ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ව්‍යසනකාරී තත්ත්වය සම්බන්ධයෙන් බලධාරීන් ගම්පොළ ජනතාවට පූර්ව දැනුම් දීමක් කළා ද? බලධාරීන්ගේ ප්‍රතිචාරය කුමක් ද?
- Author, බීබීසී සිංහල
ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ දෙකකින් සමන්විත ගම්පොළ පොලිස් කොට්ඨාසය තුළ 'දිට්වා' සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ නාය යාම් හා ගංවතුරින් දෙසැ. 5 වන දා දහවල් 12 පමණ වන විට අවම වශයෙන් මරණ 80ක් වාර්තා වී ඇතැයි ආපදා සහන සේවා කමිටුව හා පොලිස් වාර්තා උපුටා දක්වමින් ගම්පොළ බීබීසී වාර්තාකරු සුරංග රාජනායක පවසයි.
ගම්පොළ පොලිස් කොට්ඨාසය ගම්පොළ, නාවලපිටිය, පුස්සැල්ලාව, ගලහ, නවකුරුඳුවත්ත, පුපුරැස්ස සහ ඇත්ගාල යන පොලිස් ස්ථානවලින් සමන්විත වේ.
දොළුව ප්‍රාදේශීය ලේකම් යමුනා දයාරත්න සඳහන් කළේ, ගම්පොළ ප්‍රදේශයේ ස්ථාපිත අවතැන් කඳවුරු 119ක් තුළ පුද්ගලයින් 16,675ක් රැඳී සිටින බවත් ඉන් කඳවුරු 48ක් දොළුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ස්ථාපනය කර ඇති බව ත් ය.
ගම්පොළ උඩ පළාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ කඳවුරු 38ක් ඇති බව උඩ පළාත ප්‍රාදේශීය ලේකම් ආත්මා දිල්රුෂි ජයරත්න ප්‍රකාශ කළා ය.
1947 මහා ගංවතුරට පසු ගම්පොළට ඇතිවූ විශාලතම ගංවතුර මෙය වන අතර නගරයේ නිවාසවල හා වෙළෙඳසල්වල සුන්බුන් අතර සිර වූ 36 දෙනකුගේ මළ සිරුරු හමුව ඇති බීබීසී ගම්පොළ වාර්තාකරු පැවසීය. සමස්තයක් ලෙස මළ සිරුරු 60ක් ගම්පොළ රෝහලට දෙසැ. 3 වන දින වන විට රැගෙන විත් තිබුණු බව රෝහල් අධ්‍යක්ෂ ඒ.ඒ.ඩී.සී. ඩයස් සඳහන් කළේ ය.
ගං වතුර සහ නාය යාම්වලට ගොදුරු වූ ගම්පොළ
ගම්පොළ බීබීසී වාර්තාකරු සුරංග රාජනායක සඳහන් කළේ, ගං වතුර මෙන් ම ගස් කඩා වැටීම් හේතුවෙන් එම ප්‍රදේශය තුළ සිදු වූ හානිය ඉහළ ගොස් ඇති බව ය.
මාවතුර - ඉහළ ගම ප්‍රදේශයේ සිදුවූ නාය යාමෙන් දෙසැ. 3 වන දා වන විට නිවාස 17ක් විනාශ වී එහි සිටි පවුල්වල පුද්ගලයින් 40-50 අතර ගණනක් අතුරුදහන්ව ඇති බව උඩ පළාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ආපදා ඒකකය පැවසූ අතර ඒ අතරින් මළ සිරුරු 15ක් පමණ ඒ වන විට සොයා ගෙන තිබිණි.
එමෙන් ම, උලපනේ - ගඩොල් බෝක්කුව අසල නාය යාම නිසා මගී ප්‍රවාහන බස් රථ දෙකක් හා තවත් වාහන කිහිපයක් ම අනතුරට ලක්ව තිබුණත් සහන කාණ්ඩායම්වලට එම ස්ථානවලට යාමට නොහැකි වීමෙන් දිනන ගණනාවක් පුරා එහි ඇති සිරුරු ඉවත් කර ගැනීමට නොහැකි වී තිබුණු බව බීබීසී වාර්තාකරු පැවසීය.
පුපුරැස්ස - රජතලාව ප්‍රදේශයේ ගම්මානයක් නාය යාමෙන් පුද්ගලයින් 8 දෙනෙකු අතුරුදන් වී තිබුණු අතර 3 වන දා වන විට ඉන් තිදෙනෙකුගේ සිරුරු හමුවී ඇති බවත් ගල්ඔය ප්‍රදේශයේ සිදුවූ නාය යාමෙන් මරණ 18ක් සහ අතුරුදන් වීම් 5ක් සිදුව ඇති බවත් දොළුව ආපදා සහන නිලධාරී නුවන් ධනුශ්ක සඳහන් කළේ ය.
එසේ ම දොළුව - නව නිල්ලඹ ප්‍රදේශයේ සිදු වූ නාය යාමෙන් එදින මරණ තුනක් හා අතුරුදන්වීම් 9ක් සහ හුණුගල ප්‍රදේශයෙන් තවත් මරණයක් ද වාර්තා වී තිබිණි.
ගම්පොළ - සිංහපිටිය ජලාශ පාර දෙසට හදිසියේ ගලා ආ ජල පහරකට හසුවූ හත් දෙනෙකු ගසා ගෙන ගොස් තිබූ අතර ඉන් ගම්පොළ, ජිනරාජ පිරිමි මහා විද්‍යාලයේ ගුරුවරියක මියගොස් ඇගේ මළ සිරුර පාසලේ පිට්ටනියේ රැඳී තිබියදී හමුවී තිබිණි.
කෙසේ වෙතත්, ඇයගේ සැමියා හා පුතුන් එම ජල පහරින් දිවි ගලවාගෙන තිබුණු බව බීබීසී වාර්තාකරු පැවසීය.
එසේ ම මාර්ග අවහිරතා හේතුවෙන් දොළුව - පුපුරැස්ස, පිටවල, මුල්ගම, තුන්පෑලවක, උඩුදෙණිය, හුණුගල යන ගම්මානවල සිදුව ඇති නාය යාම් හා අතුරුදන්වීම් පිළිබඳව පරීක්‍ෂා කිරීමට යාමට නොහැකි තත්ත්වයක් ද උදාවී තිබුණු බව ඔහු සඳහන් කළේ ය.
ගලහා මාර්ගයේ කෝවිල් හන්දිය ප්‍රදේශයේ සිදුවූ නාය යාමෙන් නිවාස කිහිපයක් විනාශ වී ඇති අතර එහි සිටි පුද්ගලයින් පස් දෙනෙකුගේ සිරුරු හමුවී තවත් කිහිප දෙනෙකු අතුරුදන් වී තිබිණි.
ගලහා මාර්ගයේ කෝවිල් හන්දිය ප්‍රදේශයේ සිදුවූ නාය යාමෙන් නිවාස කිහිපයක් විනාශ වී ඇති අතර එහි සිටි පුද්ගලයින් පස්දෙනකුගේ සිරුරු හමුවී තවත් කිහිප දෙනෙකු අතුරුදන්ව තිබුණු බව අප වාර්තාකරු පැවසීය.
ඔහු සඳහන් කළේ, පස්වලට යටවී සිටි දරුවෙකු එහි සිටියදී සොයා ගැනුණ ද මුදා ගෙන කෙටි වේලාවකින් ඔහු ජීවිතක්ෂයට පත් වූ බව ය.
ඊට අමතරව මහනුවර හෝටලයක රැකියාවට ගොස් නිවසට එන විට තම බිරිඳ හා තම දරු තිදෙනා නිවස සමග පස්වලට යට වී තිබුණු බව තවත් පුද්ගලයෙකු සඳහන් කර තිබිණි.
මේ අතර, බොහෝ දෙනෙකු අතුරුදන් වූ තම ඥාතීන් සොයමින් සිටි බව බීබීසී වාර්තාකරු පැවසීය.
මෙවැනි ජීවිත අහිමි වූ සිදුවීම් තවත් ගම්පොළ ප්‍රදේශයෙන් වාර්තා විය.
මිලිමීටර් 440කට අධික වර්ෂාපතනයක්
මහවැලි ගඟ පිටාර ගැලීම ගම්පොළ ප්‍රදේශයට දැඩි හානියක් සිදු කළ බීබීසී ගම්පොළ වාර්තාකරු සුරංග රාජනායක සඳහන් කළේ ය.
කොත්මලේ ගාමිණී දිසානායක ජලාශය හා තලවාකැලේ ඉහළ කොත්මලේ ජලාශය ඉදිකිරීමෙන් පසුව ඊට පහළින් තිබූ උලපනේ - ගම්පොළ - ගෙලිඔය - පේරාදෙණිය නගර ගංවතුරෙන් සුරක්ෂිතව පැවතියත් මෙවර නොකඩවා ඇද හැළුණු ධාරාණිනිපාත වර්ෂාව හේතුවෙන් ඒ සියල්ල විපතට පත්ව තිබිණි.
අප වාර්තාකරු සඳහන් කළේ, මිලිමීටර් 440ක ඉක්මවා ලැබුණු වර්ෂාපතනය මහවැලි ගඟ සහ ජලාශ පමණක් නොව ඇළ දොළ මාර්ග මෙන් ම කඳුවලට ද ඔරොත්තු නොදුන් බව ය.
මේ නිසා ම කඳු නාය ගොස් හා ගංගා, ඇළ-දොළ උතුරා ඒවා නගරය සහ ගම්මාන කරා පැමිණියේ සුළු වේලාවකදී බව ඔහු පැවසීය.
'තව ටික වෙලාවයි තියෙන්නේ වතුරේ අපි ගහගෙන යන්න, අපි විසිනව දෙනා ම එකට මැරෙමු කියලා අපි කතා වුණා'
ගම්පොළ නගරයේ දුම්රියපොළ මෙන් ම බස් නැවතුම්පොළ ද සහ ඒ අවට වීදි ජලයෙන් යටවී තිබුණු අතර ඊට පහළින් පිහිටා ඇති කහටපිටිය - බැබිළ ප්‍රදේශවල අඩි 20-30ත් අතර උසකට ජලයෙන් යටවී තිබුණු බව බීබීසී ගම්පොළ වාර්තාකරු සුරංග රාජනායක සඳහන් කළේ ය.
"හවස හයයි තිහට අපි පල්ලියේ වැඳලා එළියට එනකොට ගමට වතුර ඇවිත් තිබුණා. මගේ ගේ තට්ටු දෙකයි. ගෙදර අපේ ළමයි, ඒ අයගේ දරුවෝ වගේ ම නෑදෑයෝ හිටියා.
මට ඒ අය මතක් උණ නිසා මම වතුරට බැස්සා. මගේ කර උසට වතුර තිබුණත් මම පීනගෙන ගෙදර හොයාගෙන ගියා. උස ප්‍රදේශයකටවත් යන්න වෙලාවක් ගංවතුර අපට ඉතුරු කරලා තිබුණේ නැහැ. හැමතැන ම වතුර පිරිලා. අපි ඔක්කොම විසිනම දෙනෙක් හිටියා," යැයි ගම්පොළ, කහටපිටිය - බැබිල ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් හාරිස් තම අත්දැකීම් විස්තර කළේ ය.
"ගෙදර තට්ටු දෙකක් උඩින් තිබුණු කොන්ක්‍රීට් එකට අපි නැග්ගා. පොඩි ළමයි දහ තුනක් අපේ ළඟ. හිටියා මම ලණු ටිකක් හොයා ගත්තා ඔක්කොම ටික එකට ගැට ගහන්න. මොකද තව ටික වෙලාවයි තියෙන්නේ වතුරේ අපි ගහගෙන යන්න. එහෙම ගියොත් අපි විසි නමදෙනා ම එකට මැරෙමු කියලා තමයි අපි කතා වුණේ.
උදවු ඉල්ලන්න කවුරුවත් නෑ. හැමෝම විපතට පත් වෙලා. ඒත් දෙවියො බලලා අපි ඉන්න දිහාට බෝට්ටුවක් ආව නිසා ඒ අය අපි බේරා ගත්තා ඒක හාස්කමක් වගේ දෙයක්," ඔහු වැඩිදුරටත් පැවසීය.
අප වාර්තාකරු සඳහන් කළේ, ප්‍රදේශයේ දේපළ හානි රැසක් සිදුව තිබුණු බව ය.
ගම්පොළ ජලගැලීම් ගැන මන්ත්‍රී අනුරාධ ජයරත්න පාර්ලිමේන්තුවේදී පැවසුවේ මොනවා ද?
මේ අතර, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරාධ ජයරත්න බදාදා (දෙසැ. 3) දා පාර්ලිමේන්තුවේදී චෝදනා කළේ, ඇති වීමට තිබුණු ව්‍යසනකාරී තත්ත්වය සම්බන්ධයෙන් බලධාරීන් ගම්පොළ ජනතාවට පූර්ව දැනුම් දීමක් නොකළ බව ය.
"මේ ව්‍යසනයේදී කඳු නාය ගියා, ප්‍රශ්න ඇති වුණා, ගැටලු ඇති වුණා ඒවා පිළිබඳව අපි ආණ්ඩුවට චෝදනා කරන්නේ නැහැ. ආණ්ඩුවට කරන්න පුළුවන් දෙයක් නැහැ. ඒක එක ස්වභාවික විපතක්, ස්වභාවික හානි. ඒ පිළිබඳව අපිට තර්කයක් නැහැ.
හැබැයි මේ කාරණාව ඇතුළේ ඇතිවුණු ගැටලු ගණනාවක් තියෙනවා නියෝජ්‍ය කතානායකතුමනි. පළවෙනි දේ තමයි, රන්ටැඹෙන් එළියට යන වතුර ප්‍රමාණය සාමාන්‍යයෙන් වැඩි ම වර්ෂාපතනයකදී ගිහිල්ලා තියෙන්නේ තත්පරයට 3,500යි. හැබැයි මහවැලියෙන් කියනවා මේ 5,800ක් වගේ ප්‍රමාණයකට වැඩි වේවි කියලා. හැබැයි ඇත්තට ම තත්පරයට ඝන මීටර් 7,800ක් රන්ටැඹෙන් එළියට නිකුත් කෙරුණා," ඔහු පැවසීය.
"මේ කාරණාව දැනගෙන හිටියා නම්, ඇයි අපිට අහිංසක මිනිස්සුන්ට මේ ගැන දැනුවත් කරන්න බැරි වුණේ? අනිත් එක නියෝජ්‍ය කතානායකතුමනි UNDP එකේ 27 වෙනි දා මහවැලියේ තිබුණු රැස්වීම් ටික සියල්ල 26 වෙනි දා අවලංගු කළා. 27 වෙනි දා මෙහෙම ව්‍යසනයක් තියෙනවා කියලා 26 වෙනි දා ඒ සියලු රැස්වීම් ටික අවලංගු කළා.
ඇයි බැරි වුණේ, ගම්පොළ නගරයට ගිහිල්ලා මෙහෙම ගංවතුරක් තියෙනවා කියලා නිවේදනය කරන්න? තත්පරයට මි.මී. 160ක් ආවොත් එහෙම යට වෙනවා. එදා නිල්ලඹ මාපාංකයේ සටහන් වෙනවා මි.මී. 440යි. 440ක වැස්සක් එනවා නම්, 160ට යටවෙන ගම්මානවලට ඇයි දැනුවත් කළේ නැත්තේ?
ඒ විතරක් නෙවෙයි, කතානායකතුමනි. නාවලපිටියට උඩින් තියෙනවා වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ගේජින් ස්ටේෂන් එක. මේ ගේජින් ස්ටේෂන් එකේ මහවැලි ගඟේ එන වතුර ප්‍රමාණය මනිනවා. මේ වතුර ප්‍රමාණය මැනලා මේක ගම්පොළ නගරයට එදා කිව්වා නම්, ඔය මැරෙන්න තිබුණ ගාණෙන් 80%ක් එදා බේරෙනවා. හැබැයි ඒ කිසි ම දෙයක් සංවිධානය වෙලා, ඒවා සන්නිවේදනය කළේ නැහැ ගම්පොළ නගරයේ මිනිස්සුන්ට. එහෙම නම්, අර නාවලපිටියට උඩින් තියෙන ගේජින් ස්ටේෂන් එක සම්පූර්ණයෙන් අකර්මණ්‍යයි.
ඒ නිසා නියෝජ්‍ය කතානායකතුමනි විශේෂයෙන් මෙතනදී සිහිපත් කරනවා, ඔය ගම්පොළ නගරයේ මැරිච්ච හැම ජීවිතයක් වෙනුවෙන් ම මේ ආණ්ඩුව හැටියට වග කියන්න ඕනේ කියන එක අපි මේ සභාවේදී කියනවා. ඒක වෙන මොනවත් නිසා නෙවෙයි. ස්වභාවිකව කඳු නාය ගිහින් ප්‍රශ්න ඇති වුණා නම් ඒක තර්කයක් නැහැ. නිකම් අහිංසක මිනිස්සු ටික මරුවා ගම්පොළ නගරයේ හිටපු. කියන්න බැරි වුණා මි.මී. 440ක් වහිනවා 27 වෙනි දා කියලා පණිවිඩේ කිව්වේ නැහැ," මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.
වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ප්‍රතිචාරය
මෙම චෝදනා සම්බන්ධයෙන් විමසීමට බීබීසී සිංහල වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඉන්ජිනේරු අජිත් ගුණසේකර සම්බන්ධ කර ගත්තේ ය.
ඊට ප්‍රතිචාර දක්වමින් ඔහු ලබා දුන්නේ මෙවැනි පිළිතුරකි.
"ගම්පොළ වාරිමාර්ග දෙපාර්තමේන්තුවට සම්බන්ධයක් නැහැ. මහවැලිය, කොත්මලේ, පොල්ගොල්ල, වික්ටෝරියා වගේ ජලාශවලින් තමයි ගම්පොළ පැත්තට හානියක් වෙන්නේ. එතකොට ඒවා පාලනය වෙන්නේ මහවැලි අධිකාරියෙන්. මහවැලි ගඟ පිටාර ගලන්නේ අරවා ඇරියා ම. අපි මහවැලි ගඟ ගැන ගංවතුර අනතුරු ඇඟවීම් කරනවා."
කෙසේ වෙතත්, මන්ත්‍රීවරයා සඳහන් කරන "නාවලපිටියට උඩින් තියෙනවා වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ගේජින් ස්ටේෂන් එක," ගංවතුරට පෙර ක්‍රියාත්මක තත්ත්වයේ පැවති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඉන්ජිනේරු අජිත් ගුණසේකර තහවුරු කළේ ය.
අනතුරුව ගංවතුර අනතුරු ඇඟවීම් පිළිබඳව වැඩිදුර දැන ගැනීමට ඔහුගේ උපදෙස් පරිදි බීබීසීය ගංවතුර පිළිබඳ නිවේදන නිකුත් කරන වාරිමාර්ග අධ්‍යක්ෂ (ජල විද්‍යා සහ ආපදා කළමනාකරණ) ඉංජිනේරු එල්.එස්. සූරියබණ්ඩාර දුරකතනය ඔස්සේ සම්බන්ධ කර ගත්තේ ය.
"මහවැලියෙන් තමයි ඇත්තට ම ඒක ඔපරේට් කරන්නේ. වාරිමාර්ගයෙන් නෙමෙයි කොත්මලේ ඔපරේට් කරන්නේ. මේවා කරන්නේ ඔක්කෝ ම මහවැලි අධිකාරියෙන්. එතනින් තමයි නිවේදන නිකුත් කිරීම්, ඔක්කෝ ම වෙන්නේ. එතනින් මගේ තියෙන්නේ, එතන පහළ ගේජින් ස්ටේෂන් එක බේස් කරන් තමයි ඒ ප්‍ර දේශයට මොනවා හරි තත්ත්වයක් ගැන කියන්නේ.
"විශේෂයෙන් ම පේරාදේණියේ අපේ ගේජින් ස්ටේෂන් එකක් තියෙනවා. ඒ ගේජින් ස්ටේෂන් එකේ ජල මට්ටම් පදනම් කරගෙන තමයි ඒ ප්‍රදේශවලට වාරිමාර්ග දෙපාර්තුමේන්තුව හැටියට අපි මේවා කරන්නේ. ඒ ගමන් ම අරගොල්ලන්ගේ වෝර්නින් එක අපිට දුන්නා ම, මට මතක නෑ ඔය ඔක්කෝ ම බලන්න ඕනේ. අපි නිකම් ම කියන්නේ නැහැ.
එතැන වාන් දොරටු ඇරිය පමණින් වෝර්නින් එකක් දෙන්න බෑ අපිට. ජල මට්ටම ගැන හිතන්න වෙනවා, වාන් දොරටු යම් ප්‍රමාණයකට අරිද්දි, ඒ ගඟට කිසි ම මේකක් නැත්නම් ගැටලුවක් නෑ. මට මතක නෑ ඔය දවස් ටිකේ හරි වේගවත්, ඒක නිසා ඕක කොහොම ද කියන එක ගත්තා නම් හරි, කොයි කොයි වෙලාවේ ද දොරවල් ඇරියේ කියන ඩේටා ටික ගත්තා නම් හොඳයි කියලා මට හිතෙන්නේ එතකොට ඒකත් එක්ක ගලපගන්න පුළුවන්. දැන් මගේ අතේ නැහැ ඒ තොරතුරු මොකක්වත්," ඔහු වැඩිදුරටත් පැවසීය.
මහවැලි අධිකාරියේ ප්‍රතිචාරය
අනතුරුව බීබීසී සිංහල මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ (ප්‍රධාන වේලි හා ජලාශ මෙහෙයුම්) ඩී.එම්. ධර්මදාස දුරකතනය ඔස්සේ සම්බන්ධ කර ගත්තේ ය.
ඔහු පැවසූ පරිදි, කොත්මලේ ජලාශයේ වාන් දොරටු විවෘත කිරීම සම්බන්ධයෙන් මහවැලි අධිකාරිය විසින් වගකිවයුතු බලධාරීන් සහ ප්‍රධාන මාධ්‍ය ආයතන වෙත නිවේදනයක් නිකුත් කරනු ලැබ ඇත.
බීබීසීය සහ ඔහු අතර සිදු වූ සංවාදය පහතින් දැක්වේ.
ජනතාවට දැනුම් දෙන්නේ මේ නිවේදන හරහා ද?
බොහෝමයක් ම ආරම්භයේ නිවේදනය වෙන්නේ ඔය නිවේදන හරහා. ගංවතුරක් කියන එක නෙමෙයි අපි කියන්නේ. ජාලාශ වාන් දැමීමක් තමයි අපි දැනුම් දෙන්නේ. කොත්මලේ ඔය කියන්නේ මහවැලි ගඟේ එක අතු ගංගාවක්. එතකොට ඒ අතු ගංගාවේ තියෙන ජලාශය හරහා ජලය නිකුත් කිරිමක් තමයි ඔතන කියන්නේ.
ගංවතුර දානවා, අයින් වෙන්න කියලා ජනතාව දැනුවත් කරන්නේ කවුද?
ඒක අදාළ ප්‍රා දේශිය ලේකම්වරු, ප්‍රදේශයේ ඉන්න කට්ටිය තමයි.
ඔබ එවපු නිවේදනවල නැහැ ජනතාව ඉවත් කරන්න කියලා?
එහෙම කියන්න බෑනේ අපිට. අපි දන්නේ නෑනේ, අපි ඉන්නේ මහවැලි ගඟේ එක අතු ගංගාවක. අපි දන්නේ නැහැ මහවැලි ගඟේ කොච්චර ජලය ප්‍රමාණයක් උඩින් ගලාගෙන එනවා ද කියන්න.
ජනතාවට කොහොම ද අයින් වෙන්න කියලා දැනුම් දෙන්නේ?
ගංවතුරක් කියන්නේ මෙහෙමයි, ඒක ඒ අදාළ ප්‍රදේශයේ ඉන්න ප්‍දේශීයය ලේකම්වරු ඒ වගේ කට්ටිය තමයි ඒක දැනුවත් කරන්නේ.
වාන් දොරටු ඇරියා කියලා ඒ අය දැනුවත් කරනවා ද?
ඒක දැනුවත් කරනවා නේ. ඊට අමතරව අපි වාන් දොරටු අරින් විනාඩි කීපයකට කලින් ගම්පොළ, ඔය ඊයෙ පෙරේදා මැසේජ් එකක් ගියේ වේල්ල කඩාගෙන යනවා කියලා. ඒ අර සයිරන් එක ගහලා. හදිස්සියක් වුණොත් අපි ගේට්ටු අරිනකොට, දැන් මිනිස්සු කොහොමත් ස්පිල් එකක් ගිහින් නැවැත්තුව ගමන් මිනිස්සු මාළු අල්ලන්න ගඟට යනවා. එතකොට ඒ මිනිස්සු දැනුවත් කිරීම තමයි ගඟට යන්න එපා ගඟේ ඉන්නවා නම් අයින් වෙන්න කියන මැසේජ් එක ඒ දෙන්නේ.
කොත්මලේ වේල්ලේ රාජකාරියේ නියුතු ඉංජිනේරුවරයාගේ ප්‍රතිචාරය
පසුව බීබීසී සිංහල කොත්මලේ වේල්ලේ සිවිල් ඉංජිනේරු චතුර අඹේපොළ සම්බන්ධ කර ගත්තේ ය.
ගම්පොළට අනතුරු ඇඟවිම් නිකුත් කළේ කවදා ද? කීයට ද?
වතුර ස්පිල් කරන අවදානමක් තියෙනවා නම් කලින් දිස්ත්‍රික්ක කළමණාකාර කාර්යාලයට, ඩිසාස්ටර් මැනේජ්මන්ට් එකටයි, අවට පොලිසිවලටයි, මාධ්‍ය ආයතනවලටයි. තව තියෙනවා මොරගොල්ල ව්‍යාපෘතියක් යනවානේ, ඒකටයි. අපි 26 වෙනි දා දැනුම් දුන්නා. 26 වෙනි දා ලිඛිතව දැනුම් දීලා ලියුමක් ගහලා, ලියුම තැපෑලට දාන්න බැරි හින්දා, ඒ ආයතනවලට කෝල් කරලා, ඒ ආයතනවල වට්ස්ඇප් අංකවලටයි, ඊට අමතරව දුරකතන මාර්ගයෙන් දැනුම් දුන්නා.
ඒ වගේ ම අපි එනවුස්මන්ට් එකක් කළා උලපනේට යනකම්, අපි එනවුස්මන්ට් එකක් කළා ස්පිල් වෙන්න ඉඩ තියෙනවා ඒ හින්දා ගඟ භාවිත කිරීමෙන් වළකින්න කියලා. 26 දවල් 2ට 3ට වගේ. ඊට පස්සේ අපි ගේට් ඕපන් කරන්න කලින් ඩෑම් එකේ සයිරන් එකක් ගහනවා. මොකද ඒත් ගඟ පාවිච්චි කරන කට්ටිය ඉන්නවා නේ, අපි නෝටිස් එකක් දැම්මාට අයින් වෙන්නේ නෑ, කවුරුත් ඒක හින්ද ගේට් ඕපන් කරන්න කලින් සයිරන් එකක් ගහනවා ආයෙත්. ඊට අමතරව ඩිසාස්ටර් මැනේජ්මන්ට් එකෙන් ගෲප් හදලා තියෙනවා වට්ස්ඇප් ගෲප්, ඒවලට විනාඩි 15න් 15ට අප්ඩේට් දුන්නා.
සයිරන් එක ගැහුවේ හවස 9.05ට විතර අපි 9.05 පස්සේ තමයි ගේට්ටු ඕපන් කරන්න පටන් ගත්තේ. ගේට්ටු කලින් තමයි ඕපන් කළේ, ෆ්ලඩ් එක වැඩි හින්දා. අපේ ෆුල් සප්ලයි ලෙවල් එක තියෙන්නේ මුහුදු මට්ටමේ ඉඳන් මීටර 703 කියන ලෙවල් එක. එතකොට අපි මෙතන ගේට්ටු ඕපන් කළේ 700.9 කියන ලෙවල් එකේදී. ඒ කියන්නේ මීටර් 2කට වඩා තියෙද්දි මැනුවලි ගේට්ටුව ඕපන් කළා. ඒක ස්ටෙප් බයි ස්ටෙප් තමයි ඕපන් කරන්නේ මොක ද ඩැමේප් එකක් වෙන හින්දා. මුලින් ම අඩි දෙක ගාණේ ඕපන් කළේ. එහෙම ගිහිල්ලා අන්තිමට මීටර් 4 හමාර වෙනකම් ඕපන් කළා. රෑ 12, 1 වගේ වෙද්දි ඒ ගාණට ඕපන් කළා.
පහළ ප්‍රදේශවල අයට ඉවත් වෙන්න නිවේදනය කළා ද?
ඒක අපි ඩිසාස්ටර් මැනේජ්මන්ට් එකට තමයි දෙන්නේ. ආපදා කළමණාකරන එකට කියනවා අදාළ ආයතන දැනුවත් කරන්න කියලා, ආයෙත් පොලිසියට.
ජනතාවට සන්නිවේදනය කරන්නේ කවුද?
ඩිසාස්ටර් මැනේජ්මන්ට් එකට තමයි වගකීම තියෙන්නේ. ඒ කියන්නේ අනතුරුදායක මේකක් තියෙනවා නම් සන්නිවේදනය කරන එක.
එහෙම අනතුරක් ගැන ඩිසාස්ටර් මැනේජ්මන්ට් එකට දැනුම් දුන්නා ද?
අනතුරක් කියන්නේ, වාන් දොරටු විවෘත වීමේ අනතුරක් තියෙනවා පහත් ප්‍රදේශ යටවෙන්න පුළුවන් කියලා දැනුම් දීලා තියෙනවා. ඒ 26 වෙනි දා ලියුමෙන්.
26 වෙනි දා උදේ ජලාශ තිබ්බේ 50%ක් විතර, යටින් තිබ්බේ පිරිලා. අපි 26 උදේ ඉඳන් පැයෙන් පැයට වගේ ඩිසාස්ටර් මැනේජ්මන්ට් එකට දැනුවත් වීම කළා. එතකොට ඒක කරලා ගේට්ටුව අරින වෙලාවේ ඉඳනුත්, ගේට්ටු නැවත වැහෙනකම් ම ඒ අදාළ හැම ඔපරේෂන් එකේ ම දැනුම් දීම කරනවා."
මේ අතර, මේ සම්බන්ධයෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අදහස් විමසීම සඳහා බීබීසී සිංහල එහි අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරල් සම්පත් කොටුවේගොඩ දුරකතනය ඔස්සේ සම්බන්ධ කර ගැනීමට අවස්ථා කිහිපයකදී උත්සහ කළේ ය.
ඉන් එක් අවස්ථාවකදී ඔහුගේ දුරකතනයට ප්‍රතිචාර දැක්වූ අයෙකු සඳහන් කළේ, අධ්‍යක්ෂ ජනරාල්වරයා ආරක්ෂක අමාත්‍යංශයේ විශේෂ රැස්වීමකට සම්බන්ධ වී සිටින බව ත් එය අවසන් වන වේලාවක් නිශ්චිතව පැවසිය නොහැකි බව ත් ය.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහ පොලිසියේ ප්‍රතිචාරය
මේ සම්බන්ධයෙන් අදහස් විමසීම සඳහා බීබීසී සිංහල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරල් සම්පත් කොටුවේගොඩ දුරකතනය ඔස්සේ සම්බන්ධ කර ගැනීමට අවස්ථා කිහිපයකදී උත්සහ කළ ද එය ව්‍යර්ථ විය.
ඒ අනුව, අපි එහි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලිගෙන් මේ පිළිබඳව විමසීමු.
"මෙහෙට නිවේදනයක් ආවා ම, ඉවත් වීමේ නිවේදනයක් එන්නේ, වාරි මාර්ගයෙන් එන්න පුළුවන්, ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයෙන් එන්න පුළුවන්. අපේ පූර්ව අනතුරු ඇඟවීමේ ක්‍රම තියෙනවා නේ. අපේ ආමි, නේවි, එයාර් ෆෝස් යුනිට් තුනක් තියෙනවා මෙතන. ඒ අයගෙත් VHF / HF සන්නිවේදන ක්‍රම හරහා ඒ පැත්තට, පල්ලෙහාට ලබා දෙනවා. අනිත් එක තමයි පොලිසිය. පොලිසි 609ට ම සම්බන්ධ වෙන ක්‍රමයක් තියෙනවා. එතකොට ඒ පොලිස් ස්ථානවලට ලබා දෙනවා ඒ නිවේදන.
දිස්ත්‍රික් ලේකම්තුමාට ලබා දෙනවා. මොක ද එතුමා තමයි දිස්ත්‍රික්කයේ ඉවත්වීමේ නියෝගය දෙන්නේ. එතුමන්ලා ප්‍රාදේශීය ලේකම්වරුන්ට ලබා දෙනවා. ඊට පස්සේ ග්‍රාම නිලධාරීවරුන්ට ලබා දෙනවා. පොලිසිය ගිහිල්ලා නිවේදනය කරනවා. එහෙම ක්‍රමවේදයක් තියෙන්නේ," නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා අනතුරු ඇඟවීම් නිකුත් කෙරෙන පියවර පැහැදිලි කළේ ය.
ඔහුගේ උපදෙස් පරිදි අප ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මහනුවර දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ IAK රණවීරගෙන් සම්බන්ධ කර ගැනීමට ගත් උත්සාහය අසාර්ථක වූ බැවින් බිම් මට්ටමින් ජනතාවට අනතුරු ඇඟවීම් සිදු වුණේ දැයි විමසීමට ගම්පොළ කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ටී.එම්.ඊ.එල්. පෙරේරා දුරකතනය ඔස්සේ සම්බන්ධ කර ගත්තේ ය.
"අනතුරු ඇඟවීමක් ආවට මේ වගේ දෙයක් සම්බන්ධව, අපි කියමුකෝ ගඟ ළඟ මනුස්සයෙක් ඉන්නවා තට්ටු දෙකේ ගෙයක් තියෙන. ඒ මනුස්සයාගේ පුරුද්ද තමයි පළවෙනි තට්ටුව වතුරෙන් යට වෙනවා, දෙවැනි තට්ටුවට ගිහින් බේරෙන එක. ඒ වගේ භයානක අනතුරු ඇඟවීමක් ඇත්තට ම දීලා නැහැ. මේ තත්ත්වය හඳුනා ගෙන මේ තරම් භයානක තත්ත්වයක් ගැන දැනුවත් කිරීමක් නැහැ," ඔහු පැහැදිලි කළේ ය.
"අපට ආවා තොරතුරු, අපිට ලියලත් එවලා තියෙනවා කාලගුණ තත්ත්වය මෙහෙම තියෙනවා... [අනතුරු ඇඟවීමක් කියවමින්. එම අනතුරු ඇඟවීම ඉහතින් දක්වා ඇත] ඔන්න ඕක තමයි අනතුරු ඇඟවීම. 27ත් 28ත් ඕක ම ඇවිල්ලා තියෙනවා," ඔහු පැවසීය.
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා වැඩිදුරටත් සඳහන් කළේ, කාලගුණ නිවේදන අනුව ජනතාව වෙත "ලවුඩ්ස්පීකර්" යොදා ගෙන දැනුවත් කිරීම් සිදු කළ බව ය.
අනතුරුව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මහනුවර දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ IAK රණවීර බීබීසීය ඇමතීය. ඒ අනුව, අප ඔහු වෙත අදාළ ප්‍රශ්නය යොමු කළේ ය.
"අපි දවස් දෙකකට කලින් හැමෝට ම දැනුවත් කළා. වර්ෂාව එනවා, විශේෂයෙන් ම මහවැලි ගඟ දෙපැත්තේ හැමෝම ඒ කියන්නේ ප්‍රාදේශීය ලේකම් මට්ටමින්, පොලිසිය මට්ටමින් දැනුවත් වීම තිබුණා. අපිත් කතා කරලා ම කිව්වා. සාමාන්‍යයෙන් අනතුරු ඇඟවීමක් කරන්නේ විශේෂ තත්ත්වයකදී නේ. එතකොට මේක (කොත්මලේ) ස්පිල් කරනවා කියන එක පැය 4ක ඉඳලා ඇස්තමේන්තු කරලා ඒ ගොල්ලෝ කිව්වා. මැසේජස් දැම්මා. තව පැය 4කින් කොත්මලේ ස්පිල් වෙනවා කියලා. ඒ කියන්නේ රෑ 10:30ට.
"එතකොට නියෝජ්‍ය පොලිස්පතිතුමා කිව්වා, හවස 6:30 ඉඳලා අපි කියමු කියලා හැමෝට ම. ඒ වෙලාවේ ප්‍රශ්නයක් තිබුණා සමහර අයට සිග්නල් තිබුණේ නැහැනේ. නමුත් අපි කලින් දවසේ ඉඳලා පාරවල්වල යන්න එපා, ගඟ දෙපස අය ආරක්ෂා වෙන්න අපි කලින් කියලා තිබුණේ. මාධ්‍ය නිවේදන පවා දාලා තිබුණා.
දවල් ඉඳලා ම ගඟ ගාණට උතුරලා තිබුණේ. ඒ කියන්නේ ස්පිල් කරන්න ඕනේ නැහැ. ස්පිල් එකෙන් නෙමෙයි යට උණේ. ඒ වෙනකොට ෆ්ලඩ් ලෙවල් ඇවිලා ඉවරයි. ගෙවල්වල අඩි 7-8, 4-5 වතුර ඇවිල්ලා. ඊට පස්සේ ස්පිල් කරනකොටත් පැය තුන හතරක් වතුර පිරුණා."
ඔහු පැවසුවේ, නාය යාම් සහ ගංවතුර හේතුවෙන් මාර්ග අවහිර වීම නිසා ප්‍රදේශවාසීන් ගම්පොළ නගරයට "කොටු" වූ බව ය.
බීබීසීය වෙත තවදුරටත් අදහස් දැක්වූ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මහනුවර දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ IAK රණවීර මෙසේ පැවසීය.
"මෙච්චර දරුණුවට ඒවි කියලා කියන්න බැහැනේ. එඑහෙම පුරෝකථනයක් ගන්නේ කොහොම ද මෙච්චර උසට මේක එනවා කියලා. ඒ කියන්නේ වහිනවා, අපි දෙනවා වර්ෂාපතනය මේ ගාණ කියලා පුරෝකථනයක්. වෙනදාටත් ඕක එනවනේ. එතකොට අපි කියනවා දෙපැත්තේ අය ප්‍රවේසමෙන් ඉන්න කියලා. එතකොට වතුර ලෙවල් එක බලලා තමන්ට ඉවත් වෙන්න පුළුවන් නේ.
"පළවෙනි අඩිය දෙක එනකොට මිනිස්සු කරන්න ඕනේ, උඩ තට්ටුවට යන එක නෙවෙයි, එළියට යන එක නේ. එක පාර වතුර පාරක් ඇවිල්ලා යට වුණේ නැහැනේ. ටික ටික වැඩි වෙන්න ගත්තා. ඒ වැඩි වෙන්න ගන්නකොට අපි හැම තැනට ම පණිවිඩ දුන්නා. දැන් වැඩි වෙනවා කියලා. හැබැයි මෙච්චර උසට එනවා කියලා අපිට කියන්න බැහැ නේ.
නාය යාම්වලට අවදානම් කලාපවලින් ඉවත් වෙන්න කියලා අපි පැහැදිලිව ම කියලා තිබ්බේ. අපිට රෙඩ් නෝටිස් අවේ උදුදුම්බරට විතරයි. ඊට පස්සේ හැම තැන ම ගියා නේ. ඊට පස්සේ රෙඩ් නෝටිස් අනිත් ඒවාට ආවා. එනකොට ගිහිල්ලා ඉවරයි,"
බීබීසීය පෙරළා ඔහුගෙන් මෙලෙස ප්‍රශ්න කළේ ය.
ඒ කියන්නේ පරක්කු වෙලා ද ඒ නිවේදන ආවේ?
"නෑ. නෑ.එහෙම කියන්න බැහැ. කොහොම ද කියන්නේ නාය යනවා කියලා. එහෙම පුරෝකථනය කරන්න බැහැ. ඒක ටෙක්නිකලි බැහැ," ඔහු පිළිතුරු දුන්නේ ය.
"එන්න එන්න වතුර වැඩි වෙද්දී පාරවල් හිර වුණා. නාය එන්න ගත්තා දෙපැත්තෙන්. මිනිස්සු යන්න බය වුණා. මිනිස්සු කොටු වුණා ටවුමට. ඊට පස්සේ ටවුමේ වතුර වැඩි වුණා ම මිනිස්සුන්ට යන්න බැරි හින්දා ටක්ගාලා බිල්ඩින්වලට නැග්ගා."
උස ගොඩනැගිලිවලට නැගි වැසියන් ජීවිත ආරක්ෂා කර ගත් බව පැවසූ සහකාර අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කළේ, ගංවතුර සහ නාය යාම් හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ වැඩි ම බලපෑමට ලක් වූයේ ගම්පොළ ප්‍රදේශයට බව ද සඳහන් කළේ ය.
*අපදාවන්ට ලක් වූවන් මුදා ගැනීමේ කටයුතු තවමත් සිදුවන බැවින් මෙහි සඳහන් වන සංඛ්‍යා සහ දත්ත නිරන්තරයෙන් යාවත්කාලීන විය හැකි බව සලකන්න*