ජනාධිපති සමාව යනු කුමක් ද? එය ලබා ගත හැක්කේ කෙසේ ද?

    • Author, බීබීසී සිංහල

සිර දඬුවම් ලබා සිටින පුද්ගලයන් හට සමාව ලබා දීමට ජනාධිපතිවරයා සතු වූ විශේෂ බලය සම්බන්ධව මේ දිනවල කතාබහක් ඇතිව තිබේ.

ඒ, අනුරාධපුර මහාධිකරණයෙන් වරදකරු කරනු ලැබූ පුද්ගලයෙකු දවස් 10කට ආසන්න කාලයක් පමණක් සිර දඬුවම් ලබා ජනාධිපති පොදු සමාව යටතේ නිදහස්ව ඇති බවට මතභේදාත්මක සිද්ධියක් පිළිබඳව අනාවරණය වීමත් සමග ය.

එම සිද්ධිය පිළිබඳව මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විමර්ශනයක් ආරම්භ කර ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස බන්ධනාගාර කොමසාරිස්ජනරාල් වරයා මෙන් ම අනුරාධපුර බන්ධනාගාර කොමසාරිස්වරයා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

ජනාධිපති සමාව පිළිබඳව සමාජයේ අවධානයක් මෙන් ම මතභේදාත්මක තත්ත්වයක් ඇතිව තිබෙන මොහොතක එහි නෛතික තත්ත්වය සහ සමාව ලබා දෙන ආකාරය පිළිබඳව බීබීසී සිංහල සොයා බැලීමක් කළේ ය.

ජනාධිපති සමාව යනු කුමක් ද?

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන වගන්ති යටතේ සිරකරුවන්ට සමාව ලබා දීමට ජනාධිපතිවරයා බලය හිමි වී ඇත.

34 වගන්තියේ (1) අනුවගන්තිය යටතේ, ශ්‍රී ලංකාවේ කවර හෝ අධිකරණයක තීන්දුවක් යටතේ වරදකරු කරන ලද පුද්ගලයෙකුට සමාවක් ලබා දීමට ජනාධිපතිවරයාට හැකියාව පවතී.

"මහේස්ත්‍රාත් අධිකරණ, දිස්ත්‍රික් අධිකරණ, පළාත්බද මහාධිකරණ, අභියාචනා අධිකරණය, ශ්‍රේෂ්ඨාධිකරණය ඒ වගේ ම කම්කරු විනිශ්චය සභා තියෙනවා. කවර හෝ අධිකරණයක, වරදකරු කරන ලද කවර හෝ වරදකරුවෙකුට, ඒ කියන්නේ ඒක සුළු ද, බරපතළ ද, කියලා නැහැ. සම්පූර්ණ සමාවක් දෙන්න පුළුවන්. එහෙම සමාවක් දුන්නා ම වරද නෑ, උසාවි තීන්දු අවලංගුයි, එයා වරදක් නොකර ලද කෙනෙක් විදිහට තමයි යන්නේ.

"සමහර වෙලාවට නීතියෙන් යම් කොන්දේසි දාලා සමාවක් දෙන්න පුළුවන්. ඒ වගේ ම දඬුවමක් නියම කරලා තියෙනවා නම් ඒක කාල සීමාවක් නොමැතිව නවත්වන්නත් පුළුවන්, ඒ වගේ ම සුදුසු යැයි ජනාධිපතිවරයා කල්පනා කරන කාල සීමාවක් ඇතුළත කල් තබන්නත් පුළුවන්. ඒ වගේ ම වරදකරුට නියම කරන ලද දඬුවමක් වෙනුවට ලිහිල් දඬුවමක් දෙන්නත් පුළුවන්," යැයි මෙරට නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයකු වන මහාචාර්ය, නීතිඥ ප්‍රතිභා මහානාමහේවා බීබීසී සිංහල වෙත පැවසීය.

නියම කරන ලද දඬුවමක් මුළුමනින් ම නිෂ්ප්‍රභ කිරීමට, ඉන් කොටසක් අඩු කිරීමට ජනාධිපතිවරයාට 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බලය පැවරී ඇති බව මහාචාර්යවරයා ජනාධිපති සමාව පිළිබඳව පැහැදිලි කරමින් කියා සිටියේ ය.

ජනාධිපති සමාව ලබා දෙන ක්‍රමවේදය කුමක් ද?

ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරයා වෙත සිරකරුවන් හට සමාව දීමේ බලයක් ලැබී තිබුණ ද, ජනාධිපති සමාව ලබා දීම සඳහා ව්‍යවස්ථාවට අනුව ක්‍රමවේදයක් පවතින අතර මහාචර්යවරයා එම ක්‍රියාවලිය පිළිබඳව ද විස්තර කළේ ය.

"මරණ දඬුවම වගේ එකකදී ජනාධිපතිවරයා නඩුව විභාග කළ විනිශ්චකාරවරයාගෙන් වාර්තාවක් ගන්න ඕනේ. ඊළඟට ජනාධිපතිවරයා ඒ වාර්තාව ගෙන්න ගන්නවා, ඒක නීතිපතිවරයා වෙත යවනවා උපදෙස් ලබා ගන්න, පසුව නීතිපතිවරයාගේ උපදෙස් අධිකරණ විෂය භාර අමාත්‍යවරයාට යවනවා. අධිකරණ අමාත්‍යවරයාගේ නිර්දේශ ආවාට පස්සේ නැවත නීතිපතිවරයා වෙත යවනවා. ඊට පස්සේ තමයි ඒ නිර්දේශ සමග වාර්තාව ජනාධිපතිවරයාට එව්වා ම නිදහස් කරන්න පුළුවන් වෙන්නේ."

ජනාධිපති සමාව සහ පොදු සමාව අතර වෙනසක් තිබේ ද?

බොහෝ විට මරණ දඬුව වැනි බරපතළ වැරදිවලට වරදකරුවන් වූ පුදගලයන් හට ජනාධිපති සමාව හිමි වන අතර දඩ ගෙවා ගත නොහැකි, සුළු වැරදි සඳහා සිරගත වූ හෝ යහපත් කල් ක්‍රියාව අනුව පොදු සමාව ලබා දීමේ ක්‍රමවේදයක් ද මෙරට පවතී.

"බන්ධනාගර ආඥා පනත යටතේ පොදු සමාවක් දෙනවා. ඒකත් බන්ධනාගාර අධිකාරීවරයා විසින් ඒක යවන්න ඕනේ අධිකරණ අමාත්‍යංශයට ඒ නඩු වාර්තා ඔක්කකොම එක්ක, ඒ ඔක්කොම බලලා නැවත නීතිපතිවරයාගෙන් විමසලා, අධිකරණ අමාත්‍යවරයාගේ නිර්දේශ සහිතව ඒක යවන්න ඕනේ ජනාධිපතිවරයාට. නැවත ජනාධිපතිවරයා බලලා එවන්න ඕනේ. ඉතින් මේ විදිහට නිදහස ලබා දීම සම්බන්ධව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලවත්, සම්ප්‍රදායානුකූලවත් ක්‍රියාත්මක වෙච්ච එකක්.

"මරණ දඬුවම, අධිකරණයට අපහාස කිරීම, ස්ත්‍රී දූෂණ වගේ ඒවායේදී එක් කෙනෙකුට, දෙන්නෙකුට තමයි මෙතක් කල් ජනාධිපති සමාව දීලා තියෙන්නේ. පොදු සමාව තුන් සියයකට, හාර සියයකට ලැබෙන දෙයක් එතකොට අර වගේ බරපතළ තත්ත්වයකට යන්න බැහැ නේ," ජනාධිපති සමාව සහ පොදු සමාව අතර වෙනස්කම මහාචාර්වරයා එලෙස පැහැදිලි කළේ ය.

ජනාධිපති සමාව සහ පොදු සමාව ලබා දීමට ඇති නිර්ණායක

ජනාධිපති සමාව ලබා දීමට ඇති නිර්ණායක පිළිබඳව ව්‍යවස්ථාවේ සඳහන්ව නොමැත. එහෙත් පොදු සමාව ලබා දීමේදී බන්ධනාගාර දෙපාර්තුමේන්තුව විසින් යම් නිර්ණායක අනුගමනය කරනු ලබයි.

"1978 ව්‍යවස්ථාවේ 34 - 1,2,3 තමයි සමාව දීම තියෙන්නේ. මේකේ කිසි ම නිර්ණායකයක් මේ මේ වගේ වෙන්න ඕනේ කියලා නෑ. එක ම දේ නීත්‍යනුකූල කොන්දේසි මත සමාව දෙන්න පුළුවන්නේ. අන්න ඒ වගේ එකක් තමයි මෙතනදී කියවෙන්නේ. එක ම වරදට තුන් හතර දෙනෙක් සම්බන්ධ වෙලා තියෙන අවස්ථා තියෙන්න පුළුවන්නේ. එවැනි අවස්ථාවක ප්‍රධාන වරදකරුවන් කීප දෙනෙක් හරි, අපරාධ සහායකයෙක්ට හරි සමාව දෙන්න පුළුවන්. ඒ හැර ව්‍යවස්ථාවේ නිර්ණායක නැහැ.

"බන්ධනාගාර ආඥා පනත මත බන්ධනාගාරය යම් යම් කාලවල්වල කොමිටි දාලා, කොමිෂන් දාලා ගොඩක් නිර්ණායක හොයලා බලනවා පොදු සමාව දෙනකොට. පොදු සමාව දෙනකොට බලන්නේ ඒ අයගේ යහපත් කල් ක්‍රියාව, ඒ අයගේ දඬුවම කොච්චර ගෙවලා ඉවර ද, ඒගොල්ලන්ගේ පවුල්වල තත්ත්වය වගේ දේවල්," යැයි මහාචාර්යවරයා ජනාධිපති සමාව සහ පොදු සමාව ලබා දීම සම්බන්ධ පවතින නිර්ණායක ගැන කළ විමසීමදී කියා සිටියේ ය.

ජනාධිපති සමාව ඉල්ලා සිටීමේ හැකියාවක් තිබේ ද?

ඉල්ලීමක් කර ජනාධිපති සමාව ලබා ගැනීමට හැකියාවක් පවතී දැයි මහාචාර්ය, නීතිඥ ප්‍රතිභා මහානාමහේවාගෙන් විමසූ විට ඔහු කියා සිටියේ, ව්‍යවස්ථාව තුළ එවන් ප්‍රතිපාදනයක් නොපැවතිය ද එසේ ඉල්ලීම් කරන අවස්ථා ඇති බව ය.

"ඉල්ලලා සමාව ලබා ගැනීමේ හැකියාව කියන එක ව්‍යවස්ථාව තුළ නැහැ. නමුත් සමාජයෙන් යම් යම් ඉල්ලීම් කරන්න පුළුවන්… එහෙම ඉල්ලා සිටින්න පුළුවන්. එහෙම ඉල්ලා සිටියට ම සමාව දෙන්නේ නැහැ. අර ක්‍රමවේදයේ පැහැදිලිව ම යන්න ඕනේ."

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජනාධිපති සමාව බල රහිත කරන ලද අවස්ථා

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 35 වන වගන්තිය අනුව ජනාධිපතියාට එරෙහිව කිසිදු ආකාරයක සිවිල් හෝ අපරාධ නඩු පැවරිය නොහැකි ලෙස සඳහන් වී තිබේ. නමුත්, එම ප්‍රතිපාදන සහ මුක්තිය ඉවත් කරමින්, ජනාධිපතිවරයාට එරෙහිව නීතිපතිවරයා වගඋත්තරකරු කරමින් මූලික අයිතිවාසිකම් කඩවීමේ නඩු පැවරීමේ හැකියාව 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ලැබී ඇත.

එසේ ජනාධිපති සමාව ලබා දීමෙන් පසුව එම තීන්දු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් බල රහිත කරන ලද අවස්ථා කිහිපයක් ද ඇත.

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් 2021 ජූනි 24 වන දා ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කරනු ලැබීය.

ඊට එරෙහිව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු පිරිසක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් නඩු පැවරූ අතර එම පෙත්සම විභාග කිරීමෙන් අනතුරුව දුමින්ද සිල්වා වෙත පිරිනමනු ලැබූ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් බල රහිත කිරීමට නියෝග කෙරිණි.

දුමින්ද සිල්වාට සමාව ප්‍රදානය කර නිදහස් කිරීමේදී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් ප්‍රතිපාදන නොසලකා හැර සිය බලය අත්තනෝමතික ලෙස ක්‍රියාවේ යොදවමින් අනීතික ආකාරයෙන් කටයුතු කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේ ය.

හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේදී මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ නඩුව අවසන් වීමෙන් පසු එම අධිකරණ ශාලාව තුළ කලහකාරී ලෙස හැසිරීමෙන් අධිකරණයට අපහාස කිරීමේ වරද යටතේ සිරගත කර සිටි බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥාණසාර හිමි හට 2019 හිටපු ජනාපති මෛත්‍රීපාල සිරිසේන විසින් ජනාධිපති සමාව දෙනු ලැබීය.

කෙසේ වෙතත්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් නිදහස් කිරීමට ගන්නා ලද තීරණයට එරෙහිව සන්ධ්‍යා එක්නැළිගොඩ විසින් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරන ලදී.

රෝයල් පාර්ක් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටි ජූඩ් ශ්‍රමන්ත ජයමහ නමැත්තාට 2016 වර්ෂයේදී විශේෂ ජනාධිපති සමාවක්‌ යටතේ ජීවිත සමාව හිමිවෙමින් ඔහුගේ දඬුවම ජීවිතාන්තය දක්වා සිර දඬුවමක්‌ ලෙස ලිහිල් කර පසුව පූර්ණ සමාවක් ලබා දී නිදහස් කළේ ය.

ජනාධිපති සමාව ප්‍රදානය කර ජූඩ් ශ්‍රමන්ත ජයමහ නිදහස් කිරීමට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ගත් තීරණය බලරහිත කර ලෙස ඉල්ලා කාන්තා හා මාධ්‍ය සාමූහිකය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොණු කරනු ලැබීය.

එම පෙත්සම විභාග කළ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් ජූඩ් ශ්‍රමන්ත ජයමහ නමැති විත්තිකරුට සමාව ප්‍රදානය කර නිදහස් කිරීමේ දී එවකට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන චේතනාන්විතවම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කර ඇතැයි තීන්දු කර තීරණය බල රහිත කර පෙත්සම්කාර පාර්ශ්වයට රුපියල් මිලියනයක වන්දියක් ගෙවන ලෙස මෛත්‍රිපාල සිරිසේනට නියෝග කෙරුණි.

ඊට අමතරව මෙම නඩුකරයට පාදකවන සිද්ධියේදී මිය ගිය තරුණියගේ දෙමව්පියන් වන රොජර් ජොන්සන් සහ කැරලයින් ජොන්සන් යන අයට තවත් ලක්ෂ 10 බැගින් ලක්ෂ 20 ක් වන්දි සහ නඩු ගාස්තු ගෙවිය යුතු බවත් මෛත්‍රිපාල සිරිසේනට අධිකරණය නියෝග කළේය.

2000 වසරේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් යාපනය මිරිසුවිල් ප්‍රදේශයේදී අවුරුදු පහක කුඩා දරුවකු ඇතුළු අවතැන්ව සිටි සිවිල් වැසියන් 8 දෙනෙකු කපා කොටා මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණය විසින් මරණීය දණ්ඩනය නියම කර සිටි යුද හමුදා සැරයන් සුනිල් රත්නායක හට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ජනාධිපති සමාව ලබා දුන්නේ ය.

ඊට එරෙහිව විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය.

ඩිජිටල් කරන්න යෝජනාවක්

මහාචාර්ය, නීතිඥ ප්‍රතිභා මහානාමහේවා සිරකරුවන්ගේ ඩිජිටල් දත්ත පද්ධතියක් පවත්වාගෙන යාමේ අවශ්‍යතාව ද බීබීසි සිංහල සමග අදහස් දක්වමින් මතු කළේ ය.

"වෙන ඕන රටක සිරුකරුවන්ගේ ඩේටාබේස් එකක් තියෙනවා ඕන වෙලාවක, ඕන අමාත්‍යංශයකට ගිහිල්ලා බලන්න පුළුවන්. අපේ රටේ බන්ධනාගාර අධිකාරී දෙන එක තමයි ජනාධිපති කාර්යාලය, අධිකරණ අමාත්‍යංශය පිළිගන්නේ. ඩිජිටලයිෂේෂන් එකත් එකක් මේ දේ කරන්න පුළුවන් නම් අධිකරණ අමාත්‍යංශයට බලන්න පුළුවන්," ඔහු වැඩිදුරටත් පැවසීය.