ශ්‍රී ලංකාවේ නීතිය යටතේ ජනාධිපති සමාව අභියෝගයට ලක් කළ හැකිද?

    • Author, දැහැමි රණවීර
    • Role, BBC සිංහල

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥාණසාර හිමි පසුගියදා ජනාධිපති සමාව යටතේ නිදහස් කිරීමත් සමඟ ජනාධිපති සමාව පිළිබඳ සමාජය තුළ ප්‍රබල සංවාදයක් මතු විය.

අධිකරණයට අපහාස කළ බවට එල්ල වූ චෝදනා හතරකට 2018 අගෝස්තු 08 වෙනිදා වරදකරු කෙරුණු ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට වසර 19 ක සිරදඬුවමක් නියම කළ අභියාචනාධිකරණය එකී දඬුවම වසර 6 කින් ගෙවී යන සේ දඬුවම් නියම කළේය.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමට අදාළ නඩුව 2016 වසරේ ජනවාරි මස හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ විභාගයට ගත් අවස්ථාවේදී, අධිකරණ භූමිය තුළ කලහකාරී ආකාරයෙන් හැසිරීම මගින් අධිකරණයට අපහාසයක් සිදු කිරීම සහ රජයේ නීතිඥවරුන්ට අපහාසයක් සිදු කිරීම ඥාණසාර හිමියන්ට එරෙහිව ගොනු කර තිබුණ චෝදනාය.

කෙසේ වෙතත්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන් නිදහස් කිරීමට ගත් තීරණයට එරෙහිව සන්ධ්‍යා එක්නැලිගොඩ විසින් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරනු ලැබ තිබේ.

ජනාධිපති සමාව ලබා දීම 'සාමාන්‍ය' ක්‍රියාවක් ද?

ජනාධිපති සමාව යනු කුමක්ද, සහ එය අභියෝගයට ලක් කළ හැකි දැයි ශ්‍රී ලාංකිකයන් කිහිපදෙනෙකුගෙන් විමසූ විට, බහුතරයක් එය හැඳින්වූයේ ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයෙකුට අයත් සාමාන්‍ය ක්‍රියාවක් ලෙසය.

"ඒක ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයෙකුට තිබෙන ගොඩක් බලතලවලින් එකක්. මම නම් හිතන්නේ නැහැ ඒ වගේ දෙයක් ගැන සාමාන්‍ය ජනතාව හැටියට අපිට ප්‍රශ්න කරන්න පුළුවන් කියලා. ජනාධිපතිගේ තීරණයකට එරෙහිව අපිට උසාවි යන්න බැහැ නේද?" යැයි ගෘහණියක වන චතුරි විතානගේ පැවසුවාය.

"ජනාධිපති සමාව කියන්නේ වෙසක් පොහොය දිනය සහ නිදහස් උත්සවය දවසේ සිරකරුවන් කොටසක් නිදහස් කරන එක කියලයි මම හිතන්නේ. හැබැයි ඒ ගන්න තීරණයට උසාවියකට ගිහින් 'චැලේන්ජ්' කරන්න පුළුවන් කියලා මම දැනුවත් නැහැ," කඩුවෙල පදිංචි රුචිරා කරුණාරත්න පැවසීය.

රාජ්‍ය නායකයන් සිරකරුවන්ට සමාව දීම ශ්‍රී ලංකාව තුළ දුරාතීතයේ සිටම පැවැත එන සම්ප්‍රදායකි.

රාජාණ්ඩු සමයේ පමණක් නොව, යටත් විජිත සමයේ පවා, බ්‍රිතාන්‍ය මහ රැජිනගේ නිර්දේශය මත, සිරකරුවන් නිදහස් කිරීම සිදු කෙරිණි. ඩොනමෝර් හෝ සෝල්බරි ව්‍යවස්ථාව යටතේ ආණ්ඩුකාරවරුන්ගේ නිර්දේශය අනුව සිරකරුවන් නිදහස් කෙරිණි.

"අපි දන්න කාලයේ ඉඳන් ජනාධිපති සමාව ගැන ඇහිලා තිබෙනවා. හැබැයි ඒකට අදාළ නීතිමය තත්වය ගැන අපිට අවබෝධයක් නැහැ. ශ්‍රී ලංකාව පාලනය කරන පුද්ගලයෙකුට අයත් සාමාන්‍ය වැඩක් ලෙස තමයි අපි මේ ගැන දන්නේ. ඇත්තටම අසරණ සිරකරුවන් නිදහස් කිරීම හොඳ දෙයක් වුණත්, මේ බලය වැරදි විදියට පාවිච්චි කළොත් මුළු රටටම බලපාන මහ ප්‍රශ්නයක් වෙනවා," යැයි හැට හතර වියේ පසුවන එස් ජී සුධර්මා පැවසීය.

ඒ සම්බන්ධයෙන් මීට ඉහතදී බීබීසී සිංහල සේවය සමඟ අදහස් දැක්වූ ප්‍රවීණ නීතිවේදියෙකු වන ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා කියා සිටියේ, ශ්‍රී ලංකාවේ රාජ්‍ය පාලන ඉතිහාසය තුළ සිරකරුවන්ට සමාව ලබා දීම සම්බන්ධයෙන් ඇතැම් සීමා තිබුණු අතර, වර්තමානයේ දී මෙය අධිකරණයට කරන බලපෑමක් ලෙස දැකිය හැකි බවය.

"මේකේ රසවත් ඉතිහාසයක් තියෙනවා. ඉස්සෙල්ලම තිබුණේ ජනාධිපතිගේ සමාවක් නෙවෙයි. රැජිනගේ සමාව. ඊට පස්සේ ආණ්ඩුකාරයාගේ සමාව," යනුවෙන් ඔහු පැහැදිලි කරන්නට යෙදුණි.

"ඉස්සර ඩොනමෝර් හෝ සෝල්බරි ව්‍යවස්ථාව යටතේ ආණ්ඩුකාරයාගේ සමාව තිබුණට, නිසි පරිදි නඩු අහල දඬුවම් ලබපු අයව නිදහස් කළේ නැහැ. බණ්ඩාරනායක ඝාතනයට හසු වූ සෝමාරාම නිදහස් කරන්න කියල ඉල්ලීමක් ඉදිරිපත් වුනා. ඒත් නිදහස් කළේ නැහැ."

"78 දී ජනාධිපතිවරයාට මේ බලය දාල ලියා ගත්ත. ඒක අධිකරණයට කරන බලපෑමක්," ආචාර්ය මහානාමහේවා තවදුරටත් පැවසීය.

ජනාධිපති සමාව යනු කුමක් ද?

සිරකරුවන්ට සමාව ලබා දීමට ජනාධිපතිවරයාට බලය හිමිවන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වැනි වගන්තියෙනි.

34 වගන්තියේ (1) අනු වගන්තිය යටතේ ශ්‍රී ලංකාවේ කවර හෝ අධිකරණයක තීන්දුවක් යටතේ වරදකරු කරන ලද පුද්ගලයෙකුට සමාවක් ලබා දීමට ජනාධිපතිවරයාට බලය පැවරේ.

එමෙන්ම, වරදකරුට ලබා දෙන්නේ සම්පූර්ණ සමාවක් ද නැතහොත් නීත්‍යානුකූල කොන්දේසි සහිත සමාවක් ද යන්න ජනාධිපතිවරයාට තීරණය කළ හැකිය.

අදාළ වරදකරුට නියම කර ඇති දඬුවම වෙනුවට ලිහිල් දඬුවමක් නියම කිරීමට හෝ නියම කරන ලද දඬුවම මුළුමනින්ම නිශ්ප්‍රභ කිරීමට ද ජනාධිපතිවරයෙකුට ව්‍යවස්ථාවෙන් බලය හිමි වී තිබේ.

කෙසේනමුත්, අධිකරණයකින් මරණ දඬුවම නියම වූ පුද්ගලයෙකුට සමාව ලබා දීමේ දී 34 (ඈ) වගන්තිය යටතේ ජනාධිපතිවරයාට යම් සීමා පනවා තිබේ.

එවන් පුද්ගලයෙකු නිදහස් කිරීමට පෙර අදාළ නඩුව විභාග කළ විනිසුරුගෙන් වාර්තාවක් ලබා ගත යුතුය. එම වාර්තාව ජනාධිපතිවරයා අතට ලැබුණු පසු, ඒ ගැන නීතිපතිවරයාගෙන් උපදෙස් ලබා ගත යුතුය.

එම වාර්තාව නීතිපතිවරයාට යැවිය යුත්තේ අදාළ උපදෙස් ලබා දීමෙන් පසු අධිකරණ විෂය භාර අමාත්‍යවරයාට යවන ලෙස උපදෙස් ලබා දෙමිනි.

ඉන්පසු, අදාළ අමාත්‍යවරයා සිය නිර්දේශ ද සඳහන් කරමින් වාර්තාව නැවත ජනාධිපතිවරයා වෙත යොමු කරනු ලබයි.

"මරණ දඬුවමට නියම වූ පුද්ගලයෙකුට සමාව ලබාදීමේ දී හැර වෙනත් අවස්ථාවල දී ජනාධිපතිවරයාට විශේෂ ඉල්ලීම් කිරීමට අවශ්‍ය වන්නේ නැහැ. ව්‍යවස්ථාවේ 34 (1) වගන්තිය බොහොම පුළුල් ලෙස අර්ථකථනය කරන්න පුළුවන් විදියට සකසලා තිබෙන්නේ," යනුවෙන් නීතිවේදිනී ජී එම් රණසිංහ ඒ සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවයට විස්තර කළාය.

"ජනාධිපති සමාව ලබාදීමේදී සලකා බැලිය යුත්තේ මොනවගේ කරුණු දැයි නීතියේ පැහැදිලිව සඳහන් කර නැහැ. ජනාධිපතිවරයා රටේ සුභසිද්ධිය සහ සාධාරණත්වය වෙනුවෙන් කටයුතු කරන පුද්ගලයෙකු සේ සලකා සිය අභිමතය අනුව ක‍්‍රියා කිරීමට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් ලබා දී ඇති තවත් බලයක් ලෙස මා මෙය දකිනවා," ඇය තවදුරටත් සඳහන් කළාය.

මෙවර වෙසක් පොහොය නිමිත්තෙන් ජනාධිපති පොදු සමාව යටතේ සිරකරුවන් 736 දෙනකු හා සිරකාරියන් 26 දෙනකු වශයෙන් 762 දෙනකු නිදහස ලැබූහ. මේ අතර වැඩි වශයෙන් සිටියේ සුළු වැරදිවලට සිර දඬුවම් ලැබූ පුද්ගලයන් සහ යම් වරදක් හේතුවෙන් අධිකරණය මගින් නියම කළ දඩ මුදල ගෙවා ගත නොහැකිව සිටි පුද්ගලයන්ය.

මේ තොරතුරුද කියවන්න:

"නිර්ණායක නැහැ"

ජනාධිපතිවරයාගේ සමාව හිමිවිය යුතු සිරකරුවන් තෝරා ගැනීමේදී කිසිදු නිර්ණායකයක් සලකා නොබලන්නේ ද?

ඒ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණිය කියා සිටියේ එවැනි සම්මත නිර්ණායක මාලාවක් නොපවතින නමුත් අධිකරණ අමාත්‍යංශය මගින් ඒ ඒ අවස්ථාවන් හි නිර්ණායක ඉදිරිපත් කරන බවය.

"සම්මත නිර්ණායකයක් කියල කියන්න බැහැ. මේ වන තෙක් තිබෙන අත්දැකීම් අනුව කියන්න පුළුවන් බොහෝ වෙලාවට බරපතළ නොවන වැරදි වලට සිටින අය තමයි නිදහස් කරන්නේ," ඔහු පැවසීය.

"යම් කෙනෙක් නිදහස් වීමට අදාළ පසුබිම අපට අදාළ නැහැ. ජනාධිපතිවරයාගේ නියෝගය ක්‍රියාත්මක කරනවා. සමහරවිට අමාත්‍යංශය හරහා නිර්දේශ වෙන්නත් පුළුවන්. එහෙම නොවෙන්නත් පුළුවන්." ඔහු පැවසීය.

මේ අතර, ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලය විසින් සකස් කරන ලද වාර්තාවක් මෙම වසරේ ජනවාරි මාසයේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණ අතර, සිරකරුවන් නිදහස් කිරීම සඳහා ජනාධිපතිවරයා සතු බලතල සංශෝධනය විය යුතු බවට එහිදී යෝජනා වී තිබේ.

1978 ව්‍යවස්ථාවට අනුව ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපතිවරයෙකුට නොහැකි වන්නේ "ගැහැණියක පිරිමියෙකු කිරීමට හෝ පිරිමියෙකු ගැහැණියක කිරීමට පමණයි" යනුවෙන් හිටපු ජනාධිපති ජේ ආර් ජයවර්ධන වරක් ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත්, 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් යම් දුරකට විධායක බලතලවල වෙනසක් සිදුවූ බව නීති විශාරදයෝ පවසති.

බ්‍රිතාන්‍ය යටත් විජිත යුගයෙන් පසු නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බිහි වූයේ 1972 දීය. කෙසේනමුත්, වසර කීපයක් ගතවන විට, 1978 වසරේදී දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ද නිර්මාණය විය.

මේ වන විට 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සංශෝධන 19ක් හඳුන්වා දී ඇති අතර ඒ සියල්ල මේ වන විට ක්‍රියාත්මක කර තිබේ.

ජනාධිපති සමාව අභියෝගයට ලක් කළ හැකිද?

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 35 වැනි වගන්තිය අනුව ජනාධිපති ධූරය දරන තැනැත්තා/තැනැත්තියට එරෙහිව කිසිදු ආකාරයක සිවිල් හෝ අපරාධ නඩු පැවරිය නොහැකි ලෙස සඳහන් වී තිබේ. නමුත්, එම ප්‍රතිපාදන සහ මුක්තිය ඉවත් කරමින්, ජනාධිපතිවරයාට එරෙහිව නීතිපතිවරයා වග උත්තරකරු කරමින් මූලික අයිතිවාසිකම් කඩවීමේ නඩු පැවරීමේ හැකියාව 19 වෙනි සංශෝධනයෙන් ලැබී ඇත.

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කිරීමෙන් සන්ධ්‍යා එක්නැලිගොඩගේ මූලික අයිතිවාසිකම් කඩ වූ බවට ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොනු කිරීමට හැකියාව ලැබී ඇත්තේ මේ හේතුවෙනි.

"ජනාධිපති සමාව ලබා දීම වරදක් යැයි පවසමින් සෘජුව නඩු පවරන්න නීති නැහැ. නමුත්, 19 වෙනි සංශෝධනය යටතේ යම් වරදකරුවෙකු නිදහස් කිරීම මගින් තවත් පුද්ගලයෙකුගේ මූලික අයිතිවාසිකම් කඩ වී තිබෙන බව සඳහන් කරමින් නඩු පවරන්න පුළුවන්," නීතිවේදිනී ජී එම් රණසිංහ පැවසීය.

"ඒ හැර, අනෙක් සෑම අවස්ථාවකදීම අදාළ කාරණා සලකා බැලීමෙන් පසු ජනාධිපතිවරයාට හැකියාවක් තියෙනවා වරදකරුවාට කොන්දේසි රහිත සමාවක් හෝ කොන්දේසි සහිත සමාවක් ලබා දෙන්න. ජනාධිපති සමාව දීම සම්බන්ධයෙන් පුද්ගලයාගේ තරාතිරම හෝ වෙනත් කරුණු කිසිවක් බලපාන්නේ නැහැ."

අධිකරණයට අපහාස කිරීමේ වරදට ජනාධිපති සමාව දිය හැකිද?

ජනාධිපති සමාව ලබා දිය යුතු නිර්ණායක සඳහන් වී නොමැති හෙයින් ව්‍යවස්ථාවේ 34 වැනි වගන්තිය අනුව අධිකරණයක තීන්දුවක් යටතේ වරදකරු කරන ලද ඕනෑම පුද්ගලයෙකු නිදහස් කළ හැකිය.

කෙසේනමුත්, "ඥාණසාර හිමියන්ට ජනාධිපති සමාව දීම, ජනාධිපතිවරයා අධිකරණයට කළ අපහාසයක්" ලෙස ඇතැම් මාධ්‍ය වාර්තාවල දක්වා තිබිණ.

2016 ජනවාරි 25 වැනිදා, ප‍්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් නඩුව කැඳවා අවසන් වූ පසු අධිකරණයේ අවසරයක් නැතිව එම ස්ථානයට පැමිණි ඥාණසාර හිමියන් අධිකරණයට අපහාස වන ආකාරයට මහේස්ත්‍රාත්වරයාට තර්ජනය කර, රජයේ නීතිඥ දිලීප පීරිස්ට බැන පරිභව කර තිබිණි.

මෙවන් '"අශෝභන හැසිරීමකට වරදකරු වූ පුද්ගලයෙකු නිදහස් කිරීමෙන් ජනාධිපතිවරයා ද අධිකරණයට අපහාස කිරීම අනුමත කර ඇති අතර, අධිකරණ ක්‍රියාවලියට අනවශ්‍ය ලෙස බලපෑම් කර තිබෙන බව" මාධ්‍ය වාර්තාවල දැක්වේ.

කෙසේනමුත්, ජනාධිපති සමාව ලබා දිය යුත්තේ කිනම් වරදකට සිරගත වූ පුද්ගලයන්ට දැයි ශ්‍රී ලංකා නීතියේ සඳහන් වී නොමැත.

ජනාධිපති සමාව සමාජයේ කතාබහට ලක් වූ අවස්ථා කිහිපයක්

  • 2004 වර්ෂයේ දී පොදුජන එක්සත් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක ද අධිකරණයට අපහාස කිරීමේ වරදට සිරගත කෙරිණි. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පාලන සමයේ රජයේ ප්‍රබල ඇමැතිවරයකුව සිටි එස් බී දිසානායක කලක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ලෙස ද කටයුතු කළේය. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා 2006 දී එස් බී දිසානායකට ජනාධිපති සමාව ලබා දුණි.
  • හිටපු හමුදාපතිවරයෙකු වන ෆීල්ඩ් මාෂල් ජනරාල් සරත් ෆොන්සේකාට එරෙහිව තිබු සියලු චෝදනාවලින් ඔහුව නිදොස් කොට නිදහස් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ක්‍රියා කළේය.
  • ජනාධිපති පොදු සමාව යටතේ 71 කැරැල්ලේ ප්‍රධාන විත්තිකරුවා වූ ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීරට ජනාධිපති සමාව ලැබීම.
  • නැක්සලයිට් චෝදනාව යටතේ සිරගත කෙ‍රුණු විජය කුමාරතුංග ජේ ආර් ජයවර්ධන ජනාධිපති සමාව යටතේ නිදහස් වීම.
  • මිනීමැරුම්, පුද්ගලයන් පැහැරගෙන යෑම් ඇතුළු අපරාධ රැසක් සම්බන්ධයෙන් සිරදඬුවම් ලැබ සිටි පාතාලයට සම්බන්ධ පුද්ගලයෙකු වන ගෝනවල සුනිල් ජේ ආර් ජයවර්ධන ජනාධිපති යටතේ සමාව ලැබීය. පසුව ඔහුට මුළු දිවයිනටම බලපාන පරිදි සාමදාන විනිශ්චයකාර පදවියක් ද ප්‍රදානය කෙරිණ.
  • රජයේ බදු මුදල් විශාල වශයෙන් වංචා කිරීමේ චෝදනා යටතේ සිරදඬුවම් නියමව සිටි වත්තල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයකුට ජනාධිපති සමාව ලැබීම.
  • පුද්ගලයකු ඝාතනය කර මහාධිකරණයෙන් මරණ දඬුවමට ලක්ව සිරගතව සිටි හිටපු ඇමැතිවරයකුගේ භාර්යාවක ජනාධිපති සමාව යටතේ නිදහස් වීම.

තවදුරටත් අදහස දැක්වූ නීතිවේදිනී ජී එම් රණසිංහ: "මීට කලින් ජනාධිපති සමාව ලබා දුන් අවස්ථා කිහිපයක් ගැන දැඩි ලෙස පසුතැවීමක් ඇති වුණත්, ඒ කාලයේ හැටියට ජනතාවට එළිපිට අදහස් දක්වන වටපිටාවක් තිබුණේ නැහැ. වාචික විවේචන එල්ල වුණත් ඒවා ප්‍රබල වුණේ නැහැ. නමුත් දැන් එහෙම නෙමෙයි. සමාජ මාධ්‍ය ජාල සහ වෙබ් අඩවි ඔස්සේ තමන්ගේ අදහස් ප්‍රකාශ කරලා රජයට දැඩි බලපෑම් එල්ල කරන්න පුළුවන්," යනුවෙන් කියා සිටියාය,

"අදාළ නීති රීති, නිර්ණායක නැති වුණත් විධායකය සහ රජයට දැඩි පීඩනයක් එල්ල කිරීමේ හැකියාව ජනතාවට ලැබිලා තිබෙනවා. එය පසුගිය කාලයේ සිදු වූ සිද්ධි කිහිපයකදීම ඔප්පු වුණා," ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

තවත් තොරතුරු: