ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
රෝයල් පාර්ක් මිනීමැරුම: මෛත්‍රීපාල සිරිසේන සමාව දුන් ජූඩ් ශ්‍රමන්ත සිංගප්පූරුවේ නැතැයි අධිකරණයට දන්වයි - අධිකරණයෙන් දොස්
- Author, බීබීසී සිංහල
මහත් ආන්දෝලනයකට තුඩු දුන් රෝයල් පාර්ක් මිනී මැරුම් සිද්ධිය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී පසුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පිරිනැමූ සමාව යටතේ නිදහස් කිරීමෙන් අනතුරුව රටින් පිටවූ ජූඩ් ශ්‍රමන්ත ජයමහ මේ වන විට සිංගප්පූරුවේ නොමැති බවට එරට බලධාරීන් ලංකා රජයට දැනුම් දී ඇතැයි නීතිපතිවරයා අඟහරුවාදා (අප්‍රේල් 29) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේ ය.
ඔහු මෙරටට ගෙන්වා ගැනීමේ කටයුතුවලට අදාළ ප්‍රගතිය විමසා බැලීම සඳහා අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සම කැඳවූ අවස්ථාවේදී රජයේ නීතිඥ සජිත් බණ්ඩාර ඒ බව දැනුම් දුන්නේ ය.
මෙම පෙත්සම අද එස්. තුරෙයිරාජා, යසන්ත කෝදාගොඩ සහ ජනක් ද සිල්වා යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබිණි.
එහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ රජයේ නීතිඥවරයා සඳහන් කළේ, මෙම වගඋත්තරකරු සිංගප්පූරුවේ සිටින බවට මුලින් ලැබුණු තොරතුරුවලට අනුව මෙරටට පිටුවහල් කිරීමට අවශ්‍ය කටයුතු කරන ලෙස නීතිපතිවරයා විසින් සිංගප්පූරු බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරනු ලැබූ බව ය.
එහෙත්, ඔහු සිංගප්පූරුවේ නොමැති බවට එරට බලධාරීන් ශ්‍රී ලංකා බලධාරීන්ට දැනුම් දී ඇති බවත්, ඒ අනුව වගඋත්තරකරු රැඳී සිටින්නේ කුමන රටක දැයි සොයා බැලීම සඳහා විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් රජයේ නීතිඥවරයා දැනුම් දුන්නේ ය.
සභාපති විනිසුරුගේ අප්‍රසාදය
මෙහිදී ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු එස්. තුරෙයිරාජා සඳහන් කළේ මෙම නඩු තීන්දුව නිකුත්කොට වසරකට ආසන්න කාලයක් ගත වී තිබුණ ද වගඋත්තරකරු සොයා ගැනීමට ගෙන තිබෙන පියවර සම්බන්ධයෙන් සෑහීමකට පත්විය නොහැකි බව ය.
විනිසුරු යසන්ත කෝදාගොඩ රජයේ නීතිඥවරයා වෙත ප්‍රශ්නයක් යොමු කරමින් මෙම වග උත්තරකරු පිළිබඳව ආගමන හා විගමන පාලකවරයා මාර්ගයෙන් කරුණු සොයා බැලුවේ දැයි විමසා සිටියේ ය.
ඊට ප්‍රතිචාර දක්වමින් රජයේ නීතිඥවරයා සඳහන් කළේ, ආගමන හා විගමන පාලකවරයාගෙන් වාර්තා කැඳවා ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශනය කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව ය.
මුල් නඩු ගොනුව සොයා ගැනීමේ ප්‍රමාදයක්
ඊට අමතරව, මෙම වගඋත්තරකරු අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් ලබා ගැනීමට කටයුතු යොදා තිබුණ ද මෙම නඩුකරයට අදාළ මුල් නඩු ගොනුව සොයා ගැනීම පමා වීම හේතුවෙන් එම කටයුතුවල යම් පමාවක් ඇති වී තිබෙන බව ද රජයේ නීතිඥවරයා පැවසීය.
කෙසේ වෙතත්, නොපමාව මහාධිකරණය වෙතින් වරෙන්තුවක් ඉල්ලා සිටීමට අපේක්ෂා කරන බවත්, එම උත්සහය සාර්ථක නොවුණොත් ශ්‍රේෂ්ඨාධිකරණය වෙතින් වරෙන්තුවක් ලබා ගැනීමට අවශ්‍ය කටයුතු කරන බවත් රජයේ නීතිඥවරයා වැඩිදුරටත් අධිකරණයට දන්වා සිටියේ ය.
ඉන් අනතුරුව අදාළ පෙත්සම යළිත් ජූලි මස 28 වන දා කැඳවීමට නියම කළ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල එදින මෙම කටයුතුවල ප්‍රගතිය අධිකරණයට දැනුම් දෙන ලෙසත් රජයේ නීතිඥවරයාට නියෝග කළේ ය.
අධිකරණයට පැමිණි මෛත්‍රීපාලට මොක ද වුණේ?
මේ අතර, මරණීය දණ්ඩනය නියම වී සිටි ජූඩ් ශ්‍රමන්ත ජයමහ නමැත්තාට ලබා දුන් ජනාධිපති සමාව අහෝසි කිරීමෙන් අනතුරුව අධිකරණය විසින් ගෙවන ලෙස නියම කරනු ලැබූ රුපියල් මිලියනයක වන්දි මුදල හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ගෙවා ඇති බව ඔහුගේ නීතිඥවරු අද ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්හ.
එම නඩුකරය අද කැඳවූ අවස්ථාවේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ද අධිකරණයේ පෙනී සිටියේ ය.
එහිදී මෛත්‍රීපාල සිරිසේන වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා අධිකරණය හමුවේ කරුණු දක්වමින් අධිකරණය විසින් නියම කරන ලද වන්දි මුදල තම සේවාදායකයා දැනටමත් ගෙවා අවසන් කර තිබෙන බව සඳහන් කළේ ය.
ඒ අනුව, අධිකරණය හමුවේ පෙනී සිටි හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මුදාහැරීමට ද ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියම කළේ ය.