ට්‍රම්ප්ට නොබෙල් සාම ත්‍යාගය: නමුත් ඔහුට එය හිමි වූයේ කෙසේ ද?

    • Author, දනියෙල් පාර්දෝ
    • Role, බීබීසී මුන්ඩෝ

වෙනිසියුලාවේ විපක්ෂ නායිකා මාරියා කොරිනා මචාඩෝ, බ්‍රහස්පතින්දා [ජනවාරි 15] ධවල මන්දිරයේ පැවති රැස්වීමකදී ඩොනල්ඩ් ට්‍රම්ප් හට ඇගේ නොබෙල් සාම ත්‍යාග පදක්කම ප්‍රදානය කළා ය.

Truth සමාජ මාධ්‍ය වේදිකාවෙහි ට්‍රම්ප් එය "අන්‍යෝන්‍ය ගෞරවයේ අපූරු ඉරියව්වක්" ලෙස විස්තර කර ඇති අතර, මචාඩෝ "බොහෝ දේ අත්විඳ ඇති අපූරු කාන්තාවක්" ලෙස හඳුන්වා දී තිබේ.

මචාඩෝ ට්‍රම්ප්ගෙන් සහයෝගය ලබා ගැනීමට උත්සාහ කරමින් සිටින අතර, මීට පෙර, ට්‍රම්ප් ඇය වෙනිසියුලාවේ නායකත්වයට පත් කිරීම පිළිබඳ අදහස ප්‍රතික්ෂේප කළේ, ඇයට රට තුළ ප්‍රමාණවත් ගෞරවයක් හෝ සහයෝගයක් නොමැති බව පවසමිනි. ඒ වෙනුවට, කලින් මදුරෝගේ උප ජනාධිපති ධුරය දැරූ ඩෙල්සි රොඩ්‍රිගස් දැනට බලයේ සිටිය යුතු බවට එක්සත් ජනපදය තීරණය කර තිබේ.

නොබෙල් කමිටුව පවසා ඇත්තේ නොබෙල් ත්‍යාගයක් හුවමාරු කළ නොහැකි බවත් එම තීරණය "අවසාන" තීරණය බවත් ය.

ට්‍රම්ප්ට සාම ත්‍යාගය ලබා දුන් මචාඩෝ යනු කවු ද?

නොබෙල් සාම ත්‍යාගය

2025 නොබෙල් සාම ත්‍යාගය ඇයට පිරිනැමීමෙන් පසු මචාඩෝ ගෝලීය අවධානයට ලක් වූවා ය. දෙසැම්බර් මාසයේදී, ඇයව වෙනිසියුලාවෙන් පිටතට ගෙන ඒම අතිශය රහසිගත, භයානක මෙහෙයුමක් වූ අතර, ත්‍යාග පිරිනැමීමේ උත්සවයෙන් පැය කිහිපයකට පසු ඇය නොර්වේහි ඔස්ලෝ අගනුවරින් මතු විය.

"මෑත කාලයේ ලතින් ඇමෙරිකාවේ සිවිල් ධෛර්යයේ වඩාත්ම අසාමාන්‍ය උදාහරණවලින් එකක්" ලෙස නොබෙල් කමිටුව විසින් ඇයට ප්‍රශංසා කරන ලද අතර "වෙනිසියුලා ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ප්‍රවර්ධනය කිරීම සඳහා ඇයගේ වෙහෙස නොබලා කළ සේවය" අගය කරන ලදී.

වසර ගණනාවක් තිස්සේ ඇය වෙනිසියුලාවේ ජනාධිපති නිකොලස් මදුරෝට එරෙහිව විරෝධය දක්වා ඇති අතර, ඔහුගේ වසර 12කට වැඩි පාලන කාලය බොහෝ රටවල් විසින් නීති විරෝධී ලෙස සලකනු ලැබේ.

58 හැවිරිදි මචාඩෝ, දශක ගණනාවක් තිස්සේ වෙනිසියුලාව පාලනය කළ නිකොලස් මදුරෝගේ නායකත්වයෙන් යුත් චාවිස්ටා පාලනයට එරෙහි ප්‍රධාන විපක්ෂයේ හඬ බවට පත්ව ඇත.

මදුරෝගේ උපදේශකයා වූයේ හිටපු වෙනිසියුලානු ජනාධිපති හියුගෝ චාවේස් ය. ඔහුගේ සමාජවාදී දේශපාලන දෘෂ්ටිවාදය බොහෝ දෙනෙකු අතර 'චාවිස්මෝ' ලෙස ප්‍රසිද්ධ විය.

වසර ගණනාවක් තිස්සේ මචාඩෝ පාලක පක්ෂයේ ප්‍රධාන ප්‍රතිවාදියා ලෙස සලකනු ලැබී ය. චාවිස්මෝ පාලනයේ ප්‍රබලම අවස්ථාවේ පවා, ඇය හියුගෝ චාවේස් සහ ඔහුගේ ආණ්ඩු ක්‍රමය දැඩි ලෙස විවේචනය කිරීම දිගටම කරගෙන ගියා ය.

ඊට ප්‍රතිචාර වශයෙන්, බලධාරීන් ඇයට වැඩි වැඩියෙන් සීමාවන් පැනවූහ: ඔවුහූ ඇයට රටින් පිටවීම තහනම් කර ජාතික සභාවේ නියෝජ්‍ය තනතුරෙන් ඇය ඉවත් කළහ. එමෙන් ම ඇයට රාජ්‍ය තනතුරු දැරීම තහනම් කළ අතර ඇය ඇමෙරිකානු "අධිරාජ්‍යවාදය" සමග සබඳතා දක්වන්නේ යැයි පවසමින් ඔවුන් එම ක්‍රියාමාර්ග යුක්ති සහගත කරන ලදි.

මෙම පියවර නොතකා, මචාඩෝ ඇගේ දේශපාලන කටයුතු දිගට ම කරගෙන ගිය අතර අවසානයේ වෙනිසියුලානු විපක්ෂයේ අවිවාදිත නායිකාව බවට පත්විය.

ඇය එය කළේ දැඩි අධිෂ්ඨානයෙනි.

2023 සහ 2024 අතර කාලය තුළ ඇය වෙනිසියුලාව හරහා දෙවරක් ගමන් කළා ය. මාර්ග බාධක, අවලංගු කරන ලද ගුවන් ගමන් සහ මිනිසුන් ඇගේ මෝටර් රථයට සත්ව ලේ විසි කිරීම මධ්‍යයේ වුවද මෙය සිදු විය.

2024 අවසාන මාසවලදී, ඇය අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් නිකුත් විය.

ප්‍රචාරණය

ජනාකීර්ණ වීදිවලට ​​ඇය ගිය අවස්ථාවලදී බොහෝ දෙනෙක් ඇයට ජප මාල ලබා දුන් අතර, ඇය ඒවා ළඟ තබාගෙන නම්, ස්ථාන සහ දිනයන් සමග ලේබල් කර, ඒවා ඇගේ ගෙල වටා පැළඳ ගෙන තිබේ.

විශාලතම රැලිවලදී, ඇය පපුවේ ජප මාල දහයක් දක්වා පැළඳ සිටිනු දක්නට ලැබිණි.

"ඒ සෑම එකක් සමග ම, මම කරන දේ කරන්නේ ඇයි වගේ ම සටන් කිරීමට අපව දිරිමත් කරන යාච්ඤා කොපමණ තියෙනවාදැයි මට මතක් කරනවා," විපක්ෂ නායිකාව පැවසුවාය.

මැතිවරණ වංචා චෝදනා එල්ල වුව ද, නිකොලස් මදුරෝ ජයග්‍රාහකයා ලෙස ප්‍රකාශයට පත් කරන ලද 2024 ජූලි මැතිවරණයෙන් පසුව ඇය මෙම ප්‍රකාශය කළා ය.

ජාත්‍යන්තර ප්‍රජාවගේ ඉල්ලීම් නොතකා, රජයට සම්බන්ධ මැතිවරණ ආයතනය වන ජාතික මැතිවරණ කවුන්සිලය (CNE), මදුරෝගේ ජයග්‍රහණය නීත්‍යානුකූල කිරීම සඳහා සවිස්තර ප්‍රතිඵල කිසි විටෙකත් නිකුත් කළේ නොමැත.

මදුරෝ ජයග්‍රහණය කළ බව ජාතික මැතිවරණ කවුන්සිලය නිවේදනය කිරීමෙන් පැයකටත් අඩු කාලයකදී, මචාඩෝ ඇගේ අපේක්ෂක එඩ්මන්ඩෝ ගොන්සාලෙස් උරුටියා මැතිවරණය ජයග්‍රහණය කළ බව නිවේදනය කරමින් ඉදිරියට පැමිණියා ය. එය සනාථ කිරීමට සාක්ෂි ඇය සතුව තිබිණි.

මැතිවරණ නිරීක්ෂණ සංවිධානවලින් තම දේශපාලන ජීවිතය ආරම්භ කළ මචාඩෝ, මෙවර ස්වයංක්‍රීය ඡන්ද ක්‍රමය අධීක්ෂණය කිරීම සඳහා අනෙකුත් විපක්ෂ ක්‍රියාකාරීන් සමග එක්ව කටයුතු කළා ය.

මෙය ඔවුන්ගේ සාක්ෂිකරුවන් විසින් ආරක්ෂා කරන ලද නිල වාර්තා භාවිතා කරමින් සමාන්තර ඡන්ද ගණන් කිරීමක් සිදු කිරීමට ඔවුන්ට ඉඩ සැලසීය.

මෙයින් පසු, විපක්ෂය "මදුරෝගේ වංචාව" ලෙස මෙම සිදුවීම හෙළි කළේ ය. ඔවුන් ශක්තිමත් සාක්ෂි ලෙස හැඳින්වූ දේවල් ඉදිරිපත් කළ අතර, එය එක්සත් ජනපදය වැනි රටවල් ගොන්සාලෙස් ජයග්‍රාහකයා ලෙස පිළිගැනීමට හේතු විය.

"ජයග්‍රහණය කිරීමට බොහෝ කාලයක් ගත වුණා, ජයග්‍රහණය ප්‍රකාශ කිරීමටද කාලයක් ගත වෙන්න පුළුවන්," මචාඩෝ ඇගේ ආධාරකරුවන්ට හෘදයාංගම හඬ පණිවිඩ මගින් නැවත නැවතත් පැවසුවා ය. "එබැවින් අපි විරුද්ධ විය යුතුයි, අපි ජනතාවට සමීපව සිටිය යුතු අතර අපි ඔවුන්ව අත් නොහරින බව ඔවුන්ට පැවසිය යුතුයි, මොකද අපි අවසානයක් දක්වා යනවා."

"අවසානය දක්වා" යන්න ඇගේ සටන් පාඨය බවට පත් විය. එය මචාඩෝව බොහෝ දෙනෙකුගේ බලාපොරොත්තුවේ සංකේතයක් බවටත් විපක්ෂ සන්ධානයක නායිකාව බවටත් පත් කළේ ය. වසර ගණනාවක් තිස්සේ, ඇය මදුරෝගේ රජය හා මැතිවරණ ක්‍රියාවලිය සමඟ සංවාදයට විරුද්ධ වූ අතර, ඒ වෙනුවට ජාත්‍යන්තර මිලිටරි මැදිහත්වීමට සහාය දුන් නිසා සමහර විපක්ෂ කණ්ඩායම් ඇයව විවේචනය කළහ.

නමුත් 2023 නොවැම්බර් මාසයේ සම්මුඛ සාකච්ඡාවකදී ඇය මට පැවසූ පරිදි මචාඩෝ වෙනස් වී ඇත්තේ මිලියන ගණනක් වෙනිසියුලානු ජාතිකයන් වෙනස් වී ඇති ආකාරයටම ය: "අපි බොහෝ වැරදි කර තිබෙනවා. සමහර විට වැරදි සිදුවන්නේ අපි නිවැරදි දේ කරන බව විශ්වාස කරන නිසා, අපට ප්‍රමාණවත් තොරතුරු නොමැති නිසා හෝ අපි තත්ත්වය අවතක්සේරු කරන නිසා. මෙය සිදු වූ විට, අපි අපගේ වැරදිවලින් ඉගෙන ගත යුතුයි."

"අපි අපිව ම සොයා ගනිමින් ඉන්නවා. අපි තේරුම් ගත්තා: 'හේයි, මට මේක කරන්න පුළුවන්' කියලා."