රජය හඳුන්වාදීමට සැරසෙන සැකකරුවන් බන්ධනාගාරගත නොකර නිවාස අඩස්සියේ තැබීමේ ක්‍රමය ක්‍රියාත්මක වන්නේ කෙසේ ද?

    • Author, බීබීසී සිංහල
  • කියවීමේ කාලය: මිනිත්තු 3

බන්ධනාගාර තුළ පවතින අධික තදබදයට විසඳුමක් ලෙස සැකකරුවන් රිමාන්ඩ් බන්ධනාගාරගත නොකර, නිවාස අඩස්සියේ තැබීමේ ක්‍රමවේදයට අවශ්‍ය නීති හඳුන්වා දීමට රජය සූදානම් වෙයි.

මියන්මාරය, ඉන්දුනීසියාව, පිලිපීනය, චීනය සහ සිංගප්පුරුව වැනි කලාපයේ අසල්වැසි රටවල් කිහිපයක මෙන් ම බටහිර රටවල් කිහිපයක ද මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක වේ.

ඒ හරහා බන්ධනාගාර තුළ පවතින තදබදය මෙන් ම රිමාන්ඩ් සිරකරුවන් වෙනුවෙන් වැය කළ යුතු මුදල් ද අවම කර ගැනීමේ හැකියාව පවතින අතර, හඳුන්වා දීමට සූදානම් වන නව ක්‍රමවේදය පිළිබඳව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර පෙබරවාරි 19 වන දා පැවති මාධ්‍ය හමුවකදී පැහැදිලි කළේ ය.

'10,000ක් ඉන්න පුළුවන් හිරගෙදර 39,000ක්'

බන්ධනාගාර තුළ දැනට පවතින අධික තදබදය විසඳීමට රජය ගන්නා පියවර මොනවා දැයි මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නිවාස අඩස්සියේ තැබීමේ ක්‍රමවේදය ගෙන ඒමට අවශ්‍ය කටයුතු කරමින් යන බව කී ඇමතිවරයා බන්ධනාගාර තුළ දැනට පවතින තදබදය ගැන දත්ත ද ඉදිරිපත් කළේ ය.

"අපි බලයට එනකොට විසිහත් දාහක් හිටියා බන්ධනාගාරයේ. අපේ බන්ධනාගාර හදලා තියෙන්නේ වික්ටෝරියානු යුගයේ දහදාස් පන්සීයක් ඇතුළේ තියාගන්න. නමුත් අද වෙනකොට මෙතන 39,000ක් ඉන්නවා."

අත්අඩංගුවට ගන්නා වේගයෙන් බන්ධනාගාර තුළ ඉඩකඩ වැඩි කිරීමේ හැකියාවක් නොමැති බව ද හර්ෂණ නානායක්කාර අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේ ය.

'ගැටලුව වෙලා තියෙන්නේ වැරදිකරු වෙලා ඉන්න 10,000 නෙමෙයි'

"අලුතින් අපි පනතක් ගේන්න ජස්ටිස් යසන්ත කෝදාගොඩ මහත්තයා එක්ක වැඩ කරනවා. රිමාන්ඩ් කරනවා වෙනුවට නිවාස අඩස්සියේ තැබීමේ පනතක්. ඒ කියන්නේ ඉලෙක්ට්‍රොනික් මොනිටරින් හරහා. එහෙම වුණොත් ඒ හරහාත් අවස්ථාව ලැබෙනවා, සෙනග අඩු කර ගන්න. මතක තියා ගන්න අපිට ගැටලුව වෙලා තියෙන්නේ වැරදිකරු වෙලා ඉන්න දහදාහක සෙනග නෙමෙයි, අනිත් කොටස."

දැනට බන්ධනාගාරවල රඳවා සිටින රැඳවියන්ගෙන් 28,000ක් පමණ රිමාන්ඩ් බන්ධනාගාරගත වූවන් බව ද අමාත්‍යවරයා පැවසීය.

තව ද, බන්ධනාගාර තුළ මානව හිමිකම් රැකීම අතින් ඉතා ම දුර්වල මට්ටමක පවතින බව පිළිගන්නා බවත් ඇමති හර්ෂණ නානායක්කාර කියා සිටියේ ය.

'හිරේ වගේ ගෙදරට වෙලා ඉන්න පුළුවන් ක්‍රමයක්'

සැකකරුවන් රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීම වෙනුවෙන්, නව පනතක් මගින් හඳුන්වා දීමට සැලසුම් කර ඇති, නිවාස අඩස්සියේ තැබීමේ ක්‍රමවේදය සම්බන්ධව බීබීසි සිංහල සේවය, අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාරගෙන් වැඩිදුර කරුණු විමසීය.

"දැන් සමාන්‍යයෙන් තියෙන්නේ ඇප කොන්දේසි මත මුදා හරින එක. නැතිනම් රිමාන්ඩ් කරන්න ඕනේ. සමහර වෙලාවට අපිට පුළුවන් නම් ඒගොල්ලන්ව රිමාන්ඩ් කරන්නේ නැතුව ගෙදර ම තියන්න, නිවාස අඩස්සිය වගේ. එතකොට ඒගොල්ලෝ හිරේ ඇතුළේ ඉන්න ඕනේ නැහැ. ඒ වගේ ගෙදර ඇතුළට වෙලා ඉන්න පුළුවන්. එහෙම තමයි නීතිය හදන්නේ."

විද්‍යුත් ක්‍රමයක් හරහා එම පුද්ගලයන් ඇප කොන්දේසි උල්ලංඝනය නොවන ලෙස කටයුතු කරනවා දැයි නිරීක්ෂණය කරන ක්‍රමවේදයක් ද මේ හරහා නිර්මාණය කරන බවත් ඇමතිවරයා සඳහන් කළේ ය.

ඇමති හර්ෂණ නානායක්කාර කියා සිටියේ, දැනට විදේශ රටවල්වල ක්‍රියාත්මක වන නිවාස අඩස්සියේ තැබීමේ ක්‍රමවේදයන් ද අධ්‍යයනය කරමින්, මෙරටට ගැලපෙන සුදුසු ක්‍රමවේදයක් සකස් කිරීම සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ ඇතුළු විශේෂඥයන් පිරිසක් මේ පිළිබඳව සාකච්ඡා කරමින් සුදුසු පනතක් සැකසීමේ කාර්යයේ නිරතව සිටින බව ය.

කෙසේ වෙතත්, මෙම ක්‍රමවේදය ක්‍රියාවට නංවන කාලයක් සම්බන්ධව තවමත් ප්‍රකාශ කළ නොහැකි බව ද හර්ෂණ නානායක්කාර ඇමතිවරයා පැවසීය.

බොහෝ විදේශ රටවල නඩු විභාගය අතරතුර සැකකරුවෝ මෙසේ නිවාස අඩස්සියේ රඳවා තබනු ලබති.

එමෙන් ම, ඇතැම් රටවල ඉහළ පෙළේ දේශපාලන නායකයන්ට දඬුවමක් ලෙස ද නිවාස අඩස්සියේ තබා ඇති අවස්ථා වාර්තා වී තිබේ.