මහාධිකරණ විනිසුරුවරියක් නඩුවක සැකකාරියක් වෙයි: කල්මුණේ මහේස්ත්‍රාත්ගෙන් පොලිසියට නියෝගයක්

    • Author, බීබීසී සිංහල

නොතාරිස්වරයෙකුට බලපෑම් කළ බවට වන නඩුවක සැකකාරියක ලෙස නම් කර ඇති මහාධිකරණ විනිසුරුවරියකගෙන් ප්‍රකාශයක් සටහන් කර ගන්නා ලෙස කල්මුණේ මහේස්ත්‍රාත් අධිකරණය ජනවාරි 21 නියෝග කර ඇත.

2026 පෙබරවාරි 11 වන දින හෝ ඊට පෙර අවසන් වාර්තාවක් හෝ චෝදනා පත්‍රයක් ඉදිරිපත් කරන ලෙස ද අධිකරණය පොලිසියට නියෝග කර තිබේ. ඒ අනුව නඩුව එදිනට කැඳවීමට කල් තබන ලදී.

සැකකාරිය, නොතාරිස්වරයෙකු වන මොහොමඩ් හනීෆාහට පැමිණිලිකරුගේ ඉඩමක ඔප්පුවක් ලිවීම සම්බන්ධයෙන් 2022 වසරේදී ජංගම දුරකතනය ඔස්සේ තර්ජනය කර ඔහුගේ නිල රාජකාරි ඉටු කිරීම වළක්වා ඇති බවට මෙම සැකකාර මහාධිකරණ විනිසුරුවරියට චෝදනා එල්ල වී තිබේ.

කල්මුණේ මහේස්ත්‍රාත් කේ.එල්.එම්. සජිත් ඉදිරියේ බදාදා [ජනවාරි 21] විවෘත අධිකරණයේදී නඩුව කැඳවූ විට, පෙරියනීලවානෙයි පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේ, සැකකාරියගේ ප්‍රකාශය තවමත් සටහන් කරගෙන නොමැති බව ය. නඩු ගොනුව සම්බන්ධයෙන් පොලිස් නීති අංශයෙන් නීති උපදෙස් තවමත් අපේක්ෂා කරන බව පොලිසිය අධිකරණයට පවසා තිබේ. එබැවින් එම උපදෙස් ලැබීමෙන් පසු අධිකරණයට වාර්තා කිරීමට පොලිසිය වෙනත් දිනයක් ඉල්ලා සිටියේ ය.

පැමිණිලිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මුබාරක් මුවාසම් මෙම ඉල්ලීමට විරුද්ධ වී ඇති අතර, පෙර නඩු විභාගයේදී මහේස්ත්‍රාත්වරයා පැහැදිලිව ම සැකකාරියගේ ප්‍රකාශය සටහන් කර අපරාධ නඩු විධාන සංග්‍රහයේ අදාළ වගන්ති යටතේ අවසන් වාර්තාවක් හෝ චෝදනා පත්‍රයක් ගොනු කරන ලෙස පොලිසියට නියෝග කර ඇති බව ඔහු අධිකරණයට දැනුම් දුන්නේ ය. පොලිසිය නැවත නැවතත් නඩුව කල් දැමීමට නඩුව ප්‍රමාද කරන බවට ඔහු තර්ක කළ අතර, යුක්තිය සහතික කිරීම සඳහා ස්ථිර නියෝගයක් නිකුත් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

දෙපාර්ශ්වයේ ම කරුණු අසා, සැකකාරියගේ ප්‍රකාශය වහා ම සටහන් කර අවසන් වාර්තාව ගොනු කරන ලෙස මහේස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කළේ ය. ඉන්පසු නඩුව 2026 පෙබරවාරි 11 වන දිනට කල් තබන ලදී. නීතිඥ මුබාරක් මුවාසාම් සහ නීතිඥ ඒ. නිතන්ෂන් යන නීතිඥවරු පැමිණිලිකරු වෙනුවෙන් පෙනී සිටියහ.

මෙම නඩුවට මුල්වී ඇත්තේ, 2022දී මහාදේවන් මුරලිදරන් නම් පුද්ගලයෙකු විසින් පෙරියනීලවානෙයි පොලිසියට කරන ලද පැමිණිල්ලක් ය. 2022 නොවැම්බර් 28 දිනැති බී වාර්තාවක් කල්මුණේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇත්තේ, ඒ අනුව ය.

මෙම බී වාර්තාවට අනුව, සැකකාරිය වන මහාධිකරණ විනිසුරුවරිය ඉඩම් පැවරීමේ ඔප්පුවක් සකස් කර සහතික කළ නොතාරිස්වරයෙකුට තර්ජනය කර ඔහුගේ නිල රාජකාරි ඉටු කිරීමෙන් වළක්වන ලද බවට චෝදනා එල්ල විය.

දණ්ඩ නීති සංග්‍රහයේ 344 සහ 486 වගන්ති යටතේ වැරදි සිදු කිරීම සම්බන්ධයෙන් සැකකාරියට චෝදනා වී තිබේ.

පැමිණිලිකරු විසින් සැකකාර විනිසුරුවරියගේ සහ නොතාරිස්වරයාගේ ජංගම දුරකතන අංක ද පැමිණිල්ලට ඉදිරිපත් කරනු ලැබ තිබූ අතර, අධිකරණ නියෝග අනුගමනය කරමින්, පොලිසිය දුරකතන සේවා සමාගම් හරහා ඇමතුම් වාර්තා සහ අනෙකුත් විදුලි සංදේශ දත්ත ලබාගෙන තිබේ.

ඒ අනුව සැකකාරිය විසින් නොතරිස්වරයාට දුරකතන ඇමතුමක් ලබාගෙන ඇති බවට පොලිසිය අධිකරණයට දන්වා තිබේ.

2025 දෙසැම්බර් 03 වන දින, අම්පාර මහාධිකරණ විනිසුරුවරියක වන ජෙයලක්ෂි ඩී. සිල්වා සැකකාරියක් ලෙස නම් කර අධිකරණයට දැනුම් දී තිබේ. ඉන්පසු මහේස්ත්‍රාත්වරයා පොලිසියට උපදෙස් ලබා දී ඇත්තේ පරීක්ෂණ ඉක්මනින් අවසන් කර අවසන් වාර්තාවක් හෝ චෝදනා පත්‍රයක් ඉදිරිපත් කරන ලෙස ය.

2026 ජනවාරි 07 වන දින නඩුව කැඳවූ විට පොලිසිය ප්‍රකාශ කළේ, සැකකාරිය මහාධිකරණ විනිසුරුවරියක ලෙස කටයුතු කිරීම හේතුවෙන් උපදෙස් සඳහා නඩු ගොනුව නීතිපතිවරයා වෙත යවා ඇති බව ය. එමෙන් ම උපදෙස් ලබා ගැනීමට ඔවුහු අමතර කාලයක් ඉල්ලා සිටියහ.

පැමිණිලිකරුගේ නීතිඥවරයා විරෝධය පළ කරමින් කියා සිටියේ, සියලු පුද්ගලයින් නීතිය ඉදිරියේ සමාන බව ය.

සැකකාරියගේ ප්‍රකාශය පළමුව සටහන් නොකර නඩු ගොනුව නීතිපතිවරයා වෙත යැවීම නිවැරදි නොවන බවට මහේස්ත්‍රාත්වරයා පවසා ඇති අතර, ඒ අනුව ප්‍රකාශය සටහන් කර අවසන් වාර්තාව ගොනු කිරීමට අධිකරණය පෙබරවාරි 11 දක්වා කාලය ලබා දී තිබේ.