අලුතින් මෙරටට ගෙන්වූ පතුල පහත් (low - floor) බස් රථවලට ඔබට ගොඩවිය හැකි මාර්ග මෙන්න

ඡායාරූප මූලාශ්‍රය, Department of Government Information
- Author, සම්පත් දිසානායක
- Role, බීබීසී සිංහල
- කියවීමේ කාලය: මිනිත්තු 5
'Clean Sri Lanka' වැඩසටහන යටතේ මෙරටට ගෙන්වන ලද පතුල පහත් (low - floor) බස් ලබන අප්‍රේල් මස මගී ප්‍රවාහනය සඳහා යෙදවීමට රජය සැලසුම් කර ඇත.
ජනාධිති අතිරේක ලේකම් (ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන) සුගීෂ්වර සීනිපැල්ලගේ බීබීසී සිංහල වෙත පැවසුවේ, "සිංහල අලුත් අවුරුද්දට කලින් අපි මේක පටන් ගන්නවා."
වායු සමනය කරන ලද මෙම බස් රථවල ඕනෑම මගියෙකුට සුව පහසුව ගමන් කළ හැකි අතර, ආබාධ සහිත පුද්ගලයින් හා විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින්ට ප්‍රමුඛතාව හිමිවනු ඇත.
එවැනි පුද්ගලයින්ට පහසුවෙන් බස් රථයට අතුළුවීමට හා බැසීමට පහසුව සඳහා පතුල පහත් (low - floor) මෙම බස් රථ ගෙන්වා තිබේ.
'Clean Sri Lanka' වැඩසටහන මගින් අරමුදල් යොදවා මෙම බස් රථ ගෙන්වීමට රජය වැය කර ඇති මුදල රුපියල් මිලියන 500කට ආසන්නයි.
"මේක ක්ලීන් ශ්‍රී ලංකා වැඩක්, කන්සෙප්ට් ඒකේ ඉදලාම ක්ලීන් ශ්‍රී ලංකා ප්‍රෝගෑම් ඒක යටතේ තමා ඒක කළේ, ෆන්ඩින් කළේ, ක්ලීන් ශ්‍රී ලංකා" ජනාධිති අතිරේක ලේකම්වරයා සඳහන් කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා සහ ආබාධ සහිත පුද්ගලයින් නියෝජනය කරන සංගම්, ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනෙන් කරන ලද ඉල්ලීමකට අනුව පතුල පහත් මෙම බස් රථ යෙදවීමේ මෙම වැඩ සටහන සැලසුම් කර තිබේ.
'ආබාධ සහිත පුද්ගලයින් විතරක් දාගෙන යන බස් නෙමෙයි.'
"රෝද පුටුවක පාරේ මනුස්සයෙක් හිටියොත් එයාට ආරක්ෂිතව නැගලා එයාට ආරක්ෂිතව රෝද පුටුව ලොක්කරගෙන ඉන්න පුළුවන් බස් එකක් මේක. නමුත් මේක මේ ආබාධ සහිත පුද්ගලයින් විතරක් දාගෙන යන බස් නෙමෙයි. ඕන කෙනෙකුට යන්න පුළුවන්. මේකේ සාමාන්‍ය මගීන් යනවා." ඔහු පැහැදිලි කළේය.
"එහෙත් රෝද පුටුවක නොවන ආබාධ සහිත පුද්ගලයෙක් බස් රථයට ගොඩවූ විට එවැනි මගියෙක්ට ආසන ප්‍රමුඛතාව ලබා දීමට අසුනක වාඩි වී සිටින සෙසු සෑම මගියෙකුම බැඳිලා ඉන්නවා. අන්න ඒ එතික්ස් ටික අපි හදනවා."
නිල ඇදුමට අමතරව මෙම බස් රථ සඳහා යොදවන බස් රථ කාර්ය මණ්ඩලයට සිව් දින පුහුණුවක් ලබා දීමටද පියවර ගෙන ඇත.
බස් රථයේ රියදුරාගේ නම කොන්දොස්තරවරයාගේ නම් බස් රථය තුළ පැහැදිලිව ප්‍රදර්ශනය කෙරෙනු ඇත.
"ආබාධ සහිත පුද්ගලයින් වඩාත් ප්‍රමුඛයි කියන එක අපි ඔවුන්ට ඒත්තු ගන්වනවා."
මෑතකදී පිහිටුවන ලද ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් පරිපාලිත සමාගමක් වන මෙට්ට්‍රෝ බස් සමාගම මගින් මෙම බස් රථ ධාවනයට එක්කරනු ඇත.
මෙය මෙරට බස් කර්මාන්තයට පුර්වාදර්ශයක් සපයනු ඇති බවට විශ්වාස කරන බවත්, පෞද්ගලික අංශයේ බස් කර්මාන්තකරුවන්ටද මෙවැන බස්රථ ඉදිරියේදී ධාවනයට එක්ක කළ හැකි බවත් ජනාධිති අතිරේක ලේකම් සුගීෂ්වර සීනිපැල්ලගේ සඳහන් කළේය.
"බස් දහයකින් කවර් කරන්න බැහැනේ ලංකාව, හැබැයි මේ බස් ටික දැක්කාම ඉස්සරහට පෞද්ගලික අංශයත් බස් ගෙන්නන කොට මේක ගැන ආදර්ශයට ගනී." ඔහු පෙන්වා දුන්නේය.
බස් හෝල්ට් නවීකරණයට පියවර
මෙම බස් රථ යෙදවීමට සමගාමීව මෙම බස් රථ ධාවනය කරන ගමන් මාර්ගවල පිහිටි බස් හෝල්ට් නවීකරණය කිරීමටද ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ කටයුතු යොදා තිබේ.
ජනාධිපති අතිරේක ලේකම්වරයා සඳහන් කළේ, ආබාධ සහිත පුද්ගලයින්ට බස් හෝල්ට්වල රැඳී සිටීමට හැකි පරිදි ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැලසීමටත් පියවර ගන්නා බවයි.
ඒම කටයුතු නගර සභා සහ මාර්ග සංවර්ධන අධිකාරිය මගින් ඉටු කිරීමට නියමිතය.
"අපේ අරමුණ ම නම්, හැමෝම පෙළඹවීමක් ඇති කරන්න, මේ ලෙවල් එකට බස් සේවාව ගේන්න ඕනේ. මීට පස්සේ පෞද්ගලික එක්කෙනෙක් බස් එකක් ගේනවා නම් එයාට සලකා බලන්න වෙනවා මේ ලෙවල් එක ගැන.රූල් එකක් නැහැ, නමුත් එයාව පොළඹවන්න පුළුවන්.
රජය ලබා දුන් පිළිවිතරයන් අනුව ලබා දුන් ටෙන්ඩරයකට අනුව මෙම බස් රථ ගෙන්වා ඇත්තේ චීනයෙනි.

ඡායාරූප මූලාශ්‍රය, Facebook
බස් රථ ධාවනය වන ගමන් මාර්ග මොනවාද?
පළමු අදියර යටතේ ගෙන්වන ලද බස් රථ සංඛ්‍යාවක 10කි. මූලික ව්‍යාපෘතියක් ලෙස ආරම්භවන මෙම බස් රථ සේවාව පළමුව බස් මාර්ග දෙකක් ඔස්සේ ධාවනය කෙරෙනු ඇත.
මෙම සියලු බස් රථ අධිවේගී මාර්ග හැර, සාමාන්‍ය මහාමාර්ගවල ධාවනය කරන අතර කොළඹ හා තදාසන්න ප්‍රදේශවල පිහිටි ප්‍රධාන රෝහල් ආවරණය වන පරිදි බස් රථ ගමන් මාර්ගය සැලසුම් කර තිබේ.
ඒ, අනුව කොට්ටාව මාකුඹුර සිට කඩවත දක්වාත්, කොට්ටාව මහරගම අපේක්ෂා රෝහල හරහා කොළඹ කොටුව දක්වාත් මෙම බස් රථ ධාවනය කිරීමට සැලසුම් කර ඇත.
කොට්ටාව මාකුඹුර සිට කොළඹ කොටුව දක්වා ධාවනය කරන බස් රථය මාකුඹුර, කොට්ටාව, පන්නිපිටිය, තලවතුගොඩ, බත්තරමුල්, රාජගිරිය, බොරැල්ල, මරදාන, පුරහල, හරහා කොළඹ කොටුවට ළඟාවනු ඇත.
මහරගම අපේක්ෂා රෝහල හරහා ධාවනය කරන බස් රථය මහරගම, නුගේගොඩ, කිරුළපන දක්වාත්, බේස්ලයින් මාර්ගය ඔස්සේ, නාරාහේන්පිට, පෑලියගොඩ, මහර, කඩවත දක්වාත් ධාවනය කිරීමට සැලසුම් කර තිබේ.
මේ සඳහා එක් බස් මාර්ගයකට බස් රථ 5 බැගින් යෙදවීමට නියමිතය.
බස් ගාස්තුව තවමත් සාකච්ඡා මට්ටමේ
මෙම බස්වල ගමන් ගන්නා මගීන්ගෙන් අයකරන ගාස්තුව තවමත් සාකච්ඡා මට්ටමේ පවතී.
එය සාමාන්‍ය ගාස්තුවට වඩා වැඩි වන නමුත්, ආබාධ සහිත පුද්ගලයින් සඳහා සහනදායී ගාස්තුවක් අය කිරීමේ හැකියාව ගැනත් සලකා බලමින් සිටින බවත් ජනාධිපති අතිරේක ලේකම්වරයා සඳහන් කළේය.
මෙම බස් රථ ධාවනය කරන වේලා සටහන් ඉදිරියෙදී ප්‍රකාශයට පත් කෙරෙනු ඇත.
'Clean Sri Lanka' හි සැබෑ මෙහෙවර
මෙම බස් රථ යෙදවීම, අපේ රටේ ජනතාවගේ ජීවන රටාව වඩාත් උසස් මට්ටමකට ඔසවා තැබීමට ගන්නා උත්සාහයක් බවද ජනාධිපත අතිරේක ලේකම්වරයා සඳහන් කළේය.
"සමාජීය පහුසුකම් කියන එක් එක් ප්‍රධාන කාරණයක්. සමාජය ඉහළ තැනකට ගෙනියන්නනේ ආණ්ඩුවේ වැඩපිළිවෙල"
"පෝහොසත් රටක් ලස්සන ජීවිතයක්නේ රජයේ ප්‍රතිපත්තිය, ක්ලීන් ශ්‍රී ලංකා කියන්නේ ඒ ප්‍රතිපත්තිය යටතේ නර්මාණය වූ එකක්. පුද්ගලයාගේ සමාජ ජීවිතය ඉහළ නංවන එක සහ නොසලකා හැර ඇති කොටස්වලට උදව් කරලා උඩට ගන්න එක තමා අපි කරන්නේ. අපි සමාජය පොළඹවනවා ආබාධ සහිත අය ගැන හිතන්න කියලා." අතිරේක ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.

































