ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටියට වසර දෙකක සිර දඬුවම්
අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා ලැබ සිටි ආගමන හා විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටියට ශ්‍රේෂ්ඨාධිකරණය අද (සැප්තැම්බර් 23 වැනිදා) වසර දෙකක සිර දඬුවම් නියම කළේය.
ජනක් ද සිල්වා, අර්ජුන ඔබේසේකර යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ මෙම තීන්දුව ලබා දුන්නේය.
මෙම ක්‍රියාව තුළින් වග උත්තරකාර හර්ෂ ඉලුක්පිටිය අධිකරණයට බරපතළ අපහාසයක් කර තිබෙන බවත් තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු වරයා සඳහන් කළේය.
ඉකුත් රජය සමයේ විද්‍යුත් වීසා නිකුත් කිරීමේ කටයුතු පෞද්ගලික සමාගම් දෙකකට පැවරීමට අමාත්‍ය මණ්ඩලය ගනු ලැබූ තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමෙන් අනතුරුව විසා නිකුත් කිරීමේ පැරැණි ක්‍රමවේදය යළි ක්‍රියාවට නංවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ආගමන හා විගමන පාලක ජනරාල්වරයාට අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබිණි.
එම අතුරු තහනම් නියෝගය ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම තුළින් අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් ආගමන හා විගමන පාලක හර්ෂ ඉලුක්පිටියට එරෙහිව එවකට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්. ඒ. සුමන්දිරන්, රවූෆ් හකිම් සහ පාටලී චම්පික රණවක මෙම පැමිණිල්ල ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබිණි.
ඒ අනුව වගඋත්තරකරුට එරෙහිව 2024 අංක 08 දරණ අධිකරණ ආයතනවලට අපහාස සම්බන්ධ පනත යටතේ චෝදනා ගොනු කෙරුණි.
වගඋත්තරකාර ආගමන හා විගමන පාලකවරයා ඉකුත් වසරේ සැප්තැම්බර් මස 24 වනදා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් නියම කළේය.
මෙම චෝදනා විවෘත අධිකරණයේ කියවනු ලැබූ අවස්ථාවේදී තමන් එම චෝදනාවලට නිවැරදිකරු බව වග උත්තරකරු ප්‍රකාශ කර තිබිණි.
ඒ අනුව සාක්ෂි සටහන් කර ගැනීම සිදුවූයේ ය.
එහිදී සාක්ෂි දුන් ආගමන හා විගමන පාලක දෙපාර්තමේන්තුවේ තාක්ෂණික කටයුතු භාර කොමසාරිස්වරයා ප්‍රකාශ කළේ ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ අතුරු නියෝගය ක්‍රියාත්මක කරන ලෙස වග උත්තරකාර ආගමන හා විගමන පාලකවරයා තමන්ට උපදෙස් ලබා නොදුන් බවයි.
ඉන් පසුව මෙම නඩුකරය ඉකුත් ජූලි මස 01 වැනිදා විභාගයට ගත් අවස්ථාවේදී අදාළ චෝදනාවලට නිවැරදි කරු යැයි තමන් කලින් සඳහන් කළ විත්ති වාචකය ඉවත් කර ගන්නා බවත් තමන් අදාළ චෝදනාවලට වරද පිළිගන්නා බවත් වග උත්තරකරු අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබුණි.
ඉන් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කිරීම කල් තැබුණි.
ඉන් අනතුරුව අද දින තීන්දුව ප්‍රකාශයට පත්කරමින් යසන්ත කෝදාගොඩ විනිසුරුවරයා සඳහන් කළේ මෙම ක්‍රියාව තුළින් විත්තිකරු අධිකරණයට බරපතල අපහාසයක් සිදු කර ඇති බවයි.
ඒ අනුව විත්තිකරුට බරපතළ වැඩ සහිත වසර තුනක සිර දඬුවම් නියම කරන බවත් ඉන් ඔහු රිමාන්ඩ් භාරයේ පසු වසරක කාලය අඩුකරන බවත් විනිසුරුවරයා සඳහන් කළේය.
ඒ අනුව වග උත්තරකරුට වසර දෙකක සිර දඬුවම් නියම කරන බව සඳහන් කළ විනිසුරුවරයා එම සිර දඬුවම අත්හිටුවීම නොකරන බවත් සඳහන් කර සිටියේ ය.
මෙම ක්‍රියාව තුළින් වග උත්තරකරු අධිකරණයට බරපතල අපහාසයක් සිදු කර ඇති බවත් තමන්ට එරෙහිව සාක්ෂි ඉදිරිපත් වන බව වටහාගෙන උපක්‍රමශීලී ආකාරයට පසුව වරද පිළිගැනීමට කටයුතු කර තිබෙන බවත් විනිසුරුවරයා තීන්දුවේ සඳහන් කර තිබේ.