2025 වසරේදී දැඩි කතාබහකට ලක්වූ ආන්දෝලනාත්මක නඩු 11ක්

    • Author, බීබීසී සිංහල

2025 වසර මෙරට අධිකරණ ක්ෂේත්‍රය තුළ තීරණාත්මක මතක සටහන් ඉතිරි කළ වසරක් වශයෙන් සඳහන් කළ හැකි ය. මෙම වසර තුළ දැඩි ආන්දෝලනයකට තුඩු දුන් නඩු තීන්දු මෙන් ම නඩු පැවරීම් ගණනාවක් ද වාර්තා විය.

මේ, එවැනි දැඩි කතාබහට ලක්වූ නඩු පැවරීම් හා නඩු තීන්දු කිහිපයක් පිළිබඳ ආවර්ජණයකි.

1. යෝෂිත රාජපක්ෂට එරෙහි මුදල් විශුද්ධිකරණ නඩු

සී.එස්.එන්. රූපවාහිනී නාලිකාව පවත්වාගෙන ගොස් මුදල් විශුද්ධිකරණ කටයුතුවල නිරත වූ බව සඳහන් කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂට එරෙහිව ඉකුත් යහපාලන රජය සමයේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් විමර්ශනයක් කරන ලදී.

එසේ විමර්ශන අවසන් කළ පොලිසිය, වැඩිදුර කටයුතු කිරීම සඳහා විමර්ශන ගොනු නීතිපති දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර තිබිණි.

මීට වසර දහයකට පමණ පෙර සිදු කළ විමර්ශනවලට අදාළව යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් යන අයට එරෙහිව වත්මන් රජය බලයට පත්වීමෙන් පසු නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ නඩු දෙකක් ගොනු කළේ ය.

රුපියල් මිලියන 73කට අධික වත්කම් උපයා ගත් ආකාරය හෙළිදරව් කිරීමට අපොහොසත් වීම සහ රුපියල් මිලියන 59කට අධික ස්ථාවර බැංකු ගිණුම්වල පවතින මුදල් උපයාගත් ආකාරය හෙළිදරව් කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ එම විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩු දෙක ගොනු කර තිබිණි.

2. නාමල් රාජපක්ෂට එරෙහි ක්‍රිෂ් ගනුදෙනුව පිළිබඳ නඩුව

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පාලන සමයේ ශ්‍රී ලංකාව තුළ රගර් ක්‍රීඩාව ප්‍රවර්ධනය කරන බව සඳහන් කරමින් ඉන්දියානු ක්‍රිෂ් සමාගමෙන් රුපියල් මිලියන 70කට අධික මුදලක් ලබාගෙන එය සාවද්‍ය ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙන් පසුගිය යහපාලන රජය සමයේ වත්මන් අමාත්‍ය වසන්ත සමරසිංහ විසින් කරන ලද පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ කර තිබිණි.

2016 වසරේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අදාළ විමර්ශන කටයුතු අවසන් කර විමර්ශන ගොනු නඩු පැවරීම් සඳහා නීතිපති දෙපාර්තමේන්තුවට භාර දී තිබිණි.

එහෙත්, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීමක් නොවූ අතර යහපාලන රජය බලයට පත්වීමෙන් පසු නීතිපතිවරයා නාමල් රාජපක්ෂට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කළේ ය.

එම නඩුකරයට අදාළ අධිචෝදනා පත්‍ර මේ වන විට විත්තිකාර නාමල් රාජපක්ෂට භාර දී ඇති අතර නඩු විභාගය අධිකරණය හමුවේ සිදුවෙමින් පවතී.

3. උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් ඇතුළු දෙදෙනෙකුට සිර දඬුවම් නියම කිරීම

උතුරු මැද පළාතේ ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී සිය පෞද්ගලික ලේකම්වරිය වශයෙන් කටයුතු කළ ශාන්ති චන්ද්‍රසේන නමැත්තියට ඇයගේ වැටුප සමග ඉන්ධන දීමනා එකතු කර තිබියදී අනීතික ලෙස ඉන්ධන දීමනා ලබා ගැනීමට ආධාර අනුබල දීම තුළින් දූෂණය නමැති වරද සිදුකිරීමේ චෝදනාවට වරදක්කරුවන් කෙරුණු හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් සහ ඔහුගේ පෞද්ගලික ලේකම්වරිය වූ ශාන්ති චන්ද්‍රසේන යන අයට එරෙහිව කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර 16ක් බැගින් වූ සිර දඬුවම් නියම කරන ලදී.

එම දඬුවම්වලට එරෙහිව විත්තිකරුවන් අභියාචනාධිකරණයට ඇපෑලක් ඉදිරිපත් කර ඇති අතර එම ඇපෑල මේ දක්වා විභාගයට ගෙන නොමැත.

4. මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දුට සිර දඬුවම් නියම කිරීම

2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ එවක ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂගේ දේශපාලන කාර්යාලවලට බෙදා දීම සඳහා ස.තො.ස. ආයතනය හරහා කැරම් බෝඩ් 14000ක් සහ දාම් ලෑලි 11000ක් ආනයනය කර රජයට රුපියල් මිලියන 5.9ක පාඩුවක් කළේ යැයි චෝදනා කරමින් එවක ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ සතොස ආයතනයේ එවක සභාපතිවරයා වශයෙන් කටයුතු කළ පසුව අමාත්‍යවරයෙකු වශයෙන් පත්වූ නලින් ප්‍රනාන්දුට විරුද්ධව ඉකුත් යහපාලන රජය සමයේ අල්ලස් කොමිසම විසින් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ නඩු පවරන ලදී.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත්කළ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල එම චෝදනාවලට විත්තිකරුවන් දෙදෙනා වරදකරුවන් කළේ ය.

ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් එසේ වරදකරුවන් කළ හිටපු ඇමති මහින්දානන්ද අලුත්ගමගේට බරපතළ වැඩ සහිත වසර 20ක සිර දඬුවම් සහ හිටපු අමාත්‍යවරයෙකු වන නලින් ප්‍රනාන්දුට බරපතළ වැඩ සහිත වසර 25ක සිර දඬුවම් නියම කරන ලදී.

එම දඬුවම්වලට එරෙහිව විත්තිකරුවන් අභියාචනා ඉදිරිපත් කර ඇති අතර එම අභියාචනා ජනවාරි මස 20 වනදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවීමට නියමිත ය.

5. මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාව ඉවත් කිරීමට එරෙහි පෙත්සම ප්‍රතික්ෂේප කිරීම

වත්මන් රජය බලයට පත්වීමෙන් පසුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාව සඳහා අනුයුක්ත කර තිබූ නිලධාරින් සංඛ්‍යාව අඩු කිරීමට තීන්දු කළේ ය.

ඒ අනුව, තමන්ට සපයා දී තිබූ ආරක්ෂක නිලධාරීන් සංඛ්‍යාව 60 දෙනෙකු දක්වා අඩු කිරීමට රජය ගෙන තිබෙන තීරණය තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බව සඳහන් කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් ඉදිරිපත් කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කර කළේ ය.

එම පෙත්සම වත්මන් අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ සලකා බලන ලදී.

එහිදී ම නඩුව පවත්වාගෙන යාමට තරම් සෑහීමකට පත්වන කරුණු ඉදිරිපත් නොවන හෙයින් එම පෙත්සම විභාගයට ගැනීමට අවසර දීමකින් තොරව නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේ ය.

6. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහි නඩුව

2023 වසරේ සැප්තැම්බර් මස බ්‍රිතාන්‍යයේ පැවති සිය බිරිඳගේ උපාධි ප්‍රදානෝත්සවය සඳහා රාජ්‍ය මුදල් රුපියල් ලක්ෂ 166කට වැඩි මුදලක් වැය කර පෞද්ගලික සංචාරයක නිරත වීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට විරුද්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශනයක් ආරම්භ කරන ලදී.

එම විමර්ශනවලින් අනතුරුව රාජ්‍ය මුදල් අවභාවිත කිරීමේ චෝදනා සම්බන්ධයෙන් සැකපිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගෙන කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාරගත කළේ ය.

ඉන් අනතුරුව ඔහු ඇප මත මුදා හරිනු ලැබූ අතර ඔහුට එරෙහිව ඉදිරියේදී මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කිරීමට පියවර ගන්නා බවත්, නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් ඉකුත්දා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබිණි.

7. එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීම සම්බන්ධයෙන් වූ මූලික අයිතිවාසිකම් නඩු තීන්දුව

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව කොළඹ වරායට ආසන්න මුහුදු තීරයේදී ගිනිගෙන විනාශ වීම තුළින් සිදුවූ පාරිසරික හානිය සහ ධීවර ප්‍රජාවට සිදුවූ හානිය තුළින් එවක නාගරික සංවර්ධන විෂය භාර රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා ඇතුළු පිරිසක් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේ ය.

අදාළ නෞකාව ගිනි ගැනීම තුළින් ඇති වූ පාරිසරික හානිය සහ ධීවර ප්‍රජාවට සිදුවූ හානිය වෙනුවෙන් එම නෞකා සමාගම ඇමෙරිකානු ඩොලර් බිලියනයක වන්දියක් රජයට ගෙවිය යුතු බවටත් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ සඳහන් විය.

ඊට අමතරව මෙම ගිනිගැනීමේ සිද්ධියට අදාළව අපරාධ විමර්ශනයක් කරන ලෙසත් අධිකරණය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කරන ලදී.

8. විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද කප්පාදු කිරීමට එරෙහිව ගොනු කළ පෙත්සම්

වර්තමාන රජය බලයට පත්වීමෙන් පසුව විශ්‍රාමික ජනාධිපතිවරුන්ට ලබා දෙන වරප්‍රසාද කප්පාදු කිරීම සඳහා ජනාධිපති හිමිකම් පනතට සංශෝධන කීපයක් එක් කිරීමේ පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය.

එම පනත් කෙටුම්පතේ අඩංගු ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත් ඒවා සම්මත කරන්නේ නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සහ ජනමත විචාරණයකින් ද අනුමත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් ඉල්ලා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරේරා ඇතුළු පාර්ශව තුනක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් ඉදිරිපත් කළහ.

එම පෙත්සම් අගවිනිසුරු ප්‍රීති පද්මන් සුරසේන ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාග කෙරිණි.

එම පනත් කෙටුම්පත අදාළ ශ්‍රේෂ්ඨාධිකරණයේ නිගමනය පාර්ලිමේන්තුව වෙත යොමු කරමින් විනිසුරු මඩුල්ල සඳහන් කර තිබුණේ අදාළ පනත් කෙටුම්පතේ අන්තර්ගත වගන්තිවලින් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වීමක් සිදු නොවන බව ය.

ඒ අනුව අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සාමාන්‍ය බහුතර ඡන්දයෙන් සම්මත කළ හැකි බවත් ශ්‍රේෂ්ඨාධිකරණය සිය නිගමනය තුළින් සඳහන් කර තිබිණි.

9. අරගලය මැඩ පැවැත්වීම සඳහා හදිසි නීතිය පැනවීම නීතියට පටහැනි බවට තීන්දුවක්

2022 වසරේ ගාලු මෝදර 'ගෝඨා ගෝ ගම' අරගලය සමග ඇති වූ මහජන කැළඹීම් පාලනය කිරීම සඳහා රට පුරා හදිසි අවස්ථාව ප්‍රකාශයට පත් කිරීමට එවක වැඩ බලන ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කළ රනිල් වික්‍රමසිංහ ගත් තීන්දුව තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේ ය.

මෙම හදිසි නීතිය පැනවීමට පෙර වැඩබලන ජනාධිපතිවරයා විසින් භූමියේ පැවති තත්ත්වය නිසියාකාරව අගැයීමකට ලක් නොකොට මෙම ක්‍රියාව සිදුකර ඇති බවත් ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීන්දුවේ සඳහන් කළේ ය.

ඒ අනුව, එම අවස්ථාවේ වැඩබලන ජනාධිපතිවරයා හදිසි අවස්ථාව පනවමින් නිකුත් කළ නියෝග බල ශූන්‍ය බවත් ඒ තුළින් ඔහු මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර තිබෙන බවත් ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීන්දුවේ සඳහන් කර තිබිණි.

10. හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එරෙහි නඩුකරය

2023 වසරේ දෙසැම්බර් මස 31 වන දා මාතර වැලිගම ප්‍රදේශයේ පිහිටි W15 හෝටලයට වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයේ සැකකරුවෙකු වශයෙන් හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් නම් කරමින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මාතර මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩුකරයක් ගොනු කර තිබේ.

එම සිද්ධියට අදාළව දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණය විසින් වරෙන්තු ද නිකුත් කර තිබිණි.

ඉන් අනතුරුව දේශබන්දු තෙන්නකෝන් අධිකරණයට භාර වූ අතර පසුව ඔහු ඇපමත මුදා හැරීමට නියෝග කර තිබිණි.

එම නඩුකරය මේ වන විටත් මාතර මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාග වෙමින් පවතී.

11. ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු පිරිසකට එරෙහිව ගොනුකළ නඩුව

ඉකුත් රජය සමයේ ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිල දී ගැනීම තුළින් රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා කරමින් හිටපු සෞඛ්‍ය අමාත්‍යය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩල්ලක් ඉදිරියේ නඩු පවරන ලදී.

හියුමන් ඉමියුනොග්ලොබින් සහ රිටොක්සිමැබ් නමැති ඖෂධ නොවන වෙනත් ද්‍රව්‍ය කුප්පි 6,195ක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයට සපයා ශ්‍රී ලංකා ජනරජයේ මුදල් රුපියල් ලක්ෂ 1,444ක් වංක ලෙස ව්‍යපහරණය කිරීමට කුමන්ත්‍රණය කිරීම සහ එම මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය සම්බන්ධයෙන් විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් චෝදනා 13ක් එල්ල කර තිබේ.

මෙම නඩුවට අදාළව සාක්ෂිකරුවන් 350 දෙනෙකු පමණ නම් කර තිබෙන අතර නඩු භාණ්ඩ තුන්සියයකට ආසන්න සංඛ්‍යාවක්ද ඉදිරිපත් කර තිබේ.

එම සාක්ෂිකරුවන් අතර හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ඩග්ලස් දේවානන්ද, රොෂාන් රණසිංහ, විජයදාස රාජපක්ෂ, නිමල් සිරිපාල සිල්වා යන හිටපු කැබිනට අමාත්‍යවරු ද ඇතුළත්ව සිටිති.

මෙම නඩුව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මේ වන විටත් විභාග වෙමින් පවතී.