මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පත: ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් තීන්දුව

"මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පත" සංශෝධන කිරීමට රජය තීරණය කර ඇතැයි නීතිපතිවරයා විසින් අද (ඔක්.18 වැනිදා) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙනු ලැබීය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව ප්‍රකාරව, ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කරන ලද “මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ” පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දෙන ලද තීන්දුව කථානායකවරයා වෙත ලැබී ඇති බව නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ විසින් අද (නොවැම්බර් 07) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 84(2) ව්‍යවස්ථාව ප්‍රකාරව, පාර්ලිමේන්තුවේ දී විශේෂ බහුතරයකින් සම්මත කළ යුතු බවත්, වගන්ති කිහිපයක් යෝජිත සංශෝධනයන්ට යටත්ව පනත් කෙටුම්පතෙහි පාර්ලිමේන්තුවේ කාරක සභා අවස්ථාවේ දී සංශෝධනය කරන්නේ නම් මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් සම්මත කළ හැකි බවත් ශ්‍රේෂ්ඨාධිකරණය එහිදී ප්‍රකාශ කොට තිබේ.

ඉහත කරුණුවලට යටත්ව, පනත් කෙටුම්පත හෝ එහි විධිවිධාන කිසිවක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය අදහස් කරන බවත්, ඒ අනුව, ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණයේ සඳහන් කර ඇති සංශෝධනවලට යටත්ව, පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් සම්මත කළ හැකි බවත් නියෝජ්‍ය කථානායකවරයා පාර්ලිමේන්තුව වෙත දැනුම් දෙන ලදී.

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පත සංශෝධනයට රජය තීරණය කරයි

සමාජ මාධ්‍ය නියාමනය කිරීම සඳහා පත් කිරීමට යෝජිත කොමිසම සඳහා සාමාජිකයින් පත් කිරීම සහ ඉවත් කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ නිර්දේශ මත ජනාධිපතිවරයා විසින් සිදුකිරීමට හැකිවන පරිදී "මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පත" සංශෝධනය කිරීමට රජය තීරණය කර ඇතැයි නීතිපතිවරයා විසින් ඔක්.18 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙනු ලැබීය.

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනුකර ඇති පෙත්සම් අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාගයට ගත් අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්න මෙම දැනුම් දීම කළේය.

ප්‍රියන්ත ජයවර්ධන, ශිරාන් ගුණරත්න සහ අචල වෙංගප්පූලි යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ පෙත්සම් විභාගය ආරම්භ විය.

ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන විවෘත අධිකරණයේදී සදහන් කළේ මෙම පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් පෙත්සම් 50 ක් පමණ ගොනුකර ඇති බවය.

කෙටුම්පත අභියෝගයට ලක් කරමින් පෙත්සම් 50 ක්

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්න අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පනත් කෙටුම්පත සඳහා සංශෝධන කිහිපයක් එක් කිරීමට රජය තීරණය කර ඇතැයි සඳහන් කළේය.

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

එම සංශෝධන අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී විවාදයට ගන්නා "කාරක සභා අවස්ථාවේ" දී කිරීමට අපේක්ෂා කරන බවත් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කර සිටියේය.

පෙත්සම්කාර පාර්ශ්වයක් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්.ඒ.සුමන්තිරන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පනත් කෙටුම්පතට සිදුකිරීමට යෝජිත සංශෝධන මොනවාදැයි නීතිපතිවරයා අධිකරණය හමුවේ ප්‍රකාශ කර නොමැති බව සඳහන් කළේය.

මෙම පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධානයන්ට පටහැනි ලෙස ඉදිරිපත් කර තිබේ නම් රජය එය ඉල්ලා අස්කර ගත යුතු බවත් ජනාධිපති නීතිඥවරයා අවධාරණය කර සිටියේය.

ඊට ප්‍රතිචාර දැක්වූ අතිරේක සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්න රජය විසින් සිදුකිරීමට යෝජිත සංශෝධන වලින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 78(3) වගන්තිය උල්ලංඝනය නොවන බව අවධාරණය කළේය.

එම සංශෝධන අන්තර්ගත පිටපතක් ද අධිකරණයට භාර දුන් අතිරේක සොලිස්ටර් ජනරාල්වරයා විසින් ඉන් අනතුරුව අදාළ සංශෝධන කෙරෙන ආකාරය සම්බන්ධයෙන් අධිකරණය හමුවේ කරුණු පැහැදිලි කරනු ලැබීය.

"මෙම පනත් කෙටුම්පත යටතේ ස්ථාපිත කිරීමට යෝජිත "කොමිසම" සදහා ජනාධිපතිවරයා විසින් සාමාජිකයින් පස් දෙනෙකු පත් කිරීමට පියවර ගන්නා බව අදාළ පනත් කෙටුම්පතේ සඳහන් කර තිබෙනවා. එහෙත් එම සාමාජිකයින් පත් කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශ මත ජනාධිපතිවරයා විසින් සිදු කරනු ලබන බවට සංශෝධනය වෙනවා. ඒ වගේම එම කොමිසමේ සාමාජිකයින් ඉවත් කිරීම ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශ මත ජනාධිපතිවරයා විසින් සිදු කරනු ඇතැයි සංශෝධනය කෙරෙනවා." යනුවෙන් සඳහන් කළ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා ඊට අමතරව අදාළ පනත් කෙටුම්පතට සිදුකිරීමට යෝජිත සංශෝධන ගනනාවක් ද අධිකරණය හමුවේ පැහැදිලි කර සිටියේය.

'කෙටුම්පත ඉල්ලා අස්කර ගෙන නව පනත් කෙටුම්පතක් ඉදිරිපත් කරන්න'

ජනාධිපති නීතිඥ එම්.ඒ.සුමන්තිරන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් නීතිපතිවරයා විසින් අධිකරණය හමුවේ ඉදිරිපත් කරනු ලැබුවේ සංශෝධන නොව නව පනත් කෙටුම්පතක් බව සඳහන් කළේය.

මේ හරහා පෙත්සම්කරුවන්ට කරුණු දැක්වීමට තිබූ පැය තුනකට ආසන්න කාලය නීතිපතිවරයා විසින් ලබාගත් බවත් ඉන් පෙත්සම්කරුවන්ට දැඩි අසාධාරණයක් සිදුවන බවත් ජනාධිපති නීතිඥවරයා පැවසීය.

මෙවැනි සංශෝධනය කරනවා වෙනුවට මෙම පනත් කෙටුම්පත ඉල්ලා අස්කර ගෙන නව පනත් කෙටුම්පතක් ඉදිරිපත් කිරිමට රජයට හැකියාව තිබෙන බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේය.

ඉන් අනතුරුව පෙත්සමක් ඉදිරිපත් කළ මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ජයම්පති වික්‍රමරත්න අධිකරණය හමුවේ කරුණු දක්වමින් යෝජිත පනත් කෙටුම්පතේ අන්තර්ගත වගන්ති බොහොමයකින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර තිබෙන භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස, සිතීමේ නිදහස් යන මූලික මිනිස් අයිතිවාසිකම් බරපතල ලෙස උල්ලංඝනය වන බව පැවසීය.

පකිස්ථානයද මෙවැනි පනත් කෙටුම්පතක් සම්මත කළද ජාත්‍යන්තර සංවිධාන වලින් එල්ල වූ විරෝධය නිසා එය ක්‍රියාත්මක කිරීම අත්හිටවූ බවත් ඔහු සඳහන් කළේය.

යෝජිත පනත තුළින් අසත්‍ය ප්‍රකාශ හා තහනම් ප්‍රකාශ මොනවාදැයි අර්ථකථනය කිරීමේ බලය යෝජිත කොමිසම වෙත ලබාදී තිබෙන බව සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා එය භයානක තත්ත්වයක් බවත් පෙන්වා දුන්නේය.

මෙම බලය අවභාවිතයට ලක් කිරීමට හැකියාව තිබෙන බවත් ඔහු අනතුරු අඟවා සිටියේය.

යෝජිත පනත් කෙටුම්පත හරහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර තිබෙන ජනතා පරමාධිපත්‍යය සහ ස්වෛරීත්වය උල්ලංඝනය වන බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේය.

අදාළ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්, සමගි ජනබලවේගයේ මහලේකම් හා පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර, එම පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන්, ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය. හරිනි අමරසූරිය, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපතිවරු වන සාලිය පීරිස් හා ජෙෆ්රි අලගරත්නම්, වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය, මාධ්‍යවේදී තරිදු උඩුවරගෙදර ඇතුළු පිරිසක් විසින් පෙත්සම් 50 ක් පමණ ඉදිරිපත් කර තිබේ.

පෙත්සම් විභාගය තවදුරටත් පැවැත්වීමට නියමිතය.