ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
PTA යටතේ අසාත් සාලි අත්අඩංගුවට ගැනීම නීතිවිරෝධී බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේ ඇයි?
2021 වසරේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී පළ කරන ලද අදහස්වලින් ජාතීන් අතර සංහිඳියාවට බාධාවක් සිදු කළ බවට චෝදනා කරමින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාත් සාලි අත්අඩංගුවට ගෙන රඳවා තැබීම මගින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය වීමක් සිදුව ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේ ය.
ඒ අනුව අදාළ පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස නම්කර සිටි එවක මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ එවක අධ්‍යක්‍ෂ නිශාන්ත ද සොයිසා සහ එහි ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයන්ත පයාගල මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය කර ඇති බව ද අධිකරණ තීන්දුවේ සඳහන් විය.
එම වගඋත්තරකරුවන් අත්තනෝමතික ආකාරයෙන් ක්‍රියාකර පෙත්සම්කරු අපහසුතාවට පත්කර ඔහුට සිදුකළ හානිය වෙනුවෙන් රජය රුපියල් 75000/- වන්දි මුදලක් අසාත් සාලිට ගෙවිය යුතු බවට තීන්දු කෙරිණි.
අසාත් සාලි ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් විභාග කිරීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ලබා දුන්නේ ය.
ගාමිණී අමරසේකර, මහින්ද සමයවර්ධන යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරන ලදී.
වසර 3කට පෙර සිද්ධියක්
පෙත්සම්කාර අසාද් සාලි පවසන්නේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් 2021 වසරේ මාර්තු මස 16 වන දා කොල්ලපිටිය ප්‍රදේශයේදී තමන්ව අත්අඩංගුවට ගත් බව ය.
කොළඹ පැවති මාධ්‍ය හමුවකදී තමන් පළ කළ අදහස්වලින් ජාතීන් හා ආගම් අතර පවතින සංහිඳියාවට බාධාවක් සිදු කළේ යැයි කියමින් තමන්ව අත්අඩංගුවට ගත් බව සඳහන් කළ අසාත් සාලි, ඉන් අනතුරුව 2021 වසරේ මාර්තු මස 19 වන දා තමන්ව රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා පොලිසිය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැඳවුම් නියෝගයක් ලබා ගත් බවත් සිය පෙත්සමේ සඳහන් කර තිබේ.
ඉන් අනතුරුව, මාවනැල්ල ප්‍රදේශයේ බුදු පිළිම කඩා දැමීම, පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාර වැනි සිද්ධි පිළිබඳව ද විමර්ශන සිදු කළත් ඊට අදාළව තමන් සම්බන්ධයෙන් කිසිදු සාක්ෂියක් අනාවරණය කර ගැනීමට පොලිසිය අපොහොසත් වූ බවත් පෙත්සම්කරු සඳහන් කළේ ය.
ඉන් අනතුරුව ජාතීන් අතර සංහිඳියාව බිඳ හෙළීමට කටයුතු කළේ යැයි චෝදනා කරමින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන්ට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනු කරනු ලැබූ බවත්, එම නඩු විභාගය අවසානයේදී මහාධිකරණය විසින් තමන්ව නිදොස් කොට නිදහස් කරනු ලැබූ බවත් අසාත් සාලි ප්‍රකාශ කළේ ය.
'සාධාරණ හේතුවක් නැතිව අත්අඩංගුවට ගත්තා'
තමන්ව කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ඔහු මෙම පෙත්සම ඉදිරිපත් කර තිබිණි.
තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු සඳහන් කළේ, පෙත්සම්කාර අසාද් සාලි සිදුකළ ප්‍රකාශවලින් ආගමික සංහිඳියාව උල්ලංඝණය වූ බවට පොලිසිය එල්ල කරන චෝදනා පිළිගත නොහැකි බව ය.
මෙම පෙත්සම්කරු රඳවා ගැනීම සඳහා රැඳවුම් නියෝගය ලබා ගැනීමේදී වගඋත්තරකරුවන් ද්වේශසහගත ආකාරයෙන් ක්‍රියා කරමින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ ප්‍රතිපාදනයන්ට පටහැනි ලෙස එය ලබාගෙන ඇතැයි විනිසුරුවරයා පැවසීය.
එසේ ම, පෙත්සම්කරු අත්අඩංගුවට ගැනීම සහ රඳවා ගැනීමට ත්‍රස්තවාදය වැළැක්වීම පනත යටතේ රැඳවුම් නියෝගය ලබා ගත් ආකාරය සාධාරණීකරණය කිරීමට වග උත්තරකරුවන් අධිකරණය හමුවේ අපොහොසත් වූ බව ද තීන්දුවේ සඳහන් විය.
පෙත්සම්කාර අසාද් සාලි වෙනුවෙන් නීතිඥ කීර්ති තිලකරත්න සමග ජනාධිපති නීතීඥ ෆයිස් මුස්තාපා පෙනී සිටියහ.
වග උත්තරකරුවන් වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් පෙනී සිටියේ ය.