ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
1979 විප්ලවයෙන් පසු ඉරාන පාලකයින් මුහුණ දෙන විශාලතම අභියෝගය ගැන විමසා බැලීමක්
- Author, ලීස් ඩුසෙට්
- Role, ප්‍රධාන ජාත්‍යන්තර වාර්තාකරු
ඉරාන පාලකයෝ 1979 විප්ලවයෙන් පසු ඇති වූ බරපතළ ම අභියෝගයට මුහුණ දෙමින් සිටිති.
ඔවුහු දැන් පෙර නොවූ විරූ පරිමාණයකින් ප්‍රතිප්‍රහාර එල්ල කරමින් සිටිති. පෙර අර්බුදවලදී නොදුටු පරිමාණයකින් ආරක්ෂක හමුදා යොදවමින්, ඔවුන් දරුණු මර්දන ක්‍රියාමාර්ග මුදා හැර ඇති අතර ඉන්ටර්නෙට් ප්‍රවේශය මුළුමනින් ම අවහිර කර තිබේ.
වත්මන් පාලනයට එරෙහි කෝපයේ ඝෝෂාවෙන් පිරුණු බොහෝ වීදි දැන් නිහඬ වීමට පටන්ගෙන තිබේ.
"සිකුරාදා මහ සෙනඟක් හිටියා - හිතා ගන්න බැරි තරම් - වෙඩි තැබීම් ගොඩක් සිද්ධ වුණා . ඊට පස්සේ සෙනසුරාදා රෑ කිසි ම සද්දයක් නැති වෙලා ගියා," ටෙහෙරානයේ පදිංචිකරුවෙක් බීබීසී පර්සියානු සේවය වෙත පැවසීය.
"දැන් එළියට ගියොත්, මැරෙන්න තමයි වෙන්නේ," එක් ඉරාන මාධ්‍යවේදියෙක් සිහිපත් කළේ ය.
මෙවර, රට තුළ නිර්මාණය වී ඇති අභ්‍යන්තර කැළඹීම බාහිර තර්ජනයකින් ද තීව්ර වී තිබේ. ඒ, ඉරාන පාලන තන්ත්රය දුර්වල කළ, ඉරානය සහ ඊශ්‍රායලය අතර පැවති දින 12ක යුද්ධයේදී එක්සත් ජනපදය එරට ප්‍රධාන න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට ප්‍රහාර එල්ල කර මාස හතකට පසු, ජනාධිපති ට්‍රම්ප්ගේ හමුදා ක්‍රියාමාර්ග පිළිබඳ නැවත නැවතත් කළ අනතුරු ඇඟවීම් හේතුවෙනි.
කෙසේ වෙතත්, ඇමෙරිකානු නායකයා බොහෝවිට භාවිත කරන යෙදුමක් ඔස්සේ පැහැදිලි කළහොත්, ඇමෙරිකාව ඉරානයට සෙල්ලම් කිරීමට "තවත් කාඩ්පතක්" ලබා දී ඇත.
ට්‍රම්ප් දැන් පවසන්නේ, ඉරාන රජය නැවත සාකච්ඡා සඳහා ඉල්ලීම් කර ඇති බව ය.
නමුත් ඉරානය සිටින්නේ වාසිදායක තැනක නොවේ: ඕනෑ ම හමුවීමකට පෙර තමා තවමත් යම් ක්‍රියාමාර්ගයක් ගත හැකි බව ජනාධිපති ට්‍රම්ප් පවසයි; සාකච්ඡා සිදුවුව ද එයට නොසන්සුන්තාව සම්පූර්ණයෙන් සමනය කිරීමට නොහැකි වනු ඇත.
පූජක පාලන ක්‍රමවේදයක් ක්‍රියාත්මක වන ඉරාන උපායමාර්ගික මූලධර්මයේ සීමා අභිබවා යන, න්‍යෂ්ටික බලගැන්වීම් ශුන්‍ය කිරීම ඇතුළු එක්සත් ජනපදයේ දැඩි ඉල්ලීම්වලට ඉරානය යටත් නොවනු ඇත.
මේ මොහොතේ එල්ල වන පීඩනය කුමක් වුවත්, ඉරාන නායකයින් ගමන් මග වෙනස් කරන බවට කිසිදු සලකුණක් ද දක්නට නොහැකි ය.
"ඔවුන්ගේ නැඹුරුව වන්නේ, මේ මොහොතේ දිවි ගලවා ගැනීමට උත්සාහ කිරීම සහ පසුව ඔවුන් මෙතැන් සිට යන්නේ කොතැනටදැයි සොයා බැලීමයි," 'Iran's Grand Strategy' නම් ග්‍රන්ථයේ කතුවරයා වන Johns Hopkins School of Advanced International Studiesහි වාලි නාස් පවසයි.
"නමුත් ඇමෙරිකා එක්සත් ජනපදය, ඊශ්‍රායලය, සම්බාධක සමග ඔවුන් මුහුණ දෙන දුෂ්කරතා සැලකිල්ලට ගත්තා ම, ඔවුන් මෙම විරෝධතා මැඩපැවැත්වුවත්, ඉරාන වැසියන්ගේ ජීවිත වැඩිදියුණු කිරීමට ඔවුන්ට විකල්ප ගොඩක් නැහැ."
මෙම සතිය සිදුවීම්වල දිශානතිය කුමක් ද යන්න තීරණය කිරීමට ඉඩ ඇත. එනම් ඉරානය සහ කලාපය තවත් මිලිටරි ගැටුමකට අවතීර්ණ වෙයි ද?; අතීතයේදී මෙන්, ම්ලේච්ඡ බලය යොදවමින් මෙම විරෝධතා සම්පූර්ණයෙන් ම මර්දනය කරනු ඇත් ද? යන්න පිළිබඳ තීරණය යි.
ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි ටෙහෙරානයේ රාජ්‍ය තාන්ත්‍රිකයින්ට පැවසුවේ, "තත්ත්වය දැන් සම්පූර්ණයෙන් ම පාලනය කර ඇති," බව ය.
විරෝධතාකරුවන්ගේ ග්‍රහණයේ පැවති ටෙහෙරානයේ වීදිවලින් විරෝධතාකරුවන් ඉවත් කිරීමට පියවර ගන්නා ලෙසට රජය අණ දීමෙන් පසුව වීදි ජනතාවගෙන් පිරී ගියේ ය.
පුළුල් ලෙස සන්නිවේදන සබඳතා බිඳ වැටී දින හතක් ගතවී ඇතත්, ස්ටාර්ලින්ක් මෙන් ම ඉරාන වැසියන්ගේ තාක්ෂණික ප්‍රයෝග හේතුවෙන් තවමත් ඉරානයේ බියකරු තත්ත්වය පිළිබඳ තොරතුරු ලෝකය වෙත ගලා යමින් පවතී.
තුවාලකරුවන්ගෙන් පිරී ඉතිරී ගිය රෝහල් පිළිබඳ වෛද්‍යවරුන්ගේ ප්‍රකාශ, මළ සිරුරු දැමූ කළු පැහැති බෑග් එක පෙළට ගොඩ ගැසූ එළිමහන් මෘත ශරීරාගාරවල වීඩියෝ දර්ශන, තම කම්පනය සහ බිය ප්‍රකාශ කරන පුදගලයින්ගේ හඬපට බීබීසී පර්සියානු සේවයේ මාධ්‍යවේදීන් වෙත ලැබී තිබේ.
සංඛ්‍යා දත්ත ඉහළ යමින් පවතී. 2022 සහ 2023 වසරවල මාස හයකට වැඩි කාලයක් පැවති නොසන්සුන්තාවයේ අවසන් රැල්ලේදී, මානව හිමිකම් කණ්ඩායම් විසින් මරණ 500ක් පමණ වාර්තා කරන ලද අතර අත්අඩංගුවට ගැනීම් 20,000කට වඩා සිදු විය. මෙවර, සති කිහිපයක් ඇතුළත, වාර්තා පවසන්නේ මරණ සංඛ්‍යාව දැනටමත් බෙහෙවින් ඉහළ ගොස් ඇති බවත් මේ වන විට 20,000කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බව ය.
රජය ලේ වැගිරීම් සිදු කළ බව ප්‍රතික්ෂේප නොකරයි; රාජ්‍ය රූපවාහිනිය ද තාවකාලික මෘත ශරීරාගාරවල දර්ශන විකාශනය කරමින් සිටින අතර, ඇතැම් විරෝධතාකරුවන් මරා දමා ඇති බව පවා පිළිගනී.
ඉරානයේ වීදි ගින්නෙන් වැසී ගොස් ඇත. ජනතාව තුළ වූ කෝපය කොතෙක් ද යත් ඔවුහු රජයේ ගොඩනැගිලි පවා ගිනි තැබූහ. ඒවා ඉරාන පාලන ක්රමයේ සංකේත වේ. පොදු දේපළවලට හානි කිරීම රජය "ත්රස්තවාදීන්ගේ සහ කැරලිකරුවන්ගේ" ක්‍රියාවක් ලෙස හෙළා දකී.
නීතිමය ප්රකාශනවල ස්වරය ද දැන් දැඩි වී ඇත - "ම්ලේච්ඡ ක්‍රියා සිදු කරන්නන්ට" එරෙහිව "දෙවියන් වහන්සේට එරෙහිව ක්‍රියා කිරීම" සම්බන්ධයෙන් චෝදනා ගොනු කරන අතර, වැරදිකරුවන්ට මරණ දඬුවමට මුහුණ දීමට සිදුවනු ඇත.
රට අභ්‍යන්තරයේ සිදුවූ ජනතා නැගිටීම සඳහා රජය ප්‍රධාන වශයෙන් දොස් පවරන්නේ සිය විදේශීය සතුරන්ට එනම්, ඊශ්‍රායලය සහ ඇමෙරිකා එක්සත් ජනපදය වෙත යි. මෙවර ඔවුන්ගේ චෝදනාව තවත් ශක්තිමත්ව එල්ල කිරීමට හේතුවක් වන්නේ, පසුගිය වසරේ ඔවුන්ගේ දින 12ක යුද්ධයේදී ඊශ්‍රායලයේ මොසාඩ් ආරක්ෂක ඒජන්සිය රට තුළට රහසිගතව ඇතුළු වී ක්‍රියාත්මක කළ මෙහෙයුම යි.
ඉරානයේ ඇති වන සෑම නව නොසන්සුන්තාවදී ම, එක ම ප්‍රශ්න අසනු ලැබේ: මෙම විරෝධතා කොතරම් දුරකට යනු ඇති ද?; වීදිවලට සහ චතුරශ්රවලට රැස්වන්නේ කවුද; බලධාරීන් ප්‍රතිචාර දක්වන්නේ කෙසේ ද?
මෙම නවතම රැල්ල බොහෝ ආකාරවලින් සුවිශේෂී වේ.
එය ආරම්භ වූයේ ඉතාමත් සාමාන්‍ය ආකාරයකට ය. දෙසැම්බර් 28 වන දින, ටෙහෙරානයේ ආනයනික ඉලෙක්ට්‍රොනික භාණ්ඩ අලෙවි කරන වෙළෙන්දෝ රටේ මුදල් ඒකකයේ සිදුවූ හදිසි බිඳවැටීමෙන් කම්පනයට පත් වූහ; ඔවුන් තම වෙළෙඳසල් වසා දමා, වැඩ වර්ජනයක නිරත වූ අතර, එහි සිටි අනෙක් පිරිසට ද ඊට සම්බන්ධ වන ලෙස ඉල්ලා සිටියහ.
රජයේ ආරම්භක ප්‍රතිචාරය ඉක්මන් සහ දරුණු නොවිණි. උද්ධමනය 50%ට ආසන්න මට්ටමකට ළඟා වී ඇති සහ මුදල් අවප්‍රමාණය වීම ජනතාවගේ දුෂ්කර ජීවිතවලට දිගින් දිගට ම පහර දෙන රටක, ජනාධිපති මසූද් පෙසෙෂ්කියාන් සංවාදයක් සඳහා පොරොන්දු වූ අතර "නීත්‍යනුකූල ඉල්ලීම්" පිළිගත්තේ ය.
දුක්ෂරතා මග හරවා ගැනීම සඳහා කඩිනමින් සෑම කෙනෙකුගේ ම බැංකු ගිණුමට ඇ. ඩොලර් 7ක නව මාසික දීමනාවක් තැන්පත් කෙරිණි.
නමුත් මිල ගණන් තවදුරටත් ඉහළ ගියේ ය; නොසන්සුන්තාව තවත් උග්‍ර විය.
සති තුනකටත් අඩු කාලයකදී, ඉරාන වැසියෝ දූරස්ථ නගරවල සිට ප්‍රධාන නගර දක්වා සෑම තැනක ම පාහේ පෙළපාළි යමින්, ආර්ථික හා දේශපාලන වෙනසක් සඳහා හඬ නගන්නට වූහ.
දැන් ඉක්මන් හා සරල විසඳුම් නැත; ඒ මෙම ක්‍රමවේදයේ ස්වභාවය යි.
වසර ගණනාවක ජාත්‍යන්තර සම්බාධක, වැරදි කළමනාකරණය සහ දූෂණය, නිදහස සීමා කිරීම සම්බන්ධයෙන් සමාජය තුළ නිර්මාණය වී ඇති දැඩි කෝපය සහ බටහිර රටවල් සමග දිගු කලක් පුරා පවතින ගැටුම්වලින් ඉරානය බරපතළ අර්බුදයකට මුහුණ පා සිටී.
නමුත්, රජය තවමත් ඒ සියල්ල දරාගෙන සිටින බවක් පෙනේ.
"පාලනය පූර්ණ ලෙස බිඳ වැටෙන්න තාම වැදගත් ම දේ සිද්ධ වෙලා නැහැ. ඒ කියන්නේ ආරක්ෂක අංශ තීරණය කරන්න ඕනේ රජයට තවදුරටත් සහය දෙන්නේ නැති බවටත් ඔවුන් වෙනුවෙන් මිනිස්සුන් මරා දමන්නේ නැති බවටත්," වොෂින්ටනයේ කානගී එන්ඩොව්මන්ට් ආයතනයේ ජ්‍යෙෂ්ඨ විශේෂඥයෙකු වන කරීම් සජාඩ්පෝර් පැහැදිලි කරයි.
මෙම අර්බුදය ඔඩු දිවීමට පෙර, ඉරානයේ පාලකයින් අතර ඇතැම් ප්‍රධාන ගැටලු සම්බන්ධයෙන් මතභේද පැවති බව දන්නා කරුණකි: ගාසා යුද්ධයේදී එහි මිලිටරි හිතවතුන්ට සහ දේශපාලන හවුල්කරුවන්ට එල්ල වූ ප්‍රහාරවලින් පසු උපායමාර්ගිකව නැවතත් ප්‍රතිචාර දැක්වීමට ශක්තිමත් වන්නේ කෙසේ ද? යන්න මෙන් ම, නව න්‍යෂ්ටික ගිවිසුමක් සම්බන්ධයෙන් ඇමෙරිකා එක්සත් ජනපදය සමග අසාර්ථක වූ සාකච්ඡා නැවත ආරම්භ කරන්නේ කරන්නේ ද? සහ එය කරන්නේ කෙසේ ද? යන්න එම ගැටලු අතර විය.
නමුත් ඔවුන්ගේ පද්ධතිය තවදුරටත් පවත්වාගෙන යාම අන් සියල්ලට ම වඩා වැදගත් වේ.
තීරණ ගැනීමේ අවසාන බලය තවමත්, රෝගාතුරව සිටින 86 හැවිරිදි උත්තරීතර නායක අයතුල්ලා කමේනි සතුව පවතී. නමුත් ඔහු වටා ඔහුගේ වඩාත් පක්ෂපාතී ආරක්ෂක කණ්ඩායම සිටී. ඔවුන් අතර ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකාය (IRGC) සිටින අතර ඔවුන් දැන් ඉස්ලාමීය ජනරජයේ ආර්ථිකය, දේශපාලනය සහ ආරක්ෂාව කෙරෙහි බලය දරයි.
ජනාධිපති ට්‍රම්ප්ගෙන් දිනපතා ම පාහේ එල්ල වන තර්ජන ඉහළ ම ස්ථානවලට දැනී ඇති බව දන්නා කරුණකි. විදේශ රටවල් මැදිහත් වුවහොත් කුමක් සිදුවිය හැකි දැයි විවිධ මත පළ වීමට බොහෝ දෙනෙකුට එය හේතු වී තිබේ.
හමුදා ක්‍රියාමාර්ග විරෝධතාකරුවන්ට ශක්තියක් විය හැකි ය; නමුත් එමගින් ප්‍රතිවිරුද්ධ ප්‍රතිඵල ලැබීමට ද ඉඩ තිබේ.
"ප්‍රධාන බලපෑම තමයි රජය දුර්වල වෙලා තියෙන අවස්ථාවක නායකයෝ ටික එකමුතු වෙලා පාලන තන්ත්රය තුළ තියෙන බෙදීම් යටපත් කර ගන්න එක," යනුවෙන් ලන්ඩනයේ පිහිටි චැතම් හවුස් බුද්ධි මණ්ඩපයේ මැද පෙරදිග සහ උතුරු අප්‍රිකානු වැඩසටහනේ අධ්යක්ෂ සනම් වකීල් පවසයි.
ජනාධිපති ට්‍රම්ප්ට මැදිහත් වන ලෙස ඉල්ලා සිටින ඉරාන ජාතිකයන් අතර වඩාත් ප්‍රබල හඬක් වන්නේ රටින් පිටුවහල් කරන ලද හිටපු ඔටුන්න හිමි කුමරු රෙසා පහ්ලවී ය. 1979 ඉස්ලාමීය විප්ලවයේදී ඔහුගේ පියා බලයෙන් පහ කෙරිණි. නමුත් ඔහුගේ ප්‍රකාශ සහ ඊශ්‍රායලය සමග ඔහුට ඇති සමීප සබඳතා මතභේදාත්මක ය.
නොබෙල් සාම ත්‍යාගලාභී නාර්ගීස් මොහොම්මදීගේ සිට තවමත් ඉරානයේ සිරගතව සිටින සම්මානලාභී චිත්‍රපට නිෂ්පාදක ජෆාර් පනාහි දක්වා අනෙකුත් හඬවල් අවධාරණය කරන්නේ, වෙනස සාමකාමී විය යුතු බවත් එය ඇතුළතින් ම පැමිණිය යුතු බවත් ය.
වත්මන් නොසන්සුන්තාව තුළ, මෙම නැගිටීම ශක්තිමත් කිරීමට සහ එයට හැඩයක් ලබා දීමට පහ්ලවී තම හැකියාව පෙන්වා ඇත. පසුගිය සතිය ආරම්භයේදී ඔහු ජනතාවට එකතු වන ලෙස කළ ඉල්ලීම් හරහා ශීත ඍතුවේ දැඩි ශීතල මධ්‍යයේ පවා ජනතාව නිවෙස්වලින් පිටතට ගැනීමට ඔහු සමත් විය.
ඔහුට ලැබෙන සහයෝගය කොතෙක් ද යන්න සහ වෙනසක් බලාපොරොත්තු වන ජනතාවගේ කැමැත්ත හුරුපුරුදු චරිතයක් සඳහා ලැබේ ද? යන්න දැන ගැනීම අපහසු ය. සිංහයා සහ හිරු සහිත ඉරානයේ විප්ලවයට පෙර පැවති ධජය නැවතත් ලෙළ දෙමින් තිබේ.
තමාගේ උත්සහය, රාජාණ්ඩු ක්‍රමය නැවත ගෙන ඒමට නොව ප්රජාතන්ත්රවාදී සංක්රාන්තියකට නායකත්වය දීමට බව පහ්ලවී අවධාරණය කරයි; නමුත් අතීතයේදී ඔහු, බෙදී ගිය ඉරාන ඩයස්පෝරාව එක්සත් කළ චරිතයක් නොවිණි.
ඉරානය පාලනය කරන පූජකයින්ට තවමත් සහය දක්වන්නන් ඇතුළු ඉරාන වැසියන්ගේ සිත් තුළ බිඳවැටීම හා අවුල්සහගත තත්ත්වයන්, මූල්‍ය දුෂ්කරතා සහ තවත් බොහෝ දේ පිළිබඳ බියක් පවතී. ඇතැමුන්ගේ සිත් තුළ ඇත්තේ විප්ලවයක් නොව ප්රතිසංස්කරණයකි.
ඉතිහාසය අපට පවසන්නේ, වීදිවල දක්නට ලැබෙන ජනතා උද්යෝගය සහ මර්දන බලය එකිනෙක ගැටෙන විට, වෙනස ඉහළින් හෝ පහළින් පැමිණිය හැකි බව ය. ඒ පිළිබඳව අනාවැකි පළ කළ නොහැකි ය. එමෙන් ම, එය උපද්‍රව සහිත ක්‍රියාවලියකි.