ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්න: 'තම දරුවාගේ පියා බවට ප්‍රකාශයක්' ඉල්ලා ගුවන් නියමුවරියක වන සෙව්වන්දි සේනාධීරගෙන් කොළඹ දිසා අධිකරණයට පෙත්සමක්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, බීබීසී සිංහල
- කියවීමේ කාලය: මිනිත්තු 3
සිය දරුවා ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්නට දාව ඉපදුණු බවට සහ දරුවාගේ පියා චාමික කරුණාරත්න බවටත් ප්‍රකාශයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගුවන් නියමුවරියක කොළඹ දිසා අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්න, ඔහුට දාව උපන් බව කියන දරුවා සහ රෙජිස්ට්‍රාර් ජෙනරාල් ඇතුළු පිරිසක් නම් කර ඇත.
පෙත්සම්කාර සෙව්වන්දි සේනාධීර කියා සිටින්නේ, ආර්යන් කරුණාරත්න නමැති තම බාල වයස්කාර දරුවා ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්නට දාව 2025 වසරේ සැප්තැම්බර් මස 29 වනදා ඉපදුණු බවයි.
2023 වසරේ හෝ ඊට ආසන්න කාලයක ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්න තමා සමග සමීප සම්බන්ධතා පැවැත්වූ අතර ලිංගික සම්බන්ධතා සඳහා පොලඹවා ගත් බවත් ඇය පෙත්සමේ සඳහන් කර සිටියි.
පසුව තමා ගැබ් ගැනීමෙන් පසුව ඔහු තමන් මග හැරීමට උත්සාහ කළ අතර දරුවාගේ පීතෘභාවය භාර ගැනීම ප්‍රතික්ෂේප කළ බවටත් ඇය චෝදනා කර සිටියි.
ඒ අනුව අදාළ දරුවා ගේ පියා චාමික කරුණාරත්න බවට ප්‍රකාශයක් නිකුත් කරන ලෙස ඇය කොළඹ දිසා අධිකරණයෙන් ඉල්ලා තිබේ.
අදාළ දරුවාගේ පියා චාමික කරුණාරත්න බවට සඳහන් කරමින් උප්පැන්න සහතිකයක් නිකුත් කරන ලෙස රෙජිස්ට්‍රාර් ජෙනරාල් වරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙසත් ඇය ඉල්ලා ඇත.
අදාළ දරුවා සහ චාමික කරුණාරත්න DNA පරීක්ෂණයකට භාජනය කිරීමට අවශ්‍ය නියෝගයක් නිකුත් කරන ලෙසටත් ඇය වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා සිටියා ය.
මෙම පෙත්සම අද (මාර්තු 10 වැනිදා) සලකා බැලූ කොළඹ දිසා අධිකරණය මෙම නඩුව මාර්තු මස 31 වැනිදා යළි කැඳවන ලෙස නියෝග කළ අතර වග උත්තරකරුවන්ට නොතීසි යවන ලෙසත් නියෝග කර තිබේ.
DNA පරීක්ෂණයක් ඉල්ලමින් මීට පෙර කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට කළ පෞද්ගලික පැමිණිල්ල
එහිදී දරුවාගේ පිතෘභාවය සම්බන්ධයෙන් නියෝගයක් ලබා දෙන ලෙසත්, ඒ බව තහවුරු කිරීමට අවශ්‍ය DNA පරීක්ෂණයක් පැවැත්වීම සඳහා නියෝගයක් නිකුත් කරන ලෙසත් පැමිණිලිකාරිය අධිකරණයෙන් ඉල්ලා තිබිණි.
මෙම පෞද්ගලික පැමිණිල්ල ඉකුත් වසරේ (දෙසැ: 08) කොළඹ මහේස්ත්‍රාත් කසුන් දිසානායක ඉදිරියේ කැඳවනු ලැබිණි.
එහිදී පැමිණිලිකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ ජෙරුෂා තම්බයියා අධිකරණය හමුවේ කරුණු දක්වමින් වග උත්තරකරු තම සේවාදායිකාව සමග පැවැත්වූ ලිංගික සම්බන්ධතාවකින් අනතුරුව දරුවෙකු උපන් බව සඳහන් කළා ය.
එම දරුවාගේ පීතෘභාවය භාර ගැනීම වග උත්තරකරු ප්‍රතික්ෂේප කර තිබෙන බවත්, ඒ අනුව දරුවාගේ පීතෘභාවය තහවුරු කර ගැනීම සඳහා DNA පරීක්ෂණයක් පැවැත්වීමට අවශ්‍ය නියෝගයක් නිකුත් කරන ලෙසත් නීතිඥවරිය අධිකරණයෙන් ඉල්ලා සිටියා ය.
අභියාචනාධිකරණය මීට පෙර දී තිබෙන නඩු තීන්දුවක පූර්වාදර්ශයට අනුව එවැනි DNA පරීක්ෂණයක් පැවැත්වීම සඳහා අවශ්‍ය නියෝග නිකුත් කිරීමට මහේස්ත්‍රාත්වරයාට බලය තිබෙන බවත් නීතිඥවරිය සඳහන් කර සිටියා ය.
DNA පරීක්ෂණ නියෝගයකට විරෝධය පළ කිරීම
එම ඉල්ලීමට වගඋත්තරකාර චාමික කරුණාරත්න වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අසේල රැකව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ මීට පෙර තරයේ විරෝධය පළ කර තිබිණි.
නීතිඥවරයා සඳහන් කර තිබුණේ, සිය සේවාදායකයා අදාළ දරුවාගේ පීතෘභාවය ප්‍රතික්ෂේප කරන බව ය.
අදාළ දරුවා ලැබුණු බව කියන කාල වකවානුවේ මෙම පැමිණිලිකාරිය ඉන්දීය ජාතික තරුණයෙකු සමග සම්බන්ධතාවක් පවත්වා ඇති බව කී චාමික කරුණාරත්නගේ නීතිඥවරයා, එහිදී ඒ සම්බන්ධ ඡායාරූපයක් අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.
සිය සේවාදායකයා පැමිණිලිකාරියගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන අතර, DNA පරීක්ෂණයක් පවත්වන ලෙස නියෝග නිකුත් කිරීමට මහේස්ත්‍රාත් අධිකරණයට බලයක් නොමැති බව නීතිඥවරයා අධිකරණය හමුවේ පවසා තිබිණි.
ඒ අනුව එදින පැවති නඩු විභාගයේදී ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්න ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේ ය.
ගුවන් නියමුවරියක වන සෙව්වන්දි සේනාධීර කොළඹ දිසා අධිකරණයට මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ ඉන් අනතුරුවයි.


































