'මාකඳුරේ මදූෂ්' ගේ ඝාතනයෙන් කුඩු ජාවාරමේ රහස් යට යයිද?

    • Author, රංග සිරිලාල්
    • Role, බීබීසී සිංහල

"මාකඳුරේ මදූෂ්" නමින් වඩාත් ප්‍රසිද්ධියට පත් වූ සමරසිංහ ආරච්චිගේ මදූෂ් ලක්ෂිත මෑත කාලයේ ශ්‍රී ලංකාවේ "ලොකුම පාතාල නායකයා" ලෙස පොලිසිය විසින් ම ජනතාව තුළ මතයක් ගොඩනගා තිබිණි. මාතර දිස්ත්‍රික්කයේ උපත ලැබූ ඔහු, පාසලේදී හොඳින් අධ්‍යාපනය ලැබූ තරුණයෙකු බවත් මාධ්‍ය වාර්තාවල සඳහන් විය.

තමා අපරාධකාරයෙකු බවට පත් කෙරුණේ සිය සහෝදරයා හා මව ඝාතනය කිරීමත් සමඟ බවත් "සුදු ඇඳගෙන හිටියට ඔය කිසි කෙනෙක් සුදු නෑ..!" යනුවෙනුත් කලෙකට ඉහත දී, මාකඳුරේ මදූෂ් කිසියම් අයෙකු සමග සිදු කළ සංවාදයක් බව පැවසෙන, අන්තර් ජාලයේ සංසරණය වන හඬ පටියකින් කියවෙයි.

දකුණු පළාතේ දේශපාලන නායකයෙකු වූ ඩැනී හිත්තැටියගේ ඝාතනය සැලසුම් කළේ ඔහු බවත් රත්ගම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී මනෝජ් මෙන්ඩිස් ගේ ඝාතනයට ඔහුගේ තවත් පාතාල කල්ලි නායකයකු වන "පොඩි ලැසී" සම්බන්ධ බවත් ඔවුන් විශාල කුඩු ජාවාරම් ජාලයක කේන්ද්‍රයක් බවත් ඉහළ පෙළේ පොලිස් නිලධාරීන් ඇතුළු බොහෝ දෙනා ප්‍රසිද්ධියේ පවසා තිබිණ. මදූෂ් ලක්ෂිත ඩුබායි රාජ්‍යයේ සිට මෙරට පාතාල ක්‍රියාකාරකම්වල නිරතව සිටි බවත් කිහිප වතාවක් ව්‍යාජ ගමන් බලපත්‍ර යොදාගෙන ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවත් ඇතැම් වාර්තාවල දැක්විණ.

2019 පෙබරවාරි 05 වන දින ඩුබායි හි පැවති සාදයක් අතරතුරදී මාකඳුරේ මදූෂ් ඇතුළු ශ්‍රී ලාංකිකයින් 31 දෙනෙකු අත්අඩංගුවට ගත් ඩුබායි පොලිසිය, මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීම සහ භාවිත කිරීම යන චෝදනා යටතේ ඔවුහු බන්ධනාගාර ගත කළහ.

තවදුරටත් වාර්තාවන්නේ ඩුබායි හි පොලිස් අත්අඩංගුවට පත්වූ අවස්ථාවේදී තමන් පිටුවහල් නොකරන ලෙසට මාකඳුරේ මදූෂ් විසින් එරට අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබුණේ ඔහු ශ්‍රී ලංකාවේ දී පොලිස් අත්අඩංගුවට පත් වුවහොත් ජීවිතයට තර්ජන එල්ලවිය හැකි බව පවසමින් බවය.

ඩුබායි අධිකරණයෙන් ඉල්ලීමක්

මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ ඒ අවස්ථාවේ ඩුබායි බලා ගිය එවකට විදේශ අමාත්‍ය තිලක් මාරපන හා නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එරට බලධාරීන්ගෙන් පෞද්ගලිකව ඉල්ලීම් කර මදූෂ් මෙරටට පිටුවහල් කරගත් බවකි.

මදූෂ් හා කංජිපානි ඉම්රාන් ඇතුලු අත්අඩංගුවට පත් පිරිස ශ්‍රී ලංකාවට පිටුවහල් කළ අවස්ථාවේදී 2019 මැයි 5 වෙනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මාකඳුරේ මදූෂ් අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීම් ආරම්භ කළහ. ඒ ප්‍රශ්න කිරිම හරහා වැදගත් තොරතුරු බොහොමයක් අනාවරණය කර ගැනීමට හැකි වූ බවට මාධ්‍ය වාර්තා පළවුවත් ඒ පිළිබඳ වැඩි විස්තරයක් මෙතෙක් හෙළිවී නැත.

අවුරුද්දකට වැඩි කාලයක් රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටි මාකඳුරේ මදූෂ් පසුගියදා කොළඹ අපරාධ කොට්ඨාශයේ නිළධාරීන් භාරයට පත්කෙරුණේ වැඩිදුර පරීක්ෂණ සඳහාය.

පොලිසිය පවසන්නේ, ඔක්තෝබර 20 වනදා උදෑසන සඟවා තිබෙන කුඩු කිලෝ 22ක් පෙන්වීමට මාළිගාවත්ත නිවාස සංකීර්ණයකට රැගෙන ගිය අවස්ථාවේදී ඇතිවූ වෙඩි හුමාරුවකදී ඔහු මරුමුවට පත් වූ බවය.

'ප්‍රබන්ධයක්'

මදූෂ් ගේ බිරිඳ වෙනුවෙන් පෙනී සිටින නීතිඥ චමින්ද අතුකෝරාල මාධ්‍ය වෙත කියා සිටියේ, මෙම මරණය සිදුවූ ආකාරය ප්‍රබන්ධයක් බවත් මේ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් කළ යුතු බවය.

ඔක්තෝබර් 20 වනදා පාන්දර කොළඹ මාලිගාවත්ත ප්‍රදේශයේදී ඔහු ඝාතනය වීම පිළිබඳව මේ වන විට විශාල කතාබහකට ලක්වී ඇත්තේ ඔහු පාතාල නායකයකු වීම නිසා පමණක්ම නොව ඔහු විසින් පසුගියදා විශාල හෙළිදරව් කිහිපයක්ම සිදුකර ඇති බවට මාධ්‍ය වාර්තා කර තිබීමත් සමගයි.

"ආයුධ පෙන්නන්න යනකොට සැකකරුවෝ ගැටුම් ඇතිවී මියයන එක, කුඩු පෙන්නන්න යනකොට පාන්දර තුනට විතර ගැටුම් ඇති වී සැකකරුවෝ මිය යනවා. ඒක අපේ රටේ සාමාන්‍ය දෙයක් නේ," ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසීය.

"කෙසේ වූවත් මදූෂ් දැන් අවුරුදු එකහමාරකට ආසන්න කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව රඳවාගෙන හිටිය. ඒ පරීක්ෂණ කටයුතු නිමා නොවුන බැවින්. හැබැයි අපි කවුරුත් දන්නවා අවුරුදු එකහමාරක් කියන්නේ දීර්ඝ කාලයක්. එහෙනම් ඔහුගෙන් එළිදරවු වූ තොරතුරු විශාල ප්‍රමාණයක් තියෙන්න පුළුවන්. අපි විශ්වාස කරන්නේ නැහැ, ඔහුගෙන් එළිදරවු වූ එකම තොරතුර රාත්‍රියේ අල්ලන්න ගිය කුඩු කිලෝ 22 කියල. ගොඩක් තොරතුරු හෙළිදරව් වී ඇති."

"මාධ්‍ය විටින් විට වාර්තාකරල තිබුණ සමහර දේශපාලකයින් පිළිබඳව මදූෂ් වමාරපු බව. සමහර ව්‍යාපාරකයින් ගැන මදූෂ් වමාරපු බව. ඒ වගේම සමහර දේශපාලකයන්ට මුදල් පොම්ප කරපු ආකාරය පිළිබඳ සමාජයේ ආන්දෝලනයට තුඩු දී තිබුණ," අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා තවදුරටත් පැවසීය.

ඔහු තවදුරටත් පැවසුවේ මදූෂ් හරහා මේ පාතාල ජාලයත්, කුඩු ජාලයත්, එම කුඩු ජාලයට සම්බන්ධ දේශපාලකයිනුත්, කුඩු ජාලයට සම්බන්ධ ව්‍යාපාරිකයිනුත් එළිදරව් කර අත්අඩංගුවට ගැනීමට හැකි වේ යැයි බලාපොරොත්තුවක් සමාජයේ තිබුණ නමුත් ඔහුගේ මරණයත් සමගම ඒ සියල්ලම යට ගැසීමට හැකි බවත් ය.

"හැබැයි ඒ සියලු තොරතුරු සහිතව කුඩු කිලෝ 22ක් අල්ලන්න ගිහිල්ල මදූෂ් ඝාතනය වී තිබෙනවා. ඒ නිසා මදූෂ් ගේ ඝාතනයත් සමග අපේ රටේ අපරාධ පිළිබඳ, පාතාලය පිළිබඳ, කුඩු ව්‍යාපාරය පිළිබද, එහි දේශපාලකයන් පිළිබද එහි ව්‍යාපාරිකයන් පිළිබද විශාල රහස් ප්‍රමාණයක් ඝාතනය වී ඇති බව තමයි පෙන්නුම් කරන්නේ," අනුර කුමාර දිසානායක පැවසීය.

හිටපු අමාත්‍ය මංගල සමරවීර තම ටුවිටර් ගිණුමේ සටහනක් තබමින් පවසන්නේ තවත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ව අමු අමුවේ ඝාතනය කිරීමත් සමග ඔහුගේ ගෙවුම්කරුවන්ගේ අනන්‍යතාවය මිනීවළට රැගෙන යාම ඔප්පුකරන්නේ මත්ද්‍රව්‍ය මාෆියාව අද කෙතරම් බලවත් වී ඇත්ද යන්නයි. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් නීතියට ඉහළින් පමණක් නොව නීතියට අණ කරන බවයි.

"මේ මාස කිහිපය ඇතුළත අපරාධ ලෝකයේ කිරුළු පැළඳි රජුන් ලෙස සිටි "එස් එෆ් ලොක්කා" සහ "අංගොඩ ලොක්කා" ඝාතනය වෙලා තවම මාස දෙකක් ගත නොවූ පසුබිමක අවි ගත්තෝ අවියෙන්ම නැසෙති යන කියමන වඩාත් අර්ථ ගන්වමින් නීතියේ දෙවඟන ඉදිරියේ අපරාධ ලෝකයේ කිරුළු පලන් රජුන්ගේ සමුගැනීම අදත් හෙටත් මත්තටත් ඒ විදිහටම සිදුවේවි," යැයි නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් සටහන් කර තිබුණි.

මෙයින් පෙන්නුම් කරනුයේ නැවතත් පසුගිය කාලයේදී මෙන් අත්අඩංගුවට පත් වූ පාතාල නායකයින් හෝ මත්ද්‍රව්‍ය ජාවාරම් කාරයින් ලෙස හැඳින්වූවන් සඟවා තිබූ අවි ආයුධ හෝ මත්ද්‍රව්‍ය පෙන්වීමට යාමේදී ඇතිවන වෙඩි හුවමාරු වලින් මරුමුවට පත්වීම සුලහ සිදුවීමක් බවට පත්වෙමින් පවතින බවයි.

"මදූෂ් ව මරාදැමීම නෙමෙයි ජනතාවට තියෙන ප්‍රශ්නය. ඒ මරපු විදිහ පිළිබඳ වයි ප්‍රශ්නයක් තියෙන්නේ. අලුත් දෙයක් නෙමෙයි මේ විදිහට අපේ රටේ ඝාතන මේ ආකාරයට සිදුවුනේ මේ අලුත් ක්‍රමයක් නෙමෙයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයෙක් ම කිවුව අත්අඩංගුවට පත් මදූෂ් දේශපාලකයෝ 80 ක ගේ නම් හෙළිදරව් වෙලා තියෙනවා කියල, දියවන්නාවේ කුඩු ව්‍යාපාරිකයෝ ඉන්නවා කියන එක මදූෂ් ගේ කටින් හෙළිදරව් වුණා කියල," ජනතා විමුක්ති පෙරමුණේ විජිත හේරත් මන්ත්‍රීවරයා අඟහරුවාදා පාර්ලිමේන්තුවේදී පැවසීය.

"අද මදූෂ් ඝාතනයෙන් පස්සේ මොකද කළේ. ඒ සියලුම කුඩු ව්‍යාපාරිකයන්ගේ සහ දේශපාලනඥයන්ගේ නම් හැංගීමක් කරනවා. ඒ මරාදැම්මේ ඒකයි. උසාවියට මේ නඩුව ගියා නම් උසාවිය ඒ පරීක්ෂණ පැවැත්තුව නම් මදූෂ් ගේ කටින්ම ඒ පාපොච්චාරණය වෙනවා ඒ සම්බන්ධ තාවය තියෙන දේශපාලනඥයන් කවුද කියන එක. මේ හරහා කළේ ඒ සියලු දෙනාගේ නම් ගම හෙළිවන එක නතර කරපු එක," විජිත හේරත් පැවසීය.

කියවන්න: