අනුර ප්‍රියදර්ශන යාපා ඇතුළු සැකකරුවන් 4 දෙනාට ඇප

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ගනු ලැබූ හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා ඇතුළු සැකකරුවන් 4 දෙනා ඇප මත මුදා හැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (ජනවාරි 23 වැනිදා) නියම කළේය.

දීර්ඝ කරුණු සලකා බැලීමකින් අනතුරුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.

ඒ අනුව එක් එක් සැකකරු රුපියල් ලක්ෂ 25 බැගින් වූ ශරීර අප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා සෑම මසකම අවසන් ඉරු දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයට වාර්තා කළ යුතු බවටත් නියෝග කර සිටියේය.

ඊට අමතරව සැකකරුවන්ගේ විදේශ ගමන් තහනම් කිරීමට නියෝග කළ අධිකරණය ඔවුන්ගේ විදේශ ගමන් බලපත්‍ර අධිකරණයට භාරදිය යුතු බවටත් නියෝග කළේය.

ඒ අනුව අදාල සිද්ධිය සැකකරුවන් වශයෙන් නම් කර සිටි හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා, ඔහුගේ පෞද්ගලික ලේකම් වශයෙන් කටයුතු කළ ධම්මිකා ශිරාණි සුමනරත්න, ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හිටපු සභාපති එස්. අමරසේකර සහ අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම් වශයෙන් කටයුතු කළ අනුර සෙනෙවිරත්න යන සැකකරුවන් මෙසේ ඇප මත මුදා හැරීමට නියම කෙරිණි.

අනුර ප්‍රියදර්ශන යාපාට ඇති චෝදනා මොනවා ද?

හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා සහ ඔහුගේ බිරිඳ ඇතුළු සැකකරුවන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (ජනවාරි 22) අත්අඩංගුවට ගනු ලැබුවේ, රජයේ මුදල් අවභාවිතයක් සම්බන්ධයෙන් එල්ල වූ චෝදනාවකට අදාළවයි.

මුදල් සාපරාධී පරිහරණයක් මෙන්ම පොදු දේපළ යටතට ගැනෙන වරදක් බැවින් නීතිපතිවරයාගේ උපදෙස් අනුව මෙම අත්අඩංගුවට ගැනීම කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග පැවසුවේය.

අනුර ප්‍රියදර්ශන යාපා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු රජයන් නියෝජනය කරමින් කැබිනට් අමාත්‍ය ධුර ගණනාවක් හෙබවූ අයෙකි.

හිටපු අමාත්‍යවරයාට සහ බිරිඳට එල්ලවූ චෝදනා මොනවා ද?

2014 වසරේ දී බිංගිරිය, නාරම්මල ප්‍රදේශවල ගංවතුරින් අවතැන් වූ පුද්ගලයන්ට සහන සැලසීමේ මුවාවෙන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මගින් රුපියල් 61,46,110ක (රුපියල් හැට එක් ලක්ෂ හතලිස් හය දහස් එකසිය දහයක) මුදලක් ලබාගෙන, එම කටයුත්ත සඳහා භාවිතා නොකර එම මුදලින් 2015 වසරේ ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු කිරීම ඔහුට එරෙහිව ඇති චෝදනාව බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

'නීතියට අනුව ඔයාලගේ ගෙදරට සිතාසියක් එයි... අන්න එදාට එන්න'

අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර ඉකුත් ජනවාරි 21 වැනිදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදුකරමින් කියා සිටියේ මෙරට සිදුවූ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් විධිමත් විමර්ශන සිදුකරන බවයි.

''දැන් අපි විමර්ශන ආරම්භ කරලා තියෙනවා. කඩිනම් විමර්ශන කිහිපයක් තියෙනවා ඒ අතර පාස්කු ප්‍රහාරයට අදාළ විමර්ශනයත් තියෙනවා. මෙච්චර කාලයක් ඉස්පිරිතාලේ හිටිය දුමින්ද සිල්වා අද බන්ධනාගාර සිර මැදිරියක ඉන්නවා. ධනය බලය තියෙන කෙනාට එක නීතියකුත්, බලය ධනය නැති කෙනාට වෙන නීතියකුත් දැන් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. හැමෝටම එකම නීතියක් තියෙන්නේ."

"අපි බලයට පත්වෙලා පොඩි කාලයක්, නමුත් අපේ අරමුණු පොඩි නැහැ. අන්න ඒ නිසා නීතිය විධානය ආධිපත්‍ය කරන්න මේ නඩු විමර්ශන කරනවා. මේ විමර්ශන හරියට කරන්නේ නැතිව නඩු පැවරුවොත් කට්ටිය නිදහස් වෙලා යනවා."

"අපිව කලබල කරන අයට අපි කියන්නේ මෙච්චරයි. නීතියට අනුව ඔයාලගේ ගෙදරට සිතාසියක් එයි. අන්න එදාට එන්න. සිංගප්පුරුවේ මවුන්ට් එලිසබත් වල හැංගිලා ඉන්නේ නැතිව.'' අධිකරණ අමාත්‍යවරයා එහිදී පැවසීය.

'අනුර - හරිනි ආණ්ඩුවේ පළමු දඩයම'

අනුර ප්‍රියදර්ශන හිටපු අමාත්‍යවරයා සහ ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගැනීම වත්මන් ආණ්ඩුවේ දේශපාලන දඩයමක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කළේය.

'අනුර - හරිනි ආණ්ඩුවේ පළමු දඩයම හැටියට අනුර යාපා මැතිතුමාත් එම මැතිණියත් අත්අඩංගුවට අරන් තියෙනවා 2014 වසරේ ගංවතුර ආධාර බෙදීමේ සිද්ධියක් සම්බන්ධයෙන්. මේ ඇත්තෝ බලයට ආවේ අර්ජුන මහේන්ද්‍රන් අල්ලනවා කියලා. බැඳුම්කර වංචාවට වහාම පිළියම් දෙනවා කියලා. අපි හිතුවේ 2022 ආර්ථික අර්බුදයට වගකිවයුතු පිරිසකට මානව හිමිකම් කඩවීමේ චෝදනාවක් මත දඬුවම් දුන්නා. අපි හිතුවේ අපරාධ නඩු පනවලා බලගතු විමර්ශනයක් කරයි කියලා.

අපි හිතුවේ ඊ වීසා වංචාවෙන් කෝටි 320ක් රටට අහිමි කරපු දේශපාලනඥයින්ට එරෙහිව ආණ්ඩුව පියවර ගනියි කියලා. ඊ පාස්පෝට් වංචාව හරහා මාස 10කට අධික කාලයක් අපේ ජනතාවට පාස්පෝට් ගන්න බැරි කරපු ඒකෙන් මාස 04ක් මේ ආණ්ඩුව යටතේ ගෙවිලා ගියා. ඒ අයට එරෙහිව පියවර ගනියි කියලා.

ඒ කිසිවක් නැතිව අනුර යාපා සහ ඒ මැතිණිය දඩයම් කිරීමට උත්සාහ කිරීම පිටුපස්සේ තියෙන්නේ දේශපාලනය. වෙන මුකුත් නෙමෙයි. විශේෂයෙන්ම පසුගිය කාලයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ඒ හා බැදීච්ච දේශපාලන කණ්ඩායම් අලුතෙන් ප්‍රතිසංධානය වෙලා අලුතෙන් නව දේශපාලන දේශපාලන ප්‍රවාහයක් ගොඩනැගීමට කටයුතු කරමින් සිටියදී තමයි මේ ප්‍රහාරය එල්ල වුණේ.' හිටපු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පැවසීය.