2026 රාජ්‍ය සේවයට බැඳීමට බලාපොරොත්තු වන ඔබට ඇති අවස්ථා මෙන්න

රාජ්‍ය සේවය සඳහා අලුතින් සේවකයින් 26,095 දෙනෙකු බඳවා ගැනීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස (ජනවාරි මස 13 වැනිදා) පැවසුවේය.

රාජ්‍ය සේවයේ බඳවා ගැනීම් ක්‍රියාවලිය සමාලෝචනය කිරීම සඳහා පත්කර ඇති අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පත් කරනු ලැබූ කමිටුව වෙත අමාත්‍යාංශ වලින් ලද ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් මෙම බඳවා ගැනීම් සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

අනුමැතිය හිමිවූ රැකියා ක්ෂේත්‍ර මොනවාද ?

අමාත්‍ය මණ්ඩල තීරණ අනුව අමාත්‍යාංශ කිහිපයක් සඳහා වන පුරප්පාඩු සම්පූර්ණ කිරීම සඳහා මෙලෙස නව සේවකයින් බඳවා ගැනීමට නියමිතව ඇත.

අලුතින් බඳවා ගන්නා රාජ්‍ය සේවකයින් 26,095 දෙනා අතරින් 23,344 දෙනෙක් ගුරුවරු වෙති.

ඊට අමතරව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය වෙනුවෙන් තනතුරු පුරප්පාඩු 442ක්, අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය වෙනුවෙන් 452ක්, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය වෙනුවෙන් 705ක්, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය වෙනුවෙන් 10ක්, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය සඳහා 37ක්, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය වෙනුවෙන් 76ක් ලෙස නව පුරප්පාඩු සඳහා නව සේවකයින් බඳවා ගැනීමට නියමිතව ඇත.

එමෙන්ම ආරක්ෂක අමාත්‍යාංශය වෙනුවෙන් 102ක්, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය වෙනුවෙන් 19ක්, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය වෙනුවෙන් 10ක්, වෙළෙද, වාණිජ, ආහාර හා සුරක්ෂිතතා සහ සමුපකාර ප්‍රවර්ධන අමාත්‍යාංශය වෙනුවෙන් 01ක්, ප්‍රවාහන හා මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය වෙනුවෙන් තනතුරු 166ක්, ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීමේ අමාත්‍යාංශය වෙනුවෙන් 167ක්, නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන අමාත්‍යාංශය වෙනුවෙන් 33ක්, ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශය වෙනුවෙන් 50ක්, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය සඳහා 23ක්, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය වෙනුවෙන් 248ක් සහ ජාතික පොලිස් සේවා කොමිෂන් සභාව වෙනුවෙන් එක් පුරප්පාඩුවක් වෙනුවෙන් නව බඳවා ගැනීම් සිදුකිරීම සඳහා අවසර හිමිව තිබේ.

මීට අමතරව මධ්‍යම පළාත් සභාව වෙනුවෙන් පුරප්පාඩු 203ක් සහ උතුරු මැද පළාත් සභාව සඳහා වන පුරප්පාඩු 06ක් සඳහා නව බඳවා ගැනීම් සිදුකිරීමට නියමිතව ඇති බව අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවේ සඳහන් වේ.

රජයේ රැකියාවක් ලබා ගන්නේ කොහොමද?

රාජ්‍ය සේවයේ නව පුරප්පාඩු සඳහා සිදුකරන සේවක බඳවා ගැනීම් සම්බන්ධයෙන් ඉදිරි කටයුතු සිදුවන්නේ කෙසේදැයි බීබීසී සිංහල සේවය රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එස්. ආලෝක බණ්ඩාරගෙන් විමසීමක් කරන ලදී.

එහිදී ලේකම්වරයා කියා සිටියේ රාජ්‍ය සේවයේ ඇති පුරප්පාඩු සඳහා බඳවා ගැනීමේ ක්‍රියාවලියට අවශ්‍ය අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙන බැවින් ඉදිරි කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට හැකියාව පවතින බවය.

"කැබිනට් අනුමැතිය තියෙන නිසා ඉක්මනින් බඳවා ගැනීමේ ක්‍රියාවලිය ආරම්භ කරන්න දැන් අවස්ථාව තියෙනවා. පුරප්පාඩු වෙලා තියෙන තනතුරු සඳහා බඳවා ගැනීමේ කටයුතු වෙනුවෙන් තරග විභාග පැවැත්වීම ඇතුළු කරුණු කිහිපයක් තවදුරටත් සිදුකිරීමට තියෙනවා.''

''සමහර පුරප්පාඩු වලට සේවකයින් බඳවා ගන්න අධිකාරී බලය රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයටයි තියෙන්නේ. තවත් සමහරක් පුරප්පාඩු වෙනුවෙන් බඳවා ගැනීමේ කටයුතු කරන්නේ පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සේවා එකයි. මෙතැනදී සේවා බඳවා ගැනීමේ බලධාරීන් එක් එක් ආයතන වෙනුවෙන් වෙනස් වෙනවා." ලේකම්වරයා පැවසුවේය.

කෙසේවෙතත් රාජ්‍ය සේවයේ පුරප්පාඩු වී ඇති තනතුරු සහ ඒ සඳහා ඉල්ලුම් කිරීමට අවශ්‍ය අධ්‍යාපන සුදුසුකම් පිළිබඳ අන්තර්ගත ගැසට් නිවේදනයන් ඉදිරියේදී නිකුත් කිරීමට නියමිතය.

රාජ්‍ය සේවකයෙකුට හිමිවන අවම වැටුප ගැන ඔබ දැනුවත්ද?

2025 වසරේ අයවැයෙන් සම්මත වූ පරිදි රාජ්‍ය අංශයේ අවම වැටුප රුපියල් 24,250 සිට රු 40,000ක් දක්වා ඉහළ දමනු ලැබීය.

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති රාජ්‍ය සේවා වැටුප් චක්‍ර ලේඛයට අනුව ශ්‍රී ලංකා ගුරු සේවය සඳහා වන වැටුප් කේත අංක GE 1 සඳහා වන ගුරුවරයෙකුගේ මූලික වැටුප රුපියල් 53,060ක් සහ වැටුප් කේත අංක GE 2 යටතේ ගුරුවරයෙකුගේ මූලික වැටුප රුපියල් 66,880ක් ලෙසත්, වැටුප් කේත අංක GE 3 සඳහා වන ගුරුවරයෙකුගේ මූලික වැටුප රුපියල් 70,870ක් ලෙස දැක්වේ.

රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එස්. ආලෝක බණ්ඩාර කියා සිටියේ අලුතින් බඳවා ගන්නා රාජ්‍ය සේවකයින්ට නව වැටුප් චක්‍රලේඛයට අනුව වැටුප් හිමිවන බවය.