කලාඔය පාලම මතදී සැඩ පහරට හසුවූ බස් රථයේ රියැදුරාට මිනී මැරුම් චෝදනා

    • Author, බීබීසී සිංහල

අධික වැසි හේතුවෙන් රට පුරා ආපදා තත්ත්වයක් පැවති පසුබිමක පිටාර ගලමින් තිබූ කලාඔය පාලම මතින් පොලිස් නිලධාරීන්ගේ අණ නොතකා මහාධිකරණ විනිසුරුවරයෙකු ඇතුළු මගීන් 68 දෙනෙකු රැගත් බස් රථයක් ධාවනය කර මගීන් දෙදෙනකු මරණයට පත් කර තවත් මගීන් 66 දෙනෙකුගේ ජීවිත අනතුරේ හෙලීම සම්බන්ධයෙන් එම බස් රථයේ රියැදුරා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරිණි.

මහාධිකරණ විනිසුරුවරයෙකු ඇතුළු මගීන් 68 දෙනෙකු රැගත් පෞද්ගලික බස් රථය, පොලිස් නිලධාරීන්ගේ අවවාද සහ මහ ජනතාවගේ ඉල්ලීම් නොතකමින් ධාවනය කර බස් රථය සැඩ පහරට ගසාගෙන යාමට සලස්වා මගීන් පිරිස අනතුරක හෙළීමට අදාළ චෝදනා මත ඔහු ජනවාරි 21 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නොච්චියාගම මහේස්ත්‍රාත් පී.ආර්.අයි ජමීල් නියෝග කළේ ය.

රාජාංගණය පොලිසිය මගින් සැකපිට අත් අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කරන ලද්දේ, එහි රියැදුරා වූ සාලියවැව, ඉහළ පුලියන්කුලම, බලගොල්ලාගම පදිංචි ධනුෂ්ක කුමාරසිංහ නැමත්තෙකි.

මිනී මැරුම් සහ මිනී මැරීමට තැත් කිරීමේ චෝදනා

මෙම සැකකාර පෞද්ගලික බස් රථ රියැදුරාට ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 296 වගන්තිය මගින් කියැවෙන මිනී මැරුම් චෝදනා සහ ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 300 වගන්තිය මගින් කියැවෙන මිනී මැරීමට තැත් කිරීමේ චෝදනා ගොනු කර තිබීම විශේෂත්වයකි.

පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි තඹුත්තේගම සහකාර පොලිස් අධිකාරිවරයා පැවසුවේ, මිනී මැරුම් සහ මිනී මැරීමට තැත් කිරීමේ චෝදනා යටතේ සැකකාර රියැදුරාට එරෙහිව මෙම නඩුව පවත්වාගෙන යාමට තීරණය කර ඇති බව ය.

මේ අතර, සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් දීර්ඝව කරුණු දක්වමින් අධිකරණයට කියා සිටියේ, මෙම අනතුර වන අවස්ථාවේ බස් රථයේ සිටි මගීන්ගේ ජීවිතවලට හානි කිරීමේ හෝ ඔවුන්ගේ ජීවිත අනතුරේ හෙළීමේ චේතනාවකින් සැකකරුට නොතිබූ බව ය.

ඒ අනුව, සැකකරුට එරෙහිව මිනී මැරුම් සහ මිනී මැරීමට තැත් කිරීමේ චෝදනා එල්ල කිරීම යුක්තිසහගත සහ සාධාරණ නොවන බව ප්‍රකාශ කළ නීතිඥයින් සැකකරුට එරෙහිව එල්ල කර ඇති මිනී මැරීම් සහ මිනී මැරීමට තැත් කිරීමේ චෝදනා ඉවත් කර සැකකරු ඕනෑ ම ඇප කොන්දේසියක් මත මුදා හරින ලෙස ඉල්ලා සිටියේ ය.

දෙපාර්ශවයේ කරුණු දැක්වීම් සැලකිල්ලට ගත් නොච්චියාගම මහේස්ත්‍රාත්වරයා, සැකකරුට එරෙහිව රාජාංගණය පොලිසිය විසින් එල්ල කරනු ලැබ ඇති මිනී මැරම් චෝදනා සහ මිනී මැරීමට තැත් කිරීමේ චෝදනා ඉවත් කරන ලෙස සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් කළ ඉල්ලීම් තරයේ ප්‍රතික්ෂේප කළේ ය.

නීතිඥයින්ගේ ඉල්ලීම් ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත්වරයා සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින්ට දැනුම් දුන්නේ සැකකරුට මහාධිකරණයෙන් ඇප ඉල්ලීම් කළ හැකි බව ය.