ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
අලවතුගොඩ - රඹුක් ඇළ නාය යාමෙන් අවසන් මොහොතේ දිවි ගලවා ගත් රෂීම්
- Author, රන්ජන් අරුන් ප්‍රසාද්
- Role, බීබීසී දෙමළ සේවය
"ලොකු සද්දයක් ඇහුණා. මම දොර ඇරියා. දොර ඇරපු ගමන් භූමිකම්පාවක් වගේ දැනුනා. එක පාරට ම එක ගෙයක් සම්පූර්ණයෙන් ම පොළවට යට වුණා. ඒ ගෙදර යට වෙනවා මම මගේ ඇස් දෙකෙන් ම දැක්කා," මහනුවර ප්‍රදේශයේ නාය යාමකින් අවසන් මොහොතේ දිවි ගලවා ගත් රෂීම් බීබීසී දෙමළ සේවයට මෙසේ පැවසීය.
අලවතුගොඩ නගරයේ පිහිටා ඇති රඹුක් ඇළ කඳුකර ගම්මානයේ ඉකුත් 28 වන දා රාත්‍රියේ විශාල නාය යාමක් සිදු විය. ගම්වැසියන් විශාල පිරිසක් එයට ගොදුරු වී ඇති බවට සැක කෙරුණු අතර නාය ගිය ස්ථානයේ ඒ වන විටත් මුදා ගැනීමේ කටයුතු සිදු කෙරෙමින් පැවතිණි. මෙවැනි පසුබිමක බීබීසී දෙමළ සේවය එම ප්‍රදේශයට ගොස් නිරීක්ෂණයක නිරත විය.
"අපි ඉක්මනට ම එළියට ආවා. අපි පල්ලිය ළඟට ආවට පස්සේ තමයි ලොකු ම නාය යාම ආවේ. ඒක විශාල නාය යාමක්. විශාල ශබ්දයක් ඇහුණා. මගේ ගේ හදලා මාස හතරයි. මගේ ලොරිය, වාහනය ඔක්කොම ගියා," රෂීම් තවදුරටත් පැවසීය.
රඹුක් ඇළ ගම්මානය මුස්ලිම් ජනතාව බහුලව වෙසෙන කඳුකර ප්‍රදේශයකි. මෙම ගම්මානය පිහිටා ඇත්තේ මහනුවර - මාතලේ ප්‍රධාන මාර්ගයේ අලවතුගොඩ නගරයේ සිට කිලෝමීටර් 7ක් පමණ දුරිනි.
සිදුවූයේ කුමක් ද?
නොවැ. 28 මධ්‍යම රාත්‍රියේ ධාරානිපාත වර්ෂාවක් ඇද හැළී තිබිණි. එම අවස්ථාවේදී, එකවර විශාල ශබ්දයක් ඇසී ඇති අතර, තත්පර කිහිපයක් ඇතුළත නිවසක් පස්වලට යටවී ගොස් තිබේ.
මෙම නිවස පොළොව යට වැළලී ගොස් විනාඩි කිහිපයක් ඇතුළත තවත් විශාල ශබ්දයක් ඇසුණු බව ප්‍රදේශවාසීහු පවසති. ඉන් අනතුරුව, කඳුකර ප්‍රදේශයේ විශාල නාය යාමක් සිදුව ඇත.
මෙම ස්ථානයේ නිවාස 14ක් පමණ පස්වලට යට වැළලී ඇති බව ජනතාව පවසති. එම නිවාසවල පුද්ගලයන් 40 දෙනෙකු පමණ පදිංචිව සිට ඇති බව ද ජනතාව පැවසූහ.
කෙසේ වෙතත්, පොලිසිය සහ ග්‍රාම නිලධාරීවරයා විසින් සිදු කරන ලද තක්සේරුව අනුව එම ප්‍රකාශය මෙතෙක් තහවුරු වී නොමැත. නිවාස පමණක් නොව, නිවෙස්වල තිබූ රථවාහන පවා පොළොවට යටව ගොස් තිබේ.
රඹුක් ඇළ ප්‍රදේශයේ අඩකට ආසන්න ප්‍රමාණයක් පස්වලට යට වී ගොසිණි.
ප්‍රදේශයේ තරුණයෝ තම ඥාතීන් සෙවීමේ අරමුණින් උදලු ඇතුළු මෙවලම්වලින් විවිධ ස්ථානවල පොළොව හාරමින් සිටියහ.
29 වන දා අලුයම සිට සෝදිසි මෙහෙයුම් ආරම්භ කළ නමුත්, 30 වන දා වන විට සොයාගෙන ඇත්තේ මළ සිරුරු 9ක් පමණි. කෙසේ හෝ තම ඥාතීන් සොයා ගැනීමට හැකිවනු ඇතැයි යන අපේක්ෂාවෙන් තරුණයෝ තවදුරටත් සෙවීමේ කාර්යයේ නොනවත්වා නිරත වූහ.
ජනතාව පවසන්නේ කුමක් ද?
මහනුවර ශ්‍රී දළදා මාළිගාව ඇතුළු බෞද්ධ විහාරස්ථානවල ආධාර ද ඇතිව විපතට පත් ජනතාවට ආහාර මෙන් ම අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සපයනු ලබන අයුරු දක්නට ලැබිණි.
හමුදා නිලධාරීන් ඇතුළු පිරිස් ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා සහය ලබා දුන්න ද, තමන්ට තවමත් නිසි අයුරින් සම්පූර්ණ සහයෝගයක් නොලැබෙන බව එම ප්‍රදේශවාසීහු පැවසූහ.
නාය ගිය ස්ථානය හරහා විශාල වශයෙන් ජලය ගලා යන ආකාරය දැකගත හැකි ය. ජලය ගමන් කරන ස්ථානවල පස් කෙමෙන් කඩා වැටෙන අයුරු නිරීක්ෂණය විය.
නායට හසු වූ නිවසක සේවය කළ ලෙච්චුමි අතුරුදහන් වූවන් ගැන කම්පා වෙමින් බීබීසී දෙමළ සේවය වෙත අදහස් දැක්වූයේ මෙලෙසිනි:
"එයාලා හැමෝම හොඳ මිනිස්සු. සල්ලි දේපළ තියෙන කට්ටිය. ලොකු ගෙවල් තිබුණා. හොඳ පවුල් ටික. එක ගෙදරක පස් දෙනෙක් අට දෙනෙක් වගේ හිටියා. එයාලා පිටරට ඉඳලා ඇවිල්ලා ගෙවල් හැදුවා. එතන හිටපු හැමෝම නෑදෑයෝ. හැමෝම මැරිලා."
මළ සිරුරු ගොඩ ගැනීමට දැඩි ප්‍රයත්නයක් දැරුව ද, එය කිරීමට නොහැකි තත්ත්වයක් පැවති බව එම ප්‍රදේශයේ පදිංචි තාෂිෆ් පැවසූහ.
"නාය යාම සිදුවුණේ රෑ 12ට. ඔක්කොම ලොකු ගෙවල්. හැමදේම නැති වුණා," යනුවෙන් තාෂිෆ් සඳහන් කළේ ය.