Clean Sri Lanka රථවාහන මෙහෙයුමෙන් බස් සැරසිලි ගැලවෙයි ද?

ජනවාරි 01 වනදායින් ආරම්භ වූ Clean Sri Lanka වැඩසටහනට සමගාමීව විශේෂ රථවාහන මෙහෙයුමක් සිදු කරන ලෙස වැඩබලන පොලිස්පතිවරයාගේ අත්සනින් යුතුව වගකිවයුතු ආයතනවලට ලිපියක් යොමු කර තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ජනවාරි 01 වනදායින් ආරම්භ වූ Clean Sri Lanka වැඩසටහනට සමගාමීව විශේෂ රථවාහන මෙහෙයුමක් සිදු කරන ලෙස වැඩබලන පොලිස්පතිවරයාගේ අත්සනින් යුතුව වගකිවයුතු ආයතනවලට ලිපියක් යොමු කර තිබේ.

එහි දී සළකා බැලිය යුතු කරුණු සම්බන්ධයෙන් උපදෙස් ද ලිපියේ ඇතුළත් කර තිබේ.

මහා මාර්ගයේ ගමන් කරන වාහනවල එම කරුණු සම්බන්ධයෙන් සැලකිලිමත් වන ලෙස වැඩබලන පොලිස්පතිවරයා උපදෙස් විසින් එයින් උපදෙස් ලබා දෙයි.

පරික්ෂා කරන්නේ මොනවා ද?

2025 ජනවාරි 02 දිනැති ලිපියෙන් වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසුරිය විසින් මෙම රථවාහන මෙහෙයුමේදී පරික්ෂා කළ යුතු කරුණු සම්බන්ධයෙන් අවධාරණය කර තිබේ.

මෙම මෙහෙයුම ජනවාරි 02 සිට නැවත දැනුම්දෙන තුරු ක්‍රියාත්මක ය.

මෙම මෙහෙයුමේ දී විවිධ නාද රටා, නිවි නිවි දැල්වෙන සහ විවධ වර්ණවලින් යුතු අමතර පහන් සවි කර ධාවනය වන වාහන, ඝෝෂාකාරී නලා, අධික ශබ්දයෙන් යුතු සයිලන්සර් පිළිබඳව සොයා බැලීමට නියමිත ය.

එමෙන් ම බොහෝ බස් රථවල ඉදිරිපස ජනේලය අසල තබා තිබෙන ඉෂ්ඨ රූප(පිළිම) සමග ධාවනය පිළිබඳව ද අවධානය යොමු කරන ලෙස එහි සඳහන් ය.

මිට පෙර ද අවස්ථා කිහිපයක දී විවිධ කොටස් සවි කර නවීකරණය කරන ලද බස් රථවල කොටස් ඉවත් කිරීමට කටයුතු කර ඇතත් තවමත් බොහෝවිට දුරගමන් සේවා බස් රථ සහ විශේෂ චාරිකා සඳහා යොදාගන්නා බස් රථවල මෙවැනි කොටස් සහ ශබ්ද නාද කිරීම් තවමත් දැකිය හැකි ය.

එවැනි දුරගමන් බස් රථයක ඉදිරිපස ජනේලවලින් වැඩි කොටසක් වැසී යන ආකාරයෙන් විවිධ පිළිම, රූප සහ මල් මාලා වැනි දේ එල්ලා තිබීම ද බොහෝවිට සිදු වේ.

බස් රථ පමණක් නොව ත්‍රීරෝද රථ සහ මෝටර් බයිසිකල්වල ද මෙවැනි ආකාරයේ සවි කිරීම් දැකගත හැකි ය.

වැඩබලන පොලිස්පතිවරයා ලිපියේ සඳහන් කර ඇත්තේ මෙවැනි නීති විරෝධී සවිකිරීම් සමග රථවාහන මාර්ගයේ ධාවනය කිරීම, එම රථය තුළ සිටින තැනැත්තන්ට හෝ මාර්ගය භාවිත කරන්නන්ට අනතුරක්, අපහසුවක්, කරදරයක් හෝ හානියක් සිදු කිරීමට ඉඩ තිබෙන බවයි.

එමෙන් ම බොහෝ බස් රථවල ඉදිරිපස ජනේලය අසල තබා තිබෙන ඉෂ්ඨ රූප(පිළිම) සමග ධාවනය පිළිබඳව ද අවධානය යොමු කරන ලෙස එහි සඳහන් ය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

'නොදැක්කා සේ සිටීම පොලීසියේ කීර්තිනාමයට හානියක්'

මෙවැනි නීති විරෝධී සවි කිරීම් සහිතව විවිධ රථ වාහන මාර්ගයේ ධාවනය කිරීම වර්තමානය වන විට සුලභ දසුනක් බව නියෝජ්‍ය පොලිස්පතිවරයා පෙන්වා දෙයි.

නමුත් මර්ග රථ වාහන රාජකාරිවල යෙදී සිටින නිලධාරීන් ඒවා නොදැක්කා සේ සිට නීතිය ක්‍රියාත්මක නොකිරීමෙන් මහජන අප්‍රසාදය මෙන් ම පොලිසියේ කීර්තිනාමයට ද හානියක් සිදුවන බව ඔහු පවසයි.

එමෙන් ම එලෙස නීති ක්‍රියාත්මක නොකිරීම එවැනි නීති විරෝධී කටයුතු ප්‍රවර්ධනය කිරීමක් ද වන බව ඔහු ලිපියෙන් පෙන්වා දී තිබේ.

සලකා බලන කරුණු

ජනවාරි 02 වැනිදා දිට නැවත දැනුම්දෙන තුරු සම පොලිස් බල ප්‍රදේශයකම දිනකට පැය 03 බැගින් මෙහෙයුම් දෙකක් සිදු කරන ලෙස උපදෙස් ලබා දී තිබේ.

මෙහිදී මගී බස් රථ පරීක්ෂා කිරීමේදී මගීන්ට අපහසුතාවයක් නොවන ලෙස නිලධාරීන් වගබලා ගත යුතු ය.

මෙම මෙහෙයුම ක්‍රියාත්මක කිරීමේ දී 2009 අංක 08 දරන මෝටර් වාහන සංශෝධන පනත, 2013.01.31 දිනැති රජයේ ඇති විශේෂ ගැසට් පත්‍ර අංක 1795/35, 1996.05.16 දිනැති ඇති විශේෂ ගැසට් පත්‍ර අංක 923/12 නීති ප්‍රතිපාදන සලකා බලන ලෙස උපදෙස් දී තිබේ.

මෙහි දී පහත සඳහන් දේ පිළිබඳව පරික්ෂා කෙරෙනු ඇත.

  • ධාවනයට නුසුදුසු තත්වයේ තිබියදී ධාවනය කිරීම
  • වර්ණය වෙනස් කිරීම
  • නිවී නිවී දැල්වෙන සවි කරන ලද වූ විවිධ වර්ණ සහිත අමතර පහන් සවිකර ධාවනය
  • බස් රථවල නලා භාවිතය
  • මෝටර් වාහනවල චිත්‍ර, මෝස්‌තර හා වෙළඳ දැන්වීම් ප්‍රදර්ශනය කිරීම
  • නීතිවිරෝධී සවිකිරීම්, නිර්මාණය වෙනස් කිරීම්

මෙලෙස සිදුකරන මෙහෙයුම්වල වාර්තා අදාළ සතියේ සෙනසුරාදා උදෑසන 10ට පොලිස්පතිවරයා විසින් ලබා දී තිබෙන විද්‍යුත් තැපැල් ලිපිනයට යැවිය යුතු ය.

බස් හිමියන් කියන්නේ මොකක් ද?

මගී බස් රථ ධාවනයේදී පවතින නීති අනුව ප්‍රමිතිය පවත්වාගැනීම සිදු කළ යුතු බවට තමා ද එකඟ වන බව සමස්ත ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න බීබීසී සිංහල සිදු කළ විමසීමකදී කියා සිටියේ ය.

ඔහු පෙන්වා දුන්නේ මගී බස් රථවල අධික ශබ්දය සහ විවිධ අමතර කොටස් සවි කිරීම සිදු නොකළ යුතු බවට යි.

"බස් රථවල මගීන් යනකොට මහා හයියෙන් සිංදු දාලා ටීවී දාලා තියෙන්නේ. ඒවා අවශ්‍ය නෑ. දැන් ඕන කෙනෙක් අතේ ස්මාර්ට් ෆෝන් එකක් තියෙනවා. මගීන් කැමති නම් ඒ අය සිංදු අහගෙන යයි."

ඒ වගේම බස්වල සුදු යකඩ වැටවල් ගහලා. ඒවා අනතුරුදායකයි. ඒ වගේ දේවල් ඉවත් කල යුතුයි කියන මතයේ මමත් ඉන්නවා," ඔහු පැවසුවේ ය.

'Clean Sri Lanka කරනවා නම් හරියට කරන්න'

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

ඉහත කරුණු සම්බන්ධයෙන් පරික්ෂා කිරීමට තමාගේ විරෝධයක් නැතත් රජය මීට වඩා සැළකිලිමත් විය යුතු දේ ඇති ඔහු පෙන්වා දුන්නේ ය.

"අපේ බස් රථවල වැඩකරන අයට යන්න වැසිකිළි පහසුකම් නෑ. ඇඳුම් මාරුකරගන්න තැනක් නෑ. විවේකාගාරයක් නෑ," ගැමුණු විජේරත්න පෙන්වා දෙයි.

"සමහර තැන්වල හරියට බස් ටර්මිනල් එකක්වත් නෑ."

තවද ඔහු පෙන්වා දෙන්නේ බස් රථවල ගෙවීම් ඩිජිටල් කිරීමේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ද රජය අවධානය යොමු කළ යුතු බව යි.

"මීට කලින් අපි අපේ බස් රථවල වැඩ කරන අයට නිල ඇඳුම් ඇන්දුවා. ඊට පස්සේ කාඩ් එකකින් ගෙවන්න පටන් ගත්තා. මම යෝජනා කරලා තියෙනවා වෙන රටවල්වල වගේ කොන්දොස්තර කෙනෙක් නැතිව කාඩ් එක ටච් කරලා යන්න පුළුවන් ක්‍රමයක් හදන්න කියලා. එතකොට ඔය දැන් කියන මත්ද්‍රව්‍ය භාවිත කරලා බස් වල යන ප්‍රශ්න ඇති වෙන්නෙත් නෑනේ."

බස් රථවල ප්‍රමිතිය සම්බන්ධයෙන් සොයා බලන අතරතුරේදී මෙම කරුණු පිළිබඳව ද අවධානය යොමු කිරීම රජය කළ යුතු යැයි ඔහු පවසයි.

"Clean Sri Lanka කරනවා නම් ඒක හරියට කරන්න ඕනේ. CTB වගේ තුන්ගුණයක් පෞද්ගලික බස් රථ තියෙනවා. ඒ නිසා අපි කියන ප්‍රශ්න ගැනත් රජය අවධානය යොමු කරන්න ඕනේ."