍යන්තර මානව හිමිකම් නීතිවේදිනී යැස්මින් සූකා ගේ ප්‍රධානත්වයෙන් යුත් ITJP විසින් මීට ඉහතදී එක්සත් ජාතීන්ගේ සංවිධානයට ලබා දී තිබේ

විවේචනයට ලක්වූ දෙවැනි වතාව...

ගැටලුකාරී ආරක්ෂක නිලධාරියෙකු එක්සත් ජාතීන්ගේ කමිටුවකට සහභාගි කරවීම නිසා මෙරට ආණ්ඩු විවේචනයට ලක්වූ පළමු අවස්ථාව මෙය නොවන බව මෑතකාලීන සිදුවීම් සාක්ෂි දරයි.

මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා යටතේ, වර්තමාන ජනාධිපතිවරයා අගමැති වී සිටි 2016 දී වධහිංසාවට එරෙහි එක්සත් ජාතීන්ගේ කමිටුවට (UNCAT) ජිනීවා යවන ලද එවකට රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී සිසිර මෙන්ඩිස්ට ඔහු යටතේ පැවති පොලිස් ආයතන විසින් කරන ලද බවට චෝදනා කෙරෙන වධහිංසා සහ ලිංගික අපරාධ සම්බන්ධ බරපතල ප්‍රශ්න කිරීමට මුහුණ දීමට සිදුවිය.

“තමන් යටතේ ක්‍රියාත්මක වූ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සහ ත්‍රස්ත විමර්ශන ඒකකය විසින් රඳවාගනු ලැබූ පුද්ගලයන්ට එරෙහිව පමුණුවන ලද සාහසික වධ බන්ධන පිළිබඳ චෝදනා ගැන ශ්‍රී ලංකා නියෝජිත පිරිසට අයත් හිටපු නියෝජ්‍ය පොලිස්පති සිසිර මෙන්ඩිස්ට කමිටුව හමුවේ කියන්නට ඇත්තේ කුමක්ද?” යනුවෙන් ඔහුගෙන් කිහිප වාරයක් විමසන ලදී.

UNCAT සභාපතිනි ෆෙලිස් ගියර් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය සම්බන්ධයෙන් අසන ලද එකදු ප්‍රශ්නයකටවත් පිළිතුරු දීමට සිසිර මෙන්ඩිස් එහිදී සමත් නොවීය.

දේවස්ථානවලට, හෝටල්වලට සහ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයට තර්ජනයක් ඇතැයි බුද්ධි තොරතුරු ලැබී තිබුණු බවට පාස්කු ප්‍රහාර විමර්ශනය කරන ජනාධිපති පරීක්ෂණ කොමිසමට 2019 දී සාක්ෂි ලබා දී දින කිහිපයකට පසු ඔහු ජාතික බුද්ධි ප්‍රධානී තනතුරින් ඉල්ලා අස්විය.

එම පුරප්පාඩුවට පත් කරන ලද්දේ මේජර් ජනරාල් ජීවක රුවන් කුලතුංගය.

ශ්‍රී ලංකාවේ සයවැනි වාරික සමාලෝචනය යනු කුමක්ද?

සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය (ICCPR) යටතේ සිදු කරනු ලබන ශ්‍රී ලංකාවේ හයවැනි වාරික සමාලෝචනය මේ දිනවල ජිනීවා නුවරදී පැවැත්වෙන අතර ශ්‍රී ලංකාව 1980 ජුනි 11 වැනි දින සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය සමග එක් විය.

රටවල් 173ක් වර්තමානය වන විට සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය අපරානුමත කර ඇත.

මෙම සම්මුතිය ක්‍රියාත්මක කිරීමට අමතරව, එහි කමිටුව වෙත වරින් වර වාර්තා ඉදිරිපත් කිරීමටත්, වරින් වර පැවැත්වෙන සමාලෝචනවලට සහභාගී වීමටත්, සම්මුතියේ සියලුම රාජ්‍ය පාර්ශ්වයන් ස්වේච්ඡාවෙන් බැඳී සිටියි.

ඒ අනුව ශ්‍රී ලංකාව 1983, 1990, 1994, 2003 සහ 2013 යන වර්ෂවලදී වාරික වාර්තා පහක් ඉදිරිපත් කර ඇති අතර 1983, 1991, 1995, 2003 සහ 2014 යන වර්ෂවලදී සමාලෝචන පහකට සහභාගි වී ඇත.

ශ්‍රී ලංකාවේ 6 වැනි වාර්තාව 2019 පෙබරවාරි 22 වැනි දින මානව හිමිකම් කමිටුව වෙත ඉදිරිපත් කරන ලදී.

මානව හිමිකම් කමිටුව යනු සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳව අධීක්ෂණය කරන ස්වාධීන විශේෂඥයින් 18 දෙනෙකුගෙන් සමන්විත කමිටුවකි. සියලුම රටවල සමාලෝචන මෙම කමිටුව විසින් සිදු කරනු ලැබේ.

රජය සිවිල් හා දේශපාලන අයිතීන් උල්ලංඝනය කරන බවට චෝදනා එල්ල වන පසුබිමක මෙම හයවන වාරික සමාලෝචනය පැවැත්වේ.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, රජය සිවිල් හා දේශපාලන අයිතීන් උල්ලංඝනය කරන බවට චෝදනා එල්ල වන පසුබිමක මෙම හයවන වාරික සමාලෝචනය පැවැත්වේ

ශ්‍රී ලංකාවේ 6 වැනි සමාලෝචනය ශ්‍රී ලංකාවේ ඉල්ලීම පරිදි දෙමුහුන් ආකෘතියක් යටතේ පැවැත්වෙන බව විදේශ කටයතු අමාත්‍යංශය සඳහන් කළේය.

ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත හිමාලී අරුණතිලක, ශ්‍රී ලංකා පාර්ශ්වය සඳහා නායකත්වය ලබා දෙනු ඇත. ජනාධිපති ලේකම් කාර්යාලය, මහජන ආරක්‍ෂක අමාත්‍යංශය, නීතිපති දෙපාර්තමේන්තුව, විදේශ කටයුතු අමාත්‍යංශය සහ ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය දූත මණ්ඩලය නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට භෞතික වශයෙන් සහභාගී වන ශ්‍රී ලංකා දූත පිරිසට ඇතුළත් වෙති.

අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය, ආරක්‍ෂක අමාත්‍යංශය, කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යංශය, සෞඛ්‍ය අමාත්‍යංශය, බන්ධනාගාර දෙපාර්තමේන්තුව, පොලිස් දෙපාර්තමේන්තුව, අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය (OMP), හානිපූර්ණය සඳහා වන කාර්යාලය (OR) සහ ජාතික සමගිය සහ සංහිඳියාව පිළිබඳ කාර්යාලය (ONUR) නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් මෙම සමාලෝචනය සඳහා කොළඹ සිට අතථ්‍ය අයුරින් සම්බන්ධ වනු ඇතැයි විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේය.

ඊජිප්තුව, තුර්කිමෙනිස්ථානය, සැම්බියාව, පේරු සහ පැනමාව යන රාජ්‍යයන් ද, 2023 පෙබරවාරි 27 සිට මාර්තු 24 දක්වා පැවැත්වෙන මානව හිමිකම් කමිටුවේ 137 වැනි සැසිය අතරතුර ශ්‍රී ලංකාවට අමතරව සමාලෝචනය කිරීමට නියමිත ය.