ටිරාන් අලස් අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් නිකුත් කළේ ඇයි?

මව්බිම ඇතුළු ප්‍රවෘත්ති පත්‍ර මුද්‍රණය කිරීම සඳහා යොදා ගන්නා කඩදාසි සැපයීමේ ගිවිසුමක් උල්ලංඝණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් ඇතුළු සිලෝන් නිවුස්පේපර්ස් පෞද්ගලික සමාගමේ අධ්‍යක්ෂවරුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් අභියාචනාධිකරණය අතුරු නියෝගයක් නිකුත් කළේ ය.

එම අතුරු නියෝගය මේ මස 21 වන දා දක්වා බල පැවැත්වෙන බව නියෝගයේ සඳහන් විය.

සිලෝන් නිවුස්පේපර්ස් පෞද්ගලික සමාගම විසින් ඉදිරිපත් කරන ලද රිට් පෙත්සමක් සලකා බැලීමෙන් පසුව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්ධුල කරුණාරත්න සහ ශෂී මහේන්ද්‍රන් යන අයගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම සලකා බැලිණි.

මේ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පොලිස්පති, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා, කේසර ලංකා පෞද්ගලික සමාගම ඇතුළු හය දෙනෙකු නම් කර තිබිණි.

නීතිඥ සනත් විජේවර්ධනගේ උපදෙස් මත ගොනු කෙරුණු මෙම පෙත්සමේ සඳහන් කර ඇත්තේ, පෙත්සම්කාර සමාගම පුවත්පත් මුද්‍රණයට අවශ්‍ය කඩදාසි ලබා ගැනීම සඳහා වග උත්තරකාර කේසර ලංකා පෞද්ගලික සමාගම සමග ගිවිසුමක් ඇති කරගෙන තිබෙන බව සඳහන් කළේ ය.

පෙත්සම්කාර සමාගමේ අධ්‍යක්ෂවරයෙකු වන හිටපු මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස්ට අමාත්‍ය ධූරය අහිමි වීමෙන් පසුව වග උත්තරකාර කේසර ලංකා සමාගම අදාළ ගිවිසුමේ කොන්දේසි කඩ කිරීමට කටයුතු කළ බවත් චෝදනා කර තිබේ.

පසුව මෙම වගඋත්තරකාර සමාගම මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කළ බවත් පෙත්සමේ සඳහන් වෙයි.

මෙම තත්ත්වය තුළ පෙත්සම්කාර සමාගමේ අධ්‍යක්ෂවරුන් අත්අඩංගුවට ගැනීමේ අවදානමක් පවතින බවත් ඔවුන් අත්අඩංගුවට ගැනීම වළක්වා ලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සමෙන් ඉල්ලා තිබිණි.