රාජු බණ්ඩාර: සංගීතඥයෙකු, ගායකයෙකු සහ නළුවෙකු වූ සුප්‍රකට වාදකයාගේ අප්‍රකට තොරතුරු

    • Author, බීබීසී සිංහල

"ඔහුට තිබුණා ගායකයෙකුට පිහිටන දුර්ලභ විශේෂත්වයක්. ඒ, අව්‍යාජ ළයාන්විත හැඟුම්බර කටහඬක්. ගොඩක් ගායනයේ දක්ෂයින් හිටියාට ඒ ගුණාංගය හැමෝට ම පිහිටන්නෙ නෑ."

මේ, අභාවප්‍රාප්ත වූ ගායන ශිල්පී සහ සංගීතඥ රාජු බණ්ඩාර ගැන ප්‍රවීණ සංගීතඥ සහ ගායන ශිල්පී රූකාන්ත ගුණතිලක බීබීසී සිංහල සේවයට පැහැදිලි කළ ආකාරය යි.

වයස අවුරුදු 65දී ජීවිතයට සමුදුන් රාජු බණ්ඩාර, දක්ෂ ගිටාර් වාදකයෙකු, ගායන ශිල්පියෙකු, සංගීතඥයෙකු, රංගන ශිල්පියෙකු ලෙස රසිකයින්ගේ ආදරයට පාත්‍ර වූ කලාකරුවෙකි.

සංගීතය හා බැඳුණු පවුලක්

රාජු බණ්ඩාර උපත ලබා හැදී වැඩුණේ සංගීතය සමග බැඳුණු පවුලක ය.

ඔහුගේ සීයා වූ ඩී.සී. කොඩිතුවක්කු හේවුඩ් සෞන්දර්ය නිකේතනයේ තබ්ලා වාදනය පිළිබඳ කථිකාචාර්යවරයෙකු විය.

මව, චන්ද්‍රා බණ්ඩාර ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ A ශ්‍රේණියේ ගායිකාවක වූවා ය.

ප්‍රේම්නාත් කොඩිතුවක්කු නම් වූ මාමා, චිත්‍රපට සංගීත ක්ෂේත්‍රයේ සංගීත ශිල්පියෙකු වූ අතර, දක්ෂ තබ්ලා වාදකයෙකු විය.

විශිෂ්ට ගිටාර් වාදකයෙකු වන මහින්ද බණ්ඩාර, රාජු බණ්ඩාරගේ වැඩිමල් සොහොයුරා ය.

කෑගලු විද්‍යාලයෙන් අ.පො.ස. උසස් පෙළ විභාගය සඳහා ගණිත අංශයෙන් ඉගෙනුම ලැබූ රාජු බණ්ඩාර පාසල් සමයේ සිට ම සංගීත කටයුතුවල නිරතව සිටි බව වැඩිමල් සොයුරු මහින්ද බණ්ඩාර පැවසීය.

කණ්ඩායම් සංගීතයෙන් ගමන ඇරඹූ රාජු

රාජු බණ්ඩාර පාසල් අධ්‍යාපනය අවසන් වීමෙන් පසු සිය මිතුරන් කිහිප දෙනෙකු සමග 'බ්ලූ ෂැඩෝස්' නමින් සංගීත කණ්ඩායමක් ආරම්භ කළේ ය.

ඉන්පසුව, කීර්තිමත් සංගීතඥයෙකු වූ මහනුවර පදිංචිව සිටි ආනන්ද පෙරේරාගේ 'සුපර් ජේඩ්ස්' සංගීත කණ්ඩායමට එක් විය.

පසුව, ප්‍රවීණ ගායක රූකාන්ත ගුණතිලක 1978 වසරේදී පිහිටුවා ගත් පළමු සංගීත කණ්ඩායම වූ 'නයගරා' සංගීත කණ්ඩායමේ ලීඩ් ගිටාර් වාදකයා ලෙස රාජු එක් විය.

එම සංගීත කණ්ඩායම කුරුණෑගල සහ හබරණ හෝටල්වල සංගීත කණ්ඩායමක් ලෙස කටයුතු කළ අතර, එය වසර 4ක් පමණ පැවති බව රූකාන්ත ගුණතිලක පැවසීය.

පසුව රූකාන්ත ගුණතිලක සහ රාජු බණ්ඩාර, ක්ලැරන්ස් විජේවර්ධන සමග එක්ව 1985 වසරේදී 'මදාරා' සංගීත කණ්ඩායම ආරම්භ කළහ.

මාස කිහිපයකින් රූකාන්ත ගුණතිලක විදෙස්ගත වූ අතර, රාජු බණ්ඩාර පසුකලෙක සිය වැඩිමල් සොහොයුරු මහින්ද බණ්ඩාර සම්බන්ධ වී සිටි 'ෆෝචූන්ස්' සංගීත කණ්ඩායමට සම්බන්ධ විය.

ඔහු එම කාලයේදී කොළඹ රමාඩා හෝටලයේ රැකියාවක ද නිරත වූ බව රූකාන්ත ගුණතිලක පැවසීය.

'මං ආදරෙයි මුළු ලොවටත් වඩා' - ගිටාර් වාදකයා ගායකයෙකු වෙයි

රූකාන්ත ගුණතිලකගේ මතක ආවර්ජණය අනුව, රාජු බණ්ඩාර 'මං ආදරෙයි මුළු ලොවටත් වඩා' නමැති ගීතයෙන් ගායන ශිල්පියෙකු ලෙස ද කලඑළි බැස්සේ ය.

පසුව, ඔහු රූකාන්ත ගුණතිලකගේ 'උලත් එකයි, පිලත් එකයි' නමැති ගීතයට ද ගායනයෙන් සහභාගි විය.

"ඊට පස්සෙ මම 'රන් සීනු නාද දේ' කියන ගීතයත් එයාට හදල දුන්නා. 'දෑසේ' කියන ඇල්බම් එකට මං තව සින්දුවක් හදල දුන්න. ඒ ඔක්කොම යාළුකමට අපි ඔක්කොම එකතු වෙලා කරපු වැඩ," රූකාන්ත ගුණතිලක සිය මතකය අවදි කළේ ය.

රූකාන්ත ගුණතිලකගේ අතිශය ජනප්‍රිය වූ මුල් කාලීන ගීත දෙකක් වූ 'බඹර පහස' සහ 'අනාථ මාරුතේ' මුල් ගීතවල ලීඩ් ගිටාර් වාදනය කර ඇත්තේ ද, රාජු බණ්ඩාර ය.

කඳුළැලි දෑසේ, හද ගී පොතේ, රෝස මල් කුමාරී, රන් මලක්, රන් සීනු නාද ආදී තවත් ගී රැසක් රාජු බණ්ඩාර ගායනා කර තිබේ.

'දිය කැට පහණේ' දීප්ති

රාජු බණ්ඩාර දක්ෂ රංගන ශිල්පියෙකු බව ඔහුවත් දැන නොසිටින්නට ඇත.

එහෙත්, ඔහු අසෝක හඳගමගේ 'දිය කැට පහණ' ටෙලි නාට්‍යයේ 'දීප්ති'ගේ චරිතයට විශිෂ්ට ලෙස පණ පෙව්වේ ය.

ඔහු එම චරිතය සඳහා තෝරා ගැනුණේ, අහම්බයකිනි.

ඒ සම්බන්ධයෙන්, අසෝක හඳගම සිය ෆේස්බුක් පිටුවෙහි මතකය අවදි කර තිබුණේ, මෙසේ ය.

"දීප්ති යන්නම ගිහින්. ලා පාට කමිසයක්, ඩෙනිමක් ඇඳගෙන ඈත වන්නි හත්පත්තුවේ ගමක පරිසරයට ලොල් බැඳි තරුණයා සදහට ම ගිහින්.

සයිමන් නවගත්තේගම යි අජිත් තිලකසේන යි තමයි ඒ දවස්වල මගේ සාහිත්‍ය වීරයෝ. 'දීප්ති' තමයි දාර්ශනික උත්තේජනය. මේ චරිත මගේ ඔළුව කොලොප්පං කරල යි තිබ්බේ. දීප්ති මගේ හිතේ මැවුණේ ඒ පසුබිමේ.

මේ චරිතය රඟපාන්න සුදුසු නළුවෙක් ගැන හිතාගන්න දහ අතේ කල්පනා කරමින් හිටියට ඒ දවස්වල පුංචි තිරයේ ජනප්‍රිය නළුවන් අතරින් කෙනෙක් ඔළුවට ආවේ නෑ. ඔහොම ඉන්නකොට තමයි දවසක් music recording එකක් ඉවර වෙලා ගෙදර යන ගමන් යාළුවො එක්ක 'සෝඩා' ටිකක් හොයාගෙන ඒ දවස්වල මං හිටපු කඩවත ගෙදරට රාජු ආවෙ. ඉතුරු පානීය වර්ග, අඩුම කුඩුම ඒගොල්ලො ගාව තිබ්බා.

කොණ්ඩේ වවලා පෝනි ටේල් එකක් වගේ ගැට ගහලා. shirt එකේ බොත්තම් ඇරලා. ඒ දඟකාර රූපය ඇතුළේ දීප්ති මට මැවුණා. දීප්තිට ගැලපෙන රූපය මට හම්බ වුණා."

මේ අතර, ඔහු ශ්‍රී ලංකාවේ සුපිරි තරු සොයා යාමේ රූපවාහිනී වැඩසටහන්වල විනිසුරුවරයෙකු ලෙස ද කටයුතු කළේ ය.

රෝගීව ගත වූ වසර 3ක්

වකුගඩු රෝගී තත්ත්වයක් නිසා වසර 3ක් පමණ අසනීප තත්ත්වයෙන් පසුවූ රාජු බණ්ඩාරට මෑතකදී වකුගඩුවක් බද්ධ කළ බව ඔහුගේ සොහොයුරු මහින්ද බණ්ඩාර පැවසීය.

එම අසනීප තත්ත්වය නිසා වරින් වර රෝහල්ගතව ප්‍රතිකාර ලැබීමට ඔහුට සිදුවී තිබිණි.

අවමංගල්‍ය කටයුතු

මේ වන විට රාජු බණ්ඩාරගේ දේහය බොරැල්ල පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර ඇති බව මහින්ද බණ්ඩාර ප්‍රකාශ කළේ ය.

දේහය පිළිබඳ අවසන් කටයුතු සෙනසුරාදා (ජන: 17) පස්වරු 6.00ට බොරැල්ල සුසාන භූමියේදී සිදු කෙරේ.