ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
කොළඹ සිට නුවරට සහ බදුල්ලට නැවත දුම්රියෙන් ඔබට යන්න හැකිවෙන්නේ කවදා ද?
- Author, බීබීසී සිංහල
ආපදා තත්ත්වයෙන් හානියට පත් වූ ශ්‍රී ලංකාවේ ප්‍රධාන දුම්රිය මාර්ගය වන උඩරට දුම්රිය මාර්ගයේ, රඹුක්කන සිට මහනුවර දක්වා කොටසේ දුම්රිය ධාවනය ආරම්භ කිරීමට වසරක පමණ කාලයක් ගත වනු ඇතැයි ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන පවසයි.
දිවයිනට බලපෑම් කළ සුළි කුණාටු සහිත වැසි තත්ත්වය හේතුවෙන් ඇති වූ නායයාම් හා ගංවතුර නිසා රට තුළ දුම්රිය ගමනාගමනය සැලකිය යුතු මට්ටමකින් අක්‍රීය විය.
කෙසේ වෙතත් මේ වන විට ඇතැම් දුම්රිය මාර්ග මෙන් ම හානියට පත් වූ පාලම් සහ බෝක්කු ආදිය පිළිසකර කර දුම්රිය ගමනාගමනය යථාවත් කරමින් පවතියි.
'දළ වශයෙන් අවුරුද්දක් එකහමාරක් වගේ කාලයක් යන්න ඉඩ තියෙනවා'
ආපදා තත්ත්වය නිසා උඩරට දුම්රිය මාර්ගයට දැඩිව හානි වී ඇති අතර එහි රඹුක්කන සිට මහනුවර දක්වා වූ කොටස පිළිසකර කිරීමට වසරක පමණ කාලයක් ගත වනු ඇතැයි ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන බීබීසි සිංහල සේවයට කියා සිටියේය.
"අපි බලන්නේ රඹුක්කනින් එහාට නුවර ට්‍රේන් එක කොහොමද ගන්න කියන එක. ඒකේ ලොකු වැඩ ගොඩක් තියෙනවා. දළ වශයෙන් අපි හිතන්නේ අවුරුද්දක් විතර ගතවෙන්න ඉඩ තියෙනවා, රඹුක්කන ඉඳලා නුවරට කෝච්චිය යන්න."
කොළඹ සිට බදුල්ල දක්වා සම්පුර්ණ දුම්රිය ගමන් මාර්ගයේ වැඩ කටයුතු ද අවසන් කිරීමට ඒ හා සමාන කාලයක් ගත වනු ඇතැයි නියෝජ්‍ය අමාත්‍යවරයා විශ්වාසය පළ කළේය.
"බොහෝ දුරට අඹේවෙලට ගන්න පුළුවන් ලබන සතිය වෙනකොට, අඹේවෙල- නානුඔය, ඊට පස්සේ නානුඔයේ ඉඳලා නාවලපිටිය, නාවලපිටිය ඉඳලා පේරාදෙණිය ඔය සෙක්ෂන් ටිකනේ තියෙන්නේ. ඔය ටික එකක් ඉවර කරලා එකක් පටන් ගන්නවා නෙමෙයි, පැරරල් පටන් ගන්නවනේ. දළ වශයෙන් අවුරුද්දක් එකහමාරක් වගේ කාලයක් යන්න ඉඩ තියෙනවා සම්පුර්ණ ටික ම ඉවර කරන්න." ඔහු පැවසීය.
බදුල්ල හා අඹේවෙල අතර දුම්රියක් ධාවනය කරයි
මේ අතර නායයාමෙන් සහ පස් කඳු කඩා වැටීම හේතුවෙන් හානි වී තිබූ බදුල්ල හා අඹේවෙල අතර දුම්රිය මාර්ගය යථාවත් කිරීමෙන් අනතුරුව දෙසැම්බර් 14 වෙනි දා දුම්රිය මාර්ග පරික්ෂාව සඳහා දුම්රියක් ධාවනය කර තිබේ.
සංචාරක ආකර්ෂණය දිනාගෙන තිබු එම මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු ආරම්භ කරන ආකාරය පිළිබඳව ද බීබීසි සිංහල සේවය ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන ගෙන් විමසීය.
"අපි ඉස්සෙල්ලා ම ටෙස් රන් එක ගියේ, සර්විස් ට්‍රේන් තමයි යෙදෙව්වේ. ඊට පස්සේ අපි NBRO රිපෝර්ට් එක බලාපොරොත්තු වෙනවා. තැන් කිහිපයක් තියෙනවා NBRO නිරීක්ෂණය කරලා ඉවර වෙලා ඒගොල්ලන්ගේ රිපෝර්ට්ස් දෙන්න ඕනේ. මොන තත්ත්වය යටතේ ද මේක ධාවනය කරන්න ඕනේ කියන එක. වර්ෂාපතනය තියෙනකොට ස්ප්‍රිඩ් ලිමිට් එක දාන්න වෙයි සමහර විට, ඔන්න ඔය ගැටලු එක්ක බලන්න තියෙන්නේ. එක බලලා අපි බලාපොරොත්තු වෙන්නේ ඉමීඩියට්ලිම, අපි හිතනවා සතියක් දෙකක් ඇතුළත පුළුවන් වෙයි කියලා අඹේවෙල, බදුල්ල ට්‍රේන් එක දුවවන්න. ඒක ටුවරිසම්වලට ලොකු බෙනිෆිට් එකක් වෙයි. ඊට පස්සේ අපි බලන්න ඕනේ කොහොමද මේක දික් කරන්නේ කියලා. අඹේවෙල ඉඳලා නානුඔයට ඇරගන්න හැකියාව තියෙනවා නම් සංචාරක කර්මාන්තය පැත්තෙන් ලොකු වැලියු එකක් තියෙනවා."
'යකා පාලමේ' දුම්රිය ධාවනය නවත්වනවා ද?
පැවති ආපදා තත්ත්වයෙන් උඩරට දුම්රිය මාර්ගයේ තිබූ බොහෝ පාලම්වලට හානි වී තිබුණි. ඒ අතර කාගෙත් අවදානය යොමුව තිබුණේ පේරාදෙණියේ පිහිටි 'යකා පාලම' වෙත ය.
"යකා පාලමේ අංශක 7ක ඇලවීමක් තියෙනවා. දැන් අපි බලන්න ඕනේ විශේෂඥ ඉංජිනේරුවන්ගේ උපදෙස් එක්ක ඒක හදන්න පුළුවන් ද කියලා. ඒ ඇඳවීම එළියට පෙනුණ ට ඇතුළට තව මොනවාද වෙලා තියෙන්නේ. ඒවත් එක්ක බලලා ඒ ඇසෙස්මන්ට් එක එක්ක තමයි බලන්න වෙන්නේ ඒ පාලම පාවිච්චියට ගන්න පුළුවන් ද කියන එක. එහෙම බැරි වුණොත් අලුතෙන් ම පාලමක් දාන්න වෙනවා."
උඩරට දුම්රිය මාර්ගය වෙනස් කරන්න වෙයි ද?
උඩරට දුම්රිය මාර්ගයේ අලුත්වැඩියා කටයුතු ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිර්දේශය මත සිදුකරන බව පැවසු නියෝජ්‍ය අමාත්‍යවරයා එහි තීරණය මත ඉදිරි කටයුතු සිදු කරන බව කියා සිටියේය.
"හැමදේම ඩිපෙන්ට් වෙන්නේ NBRO රිපෝර්ට් එක මත. මේ ට්‍රැක් එක මේ තියෙන ලොකේෂන් එකේ හදන්න පුළුවන්ද කියන එකවත් NBRO රෙකමන්ඩේෂන් තාම අපිට හම්බ වුණේ නැහැ. ඔය ලයින් එකේ අපිට ට්‍රැක් එක හදන්න පුළුවන්ද, මෙතන තව රිස්ක් එකක් තියෙනවාද, ට්‍රැක් එක වෙන ම පාරක යන්න වෙනවා ද, ඒ ඔක්කොම තීරණය වෙන්නේ NBRO රෙකමන්ඩේෂන් මත."
නුවර, රඹුක්කන අතර ඒකාබද්ධ බස් හා දුම්රිය සේවාවක්
දැනට මහනුවර සිට කොළඹ දක්වා එදිනෙදා ගමන් කරන මගීන් වෙනුවෙන් මහනුවර සහ රඹුක්කන දුම්රිය ස්ථාන අතර බස් රථ, දුම්රිය ඒකාබද්ධ සේවාවක් ආරම්භ කර තිබේ.
දෙසැම්බර් 15 වෙනිදා සිට ක්‍රියාත්මක එම සේවාවට අනුව උදෑසන සහ සවස් වරුවේ බස් දුම්රිය ඒකාබද්ධ කාල සටහනක් ක්‍රියාත්මක කිරීමට ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය කටයුතු කර ඇත.
ඒ අනුව පෙරවරු 4.15ට සහ 4.45ට මහනුවර සිට රඹුක්කන දෙසට බස් ගමන් වාර දෙකක් සහ රඹුක්කන සිට කොළඹ දෙසට පෙරවරු 5.57ට සහ 6.24ට දුම්රිය ගමන් වාර දෙකක් ක්‍රියාත්මක වේ.
එමෙන්ම පස්වරු 06.10ට හා 07.10ට රඹුක්කන සිට මහනුවර දෙසට බස් ගමන් වාර ක්‍රියාත්මක බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය නිවේදනය කර ඇත.
මහනුවර, පේරාදෙණිය, පිළිමතලාව, කඩුගන්නාව, මාවනැල්ල, කරඬුපන හන්දිය සහ රඹුක්කන මෙහි ගමන් මාර්ගය බව ද එහි දැක්වේ.
දුම්රිය සේවාවට සිදුව ඇති පාඩුව කොපමණ ද?
ගංවතුර, නායයාම් සහ පස් කඳු කඩා වැටීම්වලින් රට පුරා දුම්රිය මාර්ගවලට දැඩි අලාභ හානි සිදුවූ අතර ඉන් වැඩි ම හානියක් සිදුව ඇත්තේ උඩරට දුම්රිය මාර්ගයට වේ.
ආපදා තත්ත්වයෙන් දුම්රිය සේවයට සිදුවූ සමස්ත අලාභය තවමත් ප්‍රකාශ කිරීමට නොහැකි වුව ද ඉන් දුම්රිය මාර්ග පද්ධතියට රුපියල් බිලියන 69කට ආසන්න පාඩුවක් සිදුව තිබෙන බව නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
"දුම්රිය සේවයේ පාඩුව හරියට කියා ගන්න බැරුව තියෙන්නේ. මාර්ග පද්ධතියට නම් රුපියල් බිලියන 69ක 70ක පාඩුවක් වෙලා තියෙනවා."