චාමර සම්පත්ට එරෙහි නඩු දෙකකදී අද සිදුවූයේ කුමක් ද?

    • Author, බීබීසී සිංහල

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය චාමර සම්පත් දසනායකට එරෙහිව කොළඹ මහාධිකරණයේ අධිචෝදනා ගොනුකර තිබෙන බව අල්ලස් කොමිසම අද (ජන: 23) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේ ය.

මෙම නඩුව කැඳවනු ලැබුවේ, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම ඉදිරියේ ය.

එහිදී අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දුන්නේ, මෙම සැකකරුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ඉදිරිපත් කර තිබෙන බව ය.

ඒ අනුව, මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවතින නඩු කටයුත්ත අවසන් කළ මහේස්ත්‍රාත්වරයා මහාධිකරණයෙන් නොතීසියක් ලද විට අධිකරණයේ පෙනී සිටින ලෙස සැකකාර චාමර සම්පත් දසනායකට නියම කළේ ය.

රජයට රු. ලක්ෂ 173කට අධික මුදලක අලාභයක් කළ බවට චෝදනා

2016 වසරේ ඌව පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ පැවති ඌව පළාත් සභාවට අයත් ස්ථාවර තැන්පතු ගිණුම් 6ක් කල් පිරීමට පෙර ඉවත් කර ගැනීම තුළින් රජයට රුපියල් ලක්ෂ 173කට අධික පාඩුවක් සිදුකළ බවට චෝදනා කරමින් චාමර සම්පත් දසනායකට එරෙහිව අල්ලස් කොමිසම අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි.

තවත් දූෂණ චෝදනාවක්

මේ අතර, සැකකාර චාමර සම්පත් දසනායකට එරෙහිව ඉදිරිපත් කර තිබූ තවත් දූෂණ චෝදනාවකට අදාළ පැමිණිල්ලක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද කැඳවූ අවස්ථාවේදී අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දුන්නේ, ඊට අදාළ විමර්ශන අවසන් කර වාර්තා අල්ලස් කොමිසමේ කොමසාරිස්වරුන් වෙත ඉදිරිපත් කර ඇති බව ය.

ඒ අනුව, අදාළ පැමිණිල්ල යළි ජූනි මස 19 වන දා කැඳවීමට නියම කළ මහේස්ත්‍රාත්වරයා එදින එම කටයුතුවල ප්‍රගතිය දැනුම් දෙන ලෙසත් අල්ලස් කොමිසමට නියෝග කළේ ය.