ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
'ඩග්ලස් දේවානන්දාට දුන් ගිනිඅවි 19ක් සන්තකයේ නැහැ': යුද හමුදාව හා ආරක්ෂක අමාත්‍යංශය කියන්නේ කුමක් ද?
- Author, බීබීසී සිංහල
හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මේ වන විට රක්ෂිත බන්ධනගාර ගත කර ඇත්තේ, සිය ජීවිත ආරක්ෂාව වෙනුවෙන් ඔහුට ලබා දුන් ගිනි අවි අවභාවිත කරන ලදැයි කියන සිද්ධියක් හේතුවෙන් ය.
ඊලාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයේ (EPDP) නායක ඩග්ලස් දේවානන්දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් (දෙසැම්බර් 26 වැනිදා) අත්අඩංගුවට ගනු ලැබුවේ ඔහුගේ පෞද්ගලික පරිහරණය සඳහා යුද හමුදාවෙන් ලබා දුන් පිස්තෝලයක්, සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මාකඳුරේ මදුෂ්ගෙන් කළ ප්‍රශ්න කිරීමේදී 2019 වසරේදී සොයා ගැනීමේ සිද්ධියකට අදාළව බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කර තිබිණි.
ඊට අමතරව ඔහුට ලබා දී තිබූ ගිනිඅවි සන්තකයේ නොතිබීමේ චෝදනාව ද මේ වන විට හිටපු අමාත්‍යවරයා වෙත එල්ල වී තිබේ.
අතුරුදහන්ව ඇති ගිනිඅවි සහ උණ්ඩ ප්‍රමාණය කීයද?
පොලිසිය පවසන පරිදි හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා වෙත, ශ්‍රී ලංකා යුද හමුදාව විසින් ලබා දී තිබූ ටී 56 වර්ගයේ ගිනිඅවි 13ක් සහ පිස්තෝල වර්ගයේ ගිනිඅවි 6ක් මේ වන විට හිටපු අමාත්‍යවරයා සන්තකයේ නොමැත.
"2000 අවුරුද්දේ යුද හමුදාව ටී 56 වර්ගයේ ගිනිඅවි 13ක් සහ පිස්තෝල 6ක් නිකුත් කරලා තියෙනවා. මේවත් එක්ක උණ්ඩ, ටී 56 උණ්ඩ 1,560ක් දීලා තියෙනවා. පිස්ටල් උණ්ඩ දීලා තියෙනවා 100ක්. මේ එකක්වත් දැන් මෙයා සන්තකයේ නැහැ." යැයි වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරි මිනුර සේනාරත්න බීබීසී සිංහල වෙත පැවසීය.
LTTE සංවිධානයෙන් තිබු ජීවිත තර්ජන හේතුවෙන් මෙම ගිනිඅවි නීත්‍යානුකූල ලෙස යුද හමුදාව විසින් හිටපු අමාත්‍යවරයා වෙත ලබා දී තිබු බව ද පොලිස් අධිකාරි මිනුර සේනාරත්න සඳහන් කළේය.
එමෙන්ම ගිනිඅවි අස්ථාන ගතවීම පිළිබඳව විමර්ශන සිදුවන බවත් හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා ජනවාරි 09 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවත් වැඩ බලන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.
"කවුද පාවිච්චි කළේ කියන එක සම්බන්ධව අපි ප්‍රකාශ ගන්නවා. කාටද මේවා භාර දුන්නේ, භාර දුන්නාට පස්සේ කවුද මේක භාර ගත්තේ, එතනින් කාටද ගියේ, පසුවිමරමක් සිද්ධ කළාද, ඒ සම්බන්ධව බලනවා."
මෙවන් පසුබිමක ඔහුගේ ආරක්ෂාවට ලබා දී අස්ථානගත වී ඇති ගිනිඅවි, ඔහුට ලබා දීමෙන් පසුව වසර විසි පහක් ගත වන තුරු ඒ පිළිබඳව කරන ලද සොයා බැලීම සහ පසුවිපරම පිළිබඳව ගැටලු මතුව තිබේ.
යුද හමුදාව ගිනිඅවි ලබා දීම ගැන කියන්නේ කුමක්ද?
හිටපු අමාත්‍යවරයාට ගිනිඅවි ලබා දීම සම්බන්ධව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක, බ්‍රිගේඩියර් වරුණ ගමගේගෙන් බීබීසී සිංහල විමසීමක් කළ අතර එහිදී ඔහු කියා සිටියේ ආරක්ෂක අමාත්‍යංශයේ අනුමැතිය අනුව එසේ ගිනිඅවි ලබා දුන් බවය.
"අපි ඒක දෙන්නේ MOD අනුමැතියෙන් තමයි දෙන්නේ. MOD එකෙන් තමයි ඉන්ස්ට්‍රක්ෂන් දෙන්නේ දෙන්න කියලා. MOD එකෙන් කිව්වොත් නැවත අරගන්න කියලා, අපි අරගන්නවා."
"කවුරු හරි එවකට ආරක්ෂක අමාත්‍යංශයෙන් ඉල්ලුවාට පස්සේ, ගොඩක් කල්නේ මේක දීලා, අතීතයේ දීපු එකක් නේ. ආරක්ෂක අමාත්‍යංශයේ උපදෙස් මත එයාගේ ජීවිත තර්ජන කියලා මනුස්සයෙක් ඉල්ලුවොත් එහෙම, ආරක්ෂක අමාත්‍යංශයෙන් එයාගේ සිකියුරිටි රිවීව් එකක් කරනවා. සිකියුරිටි රිවීව් එකක් කරලා තමයි ඒ වෙපන් දෙන්න කියන්නේ. ඒ දුන්නයි පස්සේ අපි ඒ කට්ටියට ලබලා දෙනවා. ඊට පස්සේ කවදාහරි ආරක්ෂක අමාත්‍යංශයෙන් කිව්වොත් එහෙම තර්ජනයක් නැහැ ඒක ගන්න කියලා, අරගන්නවා." යැයි යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.
'වෙපන් එක එයාට භාර දුන්නායින් පස්සේ ඒ වගකීම එයා සතුයි'
ගිනිඅවි භාර දුන් පසුව එහි වගකීම එය දරන්නා සතු බවත් යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක, බ්‍රිගේඩියර් වරුණ ගමගේ සඳහන් කළේය.
"ඒ වෙපන් එක එයාට භාර දුන්නායින් පස්සේ ඒ වගකීම එයා සතුයි. නැවත එයා භාර දෙනකම් ඒ වෙපන් එක එයා නීතිවිරෝධීව යොදවන්නේ නැහැ කියලා ඒ වගකීමක් එයා අරගෙන තියෙනවා ඒකට."
ජීවිත ආරක්ෂාව පතා ගිනිඅවි ලබා දුන් පසුව ඒ පිළිබඳව පසුවිපරමක් කරන ක්‍රමවේදයක් තිබේ දැයි යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා ගෙන් බීබීසී සිංහල විමසීමක් කළේය.
"දැන් ඒවා මොනිටර් කරනවා. අපි දන්නේ නෑ ඒ කාලේ මොනවා වුණා ද කියලා" යනුවෙන් ඔහු පිළිතුරු ලබා දුනි.
මේ වන විට යුද හමුදාව විසින් පුද්ගල ආරක්ෂාව සඳහා ගිනිඅවි නිකුත් නොකර බවත් යුද සමයේ එලෙස ලබා දී තිබූ ගිනිඅවි නැවත ලබා ගෙන ඇති බවත් යුද හමුදා මාධ්‍ය ප්‍රකාශවරයා පැවසීය.
හිටපු අමාත්‍යවරයාගේ ගිනිඅවි එලෙස නැවත ලබා ගැනීමක් නොකළේ ඔහු ප්‍රභූවරයෙකු සේ සලකා සහ ඔහු ඒ පිළිබඳව වගකීම ගත් නිසා යැයි ද යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් වරුණ ගමගේ කියා සිටියේය.
"මේක ගන්න තිබුණේ නෑනේ VIP කෙනෙක් නේ මෙයා. එයා වගකීම අරගෙන තමයි වෙපන් ටික අරගෙන තියෙන්නේ. මෙයාට ලයිෆ් ත්රෙට් එකක් තිබුණා නේ. තුන් පාරක් ද කොහෙද එල්ටීටීඊ එකෙන් ගැහුවානේ මෙයාට."
ආරක්ෂක අමාත්‍යංශයේ ප්‍රතිචාරය කුමක්ද?
හිටපු අමාත්‍යවරයා හට ගිනිඅවි ලබා දීම සම්බන්ධව ආරක්ෂක අමාත්‍යංශයෙන් ද බීබීසී සිංහල විමසීමක් කළේය. එම අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක, බ්‍රිගේඩියර් ෆ්‍රෑන්ක්ලින් ජෝසප් පැවසූවේ ආරක්ෂක අමාත්‍යංශය ලබා දෙන ගිනිඅවි සම්බන්ධයෙන් සොයා බැලීමක් සහ පසුවිපරමක් කරන බවයි.
"අපේ අමාත්‍යංශයෙන් නිකුත් කරන ඒවා නම් අවුරුදෙන් අවුරුද්ද සොයා බැලීම සිදුකරනවා. මේක මම හිතන්නේ යුද හමුදාවෙන් දීපු තුවක්කු වගයක්."
"අනුමැතිය අපි දෙනවා, කවුරු ඉල්ලුවත්, අනුමැතිය දුන්නයින් පස්සේ ඒ ආයතනයෙන් තමයි බලන්නේ වෙන්නේ මම හිතන්නේ. මොකද අපෙන් අනුමැතියනේ ඉල්ලන්නේ. අපි ඒක ආරක්ෂක අමාත්‍යතුමාට දාලා අනුමැතියක් දෙනවා. ජීවිත තර්ජන තියෙන අයට ඒ කාලේ දීලා තියෙනවා. ඉතින් ඒ තුවක්කු අයිති ආයතනයෙන් තමයි මම හිතන්නේ වෙරිෆිකේෂන් එක වෙන්න ඕනා." යැයි ආරක්ෂක අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
'ඒ කොන්දේසිය මත තමයි ඒගොල්ලන්ට දීලා තියෙන්නේ'
යුද හමුදාව විසින් ගිනිඅවි නිකුත් කරනු ලබන්නේ අදාළ පුද්ගලයා ඒ පිළිබඳව වගකීම ගැනීමෙන් පසුව බව ආරක්ෂක අමාත්‍යංශ මාධ්‍ය ප්‍රකාශක, බ්‍රිගේඩියර් ෆ්‍රෑන්ක්ලින් ජෝසප් පැවසීය.
"මෙහෙන් අනුමැතිය ඉල්ලපුවා ම දෙනවා ඒගොල්ලන්ගේ ජීවිත අවදානම පදනම් කරගෙන. ඊට පස්සේ ඒගොල්ලෝ ඒක ගන්නේ වෙන කිසිම දේකට මිස් යූස් කරන්නේ නැහැ, ඒකේ සම්පුර්ණ වගකීම අදාළ පුද්ගලයා ගන්න බවටත්. ඒ කොන්දේසිය මත තමයි ඒගොල්ලන්ට දීලා තියෙන්නේ."
එලෙස නිකුත් කරන ලද ගිනිඅවි සම්බන්ධව යුද්ධ හමුදා මූලස්ථානය විසින් යම් ක්‍රමවේදයකට අනුව ඒවා සම්බන්ධව නිරීක්ෂණය කිරීමක් කරන බව ද ආරක්ෂක අමාත්‍යංශ මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේය.
නිත්‍යානුකූලව ලබාදුන් ගිනිඅවියක් අවභාවිත කළ බවට චෝදනා
ඩුබායි රාජ්‍යයේදී අත්අඩංගුවට ගත්මාකදුරේ මදූෂ් 2019 වසරේදී මෙරටට රැගෙන විත් තිබිණි.
ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී සොයාගත් පිස්තෝලය පිළිබඳ විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ, අදාළ ගිනිඅවිය යුද හමුදාවට අයත් එකක් බවය.
2019 වසරේදී එම ගිනිඅවිය වැලිවේරිය ප්‍රදේශයේ බෝක්කුවක් අසළ කැලෑබද ප්‍රදේශයක සඟවා තිබියදී සොයාගෙන තිබිණි.
යුද හමුදාවේ දත්ත සමඟ සොයා බැලීමේදී එය ඩග්ලස් දේවානන්දාගේ ආරක්ෂාව සඳහා නිත්‍යානුකූලව නිකුත් කර තිබූ එකක් බව අනාවරණය වී ඇතැයි වැඩ බලන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
ඒ අනුව අදාළ පිස්තෝලය අවභාවිත කිරීමේ චෝදනා සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.