ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
අලුතින් මෙරටට ගෙන්වූ පතුල පහත් (low-floor) බස් රථවලට ඔබට ගොඩවිය හැකි මාර්ග මෙන්න
- Author, සම්පත් දිසානායක
- Role, බීබීසී සිංහල
- කියවීමේ කාලය: මිනිත්තු 4
මෙරටට ගෙන්වන ලද පතුල පහත් (low-floor) බස් රථ ලබන අප්‍රේල් මස මගී ප්‍රවාහනය සඳහා යෙදවීමට රජය සැලසුම් කර ඇත.
"සිංහල අලුත් අවුරුද්දට කලින් අපි මේක පටන් ගන්නවා." යනුවෙන් ජනාධිපති අතිරේක ලේකම් (ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන) සුගීෂ්වර සීනිපැල්ලගේ බීබීසී සිංහල වෙත පැවසීය.
වායු සමනය කරන ලද මෙම බස් රථවල ඕනෑම මගියෙකුට සුව පහසුව ගමන් කළ හැකි අතර, ආබාධ සහිත පුද්ගලයින් හා විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින්ට මෙහිදී ප්‍රමුඛතාව හිමිවනු ඇත.
එවැනි පුද්ගලයින්ට පහසුවෙන් බස් රථයට අතුළුවීමට හා බැසීමේ පහසුව සඳහා පතුල පහත් (low-floor) මෙම බස් රථ ගෙන්වා තිබේ.
'Clean Sri Lanka' වැඩසටහන මගින් අරමුදල් යොදවා මෙම බස් රථ ගෙන්වීමට රජය වැය කර ඇති මුදල රුපියල් මිලියන 500කට ආසන්නය.
පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා සහ ආබාධ සහිත පුද්ගලයින් නියෝජනය කරන සංගම්, එම වැඩසටහනෙන් කරන ලද ඉල්ලීමකට අනුව පතුල පහත් මෙම බස් රථ යෙදවීමට සැලසුම් කර තිබේ.
'ආබාධ සහිත පුද්ගලයින් විතරක් දාගෙන යන බස් නෙමෙයි.'
"රෝද පුටුවක පාරේ මනුස්සයෙක් හිටියොත් එයාට ආරක්ෂිතව නැගලා එයාට ආරක්ෂිතව රෝද පුටුව ලොක්කරගෙන ඉන්න පුළුවන් බස් එකක් මේක. නමුත් මේවා ආබාධ සහිත පුද්ගලයින් විතරක් දාගෙන යන බස් නෙමෙයි. ඕන කෙනෙකුට යන්න පුළුවන්. මේකේ සාමාන්‍ය මගීන් යනවා." ඔහු පැහැදිලි කළේය.
"එහෙත් රෝද පුටුවක නොවන ආබාධ සහිත පුද්ගලයෙක් බස් රථයට ගොඩවූ විට එවැනි මගියෙක්ට ආසන ප්‍රමුඛතාව ලබා දීමට අසුනක වාඩි වී සිටින සෙසු සෑම මගියෙකුම බැඳිලා ඉන්නවා. අන්න ඒ එතික්ස් ටික අපි හදනවා."
නිල ඇදුමට අමතරව මෙම බස් රථ සඳහා යොදවන බස් රථ කාර්ය මණ්ඩලයට සිව් දින පුහුණුවක් ලබා දීමට ද පියවර ගෙන ඇත.
බස් රථයේ රියදුරුගේ නම සහ කොන්දොස්තරගේ නම් රථය තුළ පැහැදිලිව ප්‍රදර්ශනය කෙරෙනු ඇත.
"ආබාධ සහිත පුද්ගලයින් වඩාත් ප්‍රමුඛයි කියන එක අපි ඔවුන්ට ඒත්තු ගන්වනවා."
මෑතකදී පිහිටුවන ලද ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් පරිපාලිත සමාගමක් වන මෙට්ට්‍රෝ බස් සමාගම මගින් මෙම බස් රථ ධාවනයට එක්කරනු ඇත.
මෙය මෙරට බස් කර්මාන්තයට පුර්වාදර්ශයක් සපයනු ඇති බවට විශ්වාස කරන බවත්, පෞද්ගලික අංශයේ බස් කර්මාන්තකරුවන්ටද මෙවැනි බස්රථ ඉදිරියේදී ධාවනයට එක්ක කළ හැකි බවත් ජනාධිපති අතිරේක ලේකම් සුගීෂ්වර සීනිපැල්ලගේ සඳහන් කළේය.
"බස් දහයකින් කවර් කරන්න බැහැනේ ලංකාව, හැබැයි මේ බස් ටික දැක්කාම ඉස්සරහට පෞද්ගලික අංශයත් බස් ගෙන්නන කොට මේක ආදර්ශයට ගනී." ඔහු පවසයි.
බස් නැවතුම්පොළ නවීකරණයට පියවර
මෙම බස් රථ යෙදවීමට සමගාමීව මෙම බස් රථ ධාවනය කරන ගමන් මාර්ගවල පිහිටි බස් නැවතුම්පොළ නවීකරණය කිරීමට ද කටයුතු යොදා තිබේ.
ජනාධිපති අතිරේක ලේකම්වරයා සඳහන් කළේ, ආබාධ සහිත පුද්ගලයින්ට බස් නැවතුම්පොළවල රැඳී සිටීමට හැකි පරිදි ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැලසීමට ද පියවර ගන්නා බවයි. එම කටයුතු නගර සභා සහ මාර්ග සංවර්ධන අධිකාරිය මගින් ඉටු කිරීමට නියමිතය.
"අපේ අරමුණ, හැමෝමටම පෙළඹවීමක් ඇති කරන්න. මේ ලෙවල් එකට බස් සේවාව ගේන්න ඕනේ. මීට පස්සේ පෞද්ගලික එක්කෙනෙක් බස් එකක් ගේනවා නම් එයාට සලකා බලන්න වෙනවා මේ ලෙවල් එක ගැන.රූල් එකක් නැහැ, නමුත් එයාව පොළඹවන්න පුළුවන්."
රජයේ පිරිවිතර අනුව ලබා දුන් ටෙන්ඩරයකට මෙම බස් රථ ගෙන්වා ඇත්තේ චීනයෙනි.
බස් රථ ධාවනය වන ගමන් මාර්ග මොනවා ද?
පළමු අදියර යටතේ ගෙන්වා ඇති බස් රථ සංඛ්‍යාව 10කි. මූලික ව්‍යාපෘතියක් ලෙස ආරම්භ වන මෙම බස් රථ සේවාව පළමුව බස් මාර්ග දෙකක් ඔස්සේ ධාවනය කෙරෙනු ඇත.
මෙම සියලු බස් රථ අධිවේගී මාර්ග හැර, සාමාන්‍ය මහාමාර්ගවල ධාවනය කරන අතර කොළඹ හා තදාසන්න ප්‍රදේශවල පිහිටි ප්‍රධාන රෝහල් ආවරණය වන පරිදි බස් රථ ගමන් මාර්ගය සැලසුම් කර තිබේ.
ඒ, අනුව කොට්ටාව මාකුඹුර සිට කඩවත දක්වාත්, කොට්ටාව මහරගම අපේක්ෂා රෝහල හරහා කොළඹ කොටුව දක්වාත් මෙම බස් රථ ධාවනය කිරීමට සැලසුම් කර ඇත.
කොට්ටාව මාකුඹුර සිට කොළඹ කොටුව දක්වා ධාවනය කරන බස් රථය මාකුඹුර, කොට්ටාව, පන්නිපිටිය, තලවතුගොඩ, බත්තරමුල්, රාජගිරිය, බොරැල්ල, මරදාන, පුරහල හරහා කොළඹ කොටුවට ළඟාවනු ඇත.
මහරගම අපේක්ෂා රෝහල හරහා ධාවනය කරන බස් රථය මහරගම, නුගේගොඩ, කිරුළපන දක්වාත්, බේස්ලයින් මාර්ගය ඔස්සේ, නාරාහේන්පිට, පෑලියගොඩ, මහර, කඩවත දක්වාත් ධාවනය කිරීමට සැලසුම් කර තිබේ.
මේ සඳහා එක් බස් මාර්ගයකට බස් රථ 5 බැගින් යෙදවීමට නියමිතය.
බස් ගාස්තුව
මෙම බස්වල ගමන් ගන්නා මගීන්ගෙන් අයකරන ගාස්තුව තවමත් සාකච්ඡා මට්ටමේ පවතී.
එය සාමාන්‍ය ගාස්තුවට වඩා වැඩි වන නමුත්, ආබාධ සහිත පුද්ගලයින් සඳහා සහනදායී ගාස්තුවක් අය කිරීමේ හැකියාව ගැන සලකා බලමින් සිටින බව ජනාධිපති අතිරේක ලේකම්වරයා සඳහන් කළේය.
මෙම බස් රථ ධාවනය කරන වේලා සටහන් ඉදිරියෙදී ප්‍රකාශයට පත් කෙරෙනු ඇත.
"සමාජීය පහසුකම් කියන එක මේකේ එක් ප්‍රධාන කාරණයක්. සමාජය ඉහළ තැනකට ගෙනියන්නනේ ආණ්ඩුවේ වැඩපිළිවෙල... පුද්ගලයාගේ සමාජ ජීවිතය ඉහළ නංවන එක සහ නොසලකා හැර ඇති කොටස්වලට උදව් කරලා උඩට ගන්න එක තමා අපි කරන්නේ. අපි සමාජය පොළඹවනවා ආබාධ සහිත අය ගැන හිතන්න කියලා." අතිරේක ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.